Thursday, March 5, 2020

ඉරිදා දිවයින පුවතට කැලණිය මහා ශිෂ්‍ය සංගමයෙන් පිළිතුරු


     කැලණිය විශ්වවිද්‍යාලය භුමිය තුල සවිකර තිබු cctv කැමරා ගලවා ඉවත් කිරීම සම්බන්දයෙන් ඉරිදා දිවයින පුවත්පතේ ''උපාධිය පැත්තකට දමා සිසිටිවී කැමරා ගලවා හතරක් හිරේ'' යන ශීර්ෂය යටතේ පළවූ ලිපියේ ව්‍යාජ කරුණ ඇතුලත් වන බවත් ඒ පිළිබඳව ශිෂ්‍ය සංගමයේ අදහස පැහැදිලි කරමින් දිවයින පුවත්පතේ ප්‍රධාන කාර්යාලය වෙත භාර දෙන ලදී. එම ලිපිය පහත දැක්වේ.

ප්‍රධාන කතෘ,
දිවයින පුවත්පත
2020 මාර්තු 01 දින ඉරිදා දිවයින පුවත්පතේ පළවූ කැලණිය විශ්වවිද්‍යාලයේ cctv කැමරා ගලවා ඉවත්කිරීම හා සම්බන්ධ ලිපිය පිළිබඳවයි.
            2020 පෙබරවාරි 24 දින කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨ පරිශ්‍රය තුල cctv කැමරා සවිකිරීමට කිසියම් පිරිසක් කටයුතු කරන බවට දැනගන්නට ලැබුණි. එම තොරතුර ලැබුණු සැනින් මහා ශිෂ්‍ය සංගමයේ සභාපති කොබෙයිතුඩුවේ සමිත  හිමි සහ ශිෂ්‍ය සංගමයේ නියෝජිතයන් කිහිපදෙනෙකු විශ්වවිද්‍යාලයේ ප්‍රධාන ශිෂ්‍ය කටයුතු අධ්‍යක්ෂක කපුගොල්ලෑවේ ආනන්ද කිර්ති හිමිගෙන් ඒ පිළිබඳව විමසීමට කටයුතු කරන ලදී. එහිදී එම ස්වාමින් වහන්සේ සඳහන් කලේ තමන් විශ්වවිද්‍යාලය තුල cctv කැමරා සවිකිරීමක් පිළිබඳව නොදන්නා බවයි.
         විශ්වවිද්‍යාලය තුල ඉතා බරපතල ලෙසින් අධ්‍යන සුබසාධන ගැටළු උග්‍ර වී තිබෙන තත්වයක් තුල එම ගැටළු විසඳීමට කටයුතු නොකර විශ්වවිද්‍යාලය තුල cctv කැමරා සවිකිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් සිසුන් තුල බරපතල විරෝධයක් නිර්මාණය වී තිබිණි. ඒ පිළිබඳව  කැලණිය මහා ශිෂ්‍ය සංගමය විසින් 2020.01.18 දින සහ 2020.02.12 දින විශ්වවිද්‍යාල පරිපාලනය වෙත ලිඛිතව දැනුම් දීමක් කරන ලද අතර මේ පිළිබඳව සාකච්ජා කිරීමට අවස්ථාවක් ලබාදෙන ලෙස ද ඉල්ලා සිටින ලදී. නමුත් කිසිදු සාකච්ජාවක් ලබා දීමට කටයුතු නොකළ විශ්වවිද්‍යාල බලධාරීන් දිගින් දිගටම ශිෂ්‍යන්ගේ විරෝධය නොතකමින් විශ්වවිද්‍යාලය තුල cctv කැමරා සවිකිරීමට කටයුතු කරන ලදී.
            මෙවැනි තත්වයක් තුල විශ්වවිද්‍යාලයේ cctv කැමරා සවිකිරීමට නැවත විශ්වවිද්‍යාල බලධාරීන් උත්සාහ කල අතර ඒ සඳහා සිසුන්ගේ විරෝධය සෘජුවම ප්‍රකාශ කරන ලදී. එම විරෝධය ද නොතකමින් cctv කැමරා සවිකිරීමට කටයුතු කිරීම නිසාවෙන් සිසුන්ගේ මැදිහත්වීමෙන් cctv කැමරා සවිකිරීම නතර කරන ලද අතර ඒ වනතෙක් විශ්වවිද්‍යාල භුමිය තුල සිසුන් ගැවසෙන ස්ථානවල සවිකර තිබු කැමරා ගලවා ඉවත් කරන ලදී. මෙහිදී විශේෂයෙන් අවධාරණය කල යුතු කරුණ වන්නේ මෙලෙස සිසුන් ඉවත් කල cctv කැමරා සියල්ල විශ්වවිද්‍යාල බලධාරීන්ට බාරදීමට කටයුතු කරන ලදී. ඒ නිසාවෙන් සමාජය තුල සාකච්ජා වන ආකාරයේ පොදු දේපල හානියක් සිදුවූයේද නැත.   
            විශ්වවිද්‍යාල සිසුන්ගේ, ආචාර්යවරුන්ගේ සහ අනධ්‍යන සේවකයන්ගේ ආරක්ෂාව සඳහා cctv කැමරා සවිකරන බවට විශ්වවිද්‍යාල පරිපාලනය දිගින් දිගටම ප්‍රකාශ කරන ලදී. නමුත් අපට පැවසීමට ඇත්තේ එම ප්‍රකාශය අසත්‍යක් බවයි. විශ්වවිද්‍යාල බලධාරීන්ට සිසුන්ගේ ආරක්ෂාව සම්බන්ධ ගැටළු මතුවූ අවස්ථා ගණනාවකදී ඒ පිළිබඳව අප දැනුම් දුන්නද ඒ සඳහා කිසිදු ක්‍රියාමාර්ගයක් ගත්තේ නැත. ඉන් එක් අවස්ථාවක් වන්නේ විශ්වවිද්‍යාලයට පරිබාහිරව තිබෙන කාන්තා නේවාසිකාගාරවල සිටින ශිෂ්‍යාවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් මතුවූ ගැටලුවයි. අවස්ථා ගණනාවකදී එම නේවාසිකාගාර තුලට බාහිර පුද්ගලයන් ඇතුළු වීම් සහ  අතවර කිරීම් සිදුවූ අතර ඒ පිළිබඳව විශ්වවිද්‍යාල බලධාරීන් කිසිදු ප්‍රතිචාරයක් දැක්වුයේ නැත. එම නේවාසිකාගාර සඳහා අමතර ආරක්ෂක නිලධාරියෙකු යොදවන ලෙස අප කල ඉල්ලීමද තඹ දොයිතුවකට මායිම් කලේ නැත. තවමත් ඒ සඳහා කිසිදු පියවරක් ගෙන නැත. සිසුන්ගේ ආරක්ෂාව සම්බන්ධ ගැටළු වලට විශ්වවිද්‍යාල බලධාරීන්ගේ ප්‍රතිචාරය එයයි.
         එමෙන්ම අපට තිබෙන ගැටලුව cctv කැමරා හරහා සැබෑ ලෙසම ආරක්ෂාව තහවුරු වන්නේ ද යන්නයි. මේ සඳහා  හොදම උදාහරණය පාස්කු දින බෝම්බ ප්‍රහාරය යි. එහිදී බෝම්බ ප්‍රහාරය සිදුවූ හෝටල් සහ කතෝලික පල්ලි සම්පුර්ණයෙන් cctv කැමරා වලින් ආවරණය වී තිබු අතර එම ස්ථාන අවට ද ජජඑඩ කැමරා  වලින් ආවරණය වී තිබුණි. එහෙත් එම බෝම්බ ප්‍රහාරය වලක්වා ගැනීමට හැකියාවක් තිබුනේ නැත. ඒ cctv කැමරා වලට හැකියාව තිබෙන්නේ අනතුරක් වූ පසු ඒ පිළිබඳව තොරතුරු රැස්කිරීම පමණි. විශ්වවිද්‍යාල තුල cctv කැමරා සවිකිරිමෙන් ද හැකියාව ලැබෙන්නේ අපරාධයක් වූ පසු තොරතුරු රැස්කිරීම පමණි. අනතුරක් සිදුවීමට පෙර වලක්වා ගැනීමට cctv කැමරා වලට හැකියාවක් නොමැත.
            එමෙන්ම විශ්වවිද්‍යාලය තුල cctv කැමරා සවිකිරීමේ අරමුණ විශ්වවිද්‍යාලය තුල සිදුවන විවිධ අක්‍රමිකතා පාලනය කිරිම නම් ඒ සඳහා කැමරා සවිකළ යුතු වන්නේ විශ්වවිද්‍යාලයේ පරිපාලන ගොඩනැගිල්ල තුලයි.
               සිසුන්ගේ සැබෑ ගැටළු විසඳීමට විශ්වවිද්‍යාලය සතුව මුදල් නොමැති බව ප්‍රකාශ කරන බලධාරීන් cctv කැමරා සවිකිරීම සඳහා ලක්ෂ 40ක මුදලක් වැය කිරීමට සිසුන්ගේ දැඩි විරෝධයක් නිර්මාණය වී තිබේ. මේ ආකාරයට මුදල් වියදම් කරන්නේ සිසුන්ගේ ආරක්ෂාව සඳහා නොවන අතර එහි අරමුණ ශිෂ්‍ය මර්දනය බව අප අවධාරණය කරන්නෙමු.
        දිගින් දිගටම විශ්වවිද්‍යාලය තුල ගැටළු විසඳීමට බලධාරීන් මැදිහත් නොවන්නේ නම් ඒ සඳහා සිසුන්ට අරගල කිරීම හැරෙන්නට වෙනත් මාවතක් නොමැත. එලෙස අරගලයට මුලිකත්වය ගන්නා ශිෂ්‍ය ක්‍රියාකාරීන්ගේ තොරතුරු රැස් කිරීම මෙහි අරමුණයි. අවස්ථා ගණනාවකදී විශ්වවිද්‍යාල භුමිය තුලදී සහ ශිෂ්‍ය උද්ඝෝෂණ අවස්ථා වලදී රාජ්‍ය ඔත්තු සේවා වල නිලධාරීන් මුණගැසෙන්නේ ද මෙලෙස ශිෂ්‍ය ක්‍රියාකාරීන්ගේ තොරතුරු රැස්කිරීමේ අවශ්‍යතාවයකින් පාලකයන් පෙලෙන බවට සහතික කරමිනි.
            දිවයින පුවත්පතේ පළවූ ලිපියට අනුව පසුගිය 24 වෙනිදට ප්‍රථමයෙන් ද කැමරා ඉවත් කිරීමට උත්සාහ කල බව සදහන් වන අතර එය අසත්‍යයකි. මින් පෙර අවස්ථා දෙකකදී cctv කැමරා සවිකිරීමට විරෝධය පළකරමින් ලිපි විශ්වවිද්‍යාල පරිපාලනයට භාරදීමට කටයුතු කලද ඒවා ගලවා ඉවත් කිරීමට උත්සාහ ගැනීමක් සිදුවුයේ නැත. කැලණිය විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය ලෙසින් අපගේ ප්‍රවේශය වුයේ මෙම ගැටලුව සාකච්ජා මාර්ගයෙන් විසඳා ගැනීම වුවත් ඒ සදහා විශ්වවිද්‍යාල බලධාරීන්ගෙන් කිසිදු සාදනීය මැදිහත්වීමක් සිදු නොවූ අතර කිසිදු අවස්ථාවක සාකච්ජාවක් ලබාදීමට බලධාරීන් කටයුතු කලේ නැත.
          දිවයින ලිපිය ආරම්භයේදී මෙම cctv කැමරා සවිකිරීම සඳහා සරසවියේ බහුතරය විරුද්ධ බව සඳහන් කර තිබෙන අතර කැමරා ගලවා ඉවත් කිරීමේ චෝදනාව දේශපාලන පක්ෂයක සම්බන්ද පිරිසකට එල්ල කර තිබේ. මෙම චෝදනාව පසුගිය කාලය පුරාවටම ශිෂ්‍ය ව්‍යාපාරය වෙත එල්ල වූ අතර එම චෝදනාව දිගින් දිගටම ආණ්ඩුව විසින් පෝෂණය කිරීමක් සිදුකරයි. විශේෂයෙන් සයිටම් අරගලය සමයේ රාජිත සේනාරත්න, ලක්ෂ්මන් කිරිඇල්ල, එස් බී දිසානායක වැන්නන් විසින් සිදු කලේ සයිටම් උපාධි කඩයට විරුද්ධ අරගලය මේ හරහා දුර්වල කිරීමටය. එහෙත් එය අසත්‍යක් වන අතර සයිටම් අරගලයට විරුද්ධව මුළු මහත් සමාජයක් විරුද්ධ විය. කැලණිය තුල නිර්මාණය වූ මෙම ගැටලුව සම්බන්ධයෙන්ද සමාජයේ වැරදි ප්‍රතිරූපයක් නිර්මාණය කිරීම සඳහා මෙය කිසියම් දේශපාලන පක්ෂයක ක්‍රියාවක් බවට ඒත්තු ගැන්වීමට උත්සාහ දරමින් සිටී.
       විශේෂයෙන් සිසුන් අත්අඩංගුවට ගැනීම සිදුවුයේ දේශපාලන පක්ෂයක රැස්වීමකට යමින් සිටින අතරතුර බව සඳහන් කිරීම මුළුමනින්ම අසත්‍යක් වන අතර රුහුණ විශ්වවිද්‍යාලයේ සිදුකෙරෙන ශිෂ්‍ය මර්දනයට එරෙහිව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සංවිධානය කල විරෝධතා පාගමනක් සඳහා සහභාගී වීම සඳහා බස් රථයකින් ගමන් කරමින් සිටින අතරතුර මෙම අත්අඩංගුවට ගැනීම සිදුවිය.
     දිවයින පුවත්පතේ පළවූ මෙම පුවත හරහා විශ්වවිද්‍යාල ප්‍රජාව සහ කැලණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය පිළිබඳව වැරදි මතවාදයක් සමාජ ගතවීමක් සිදුවූ අතර මේ පිළිබඳව සලකා බලා එම පුවත නිවැරදි කරන මෙන් ඉල්ලා සිටිමු.

0 comments:

Post a Comment