Friday, April 24, 2020
මේක තමයි උන්ගේ ක්‍රමය..
"හැම වැඩපලකම ශරීරය වැහැරෙනකන් දාඩිය හලලා හම්බකරලා දෙන්නේ අපි. උපන්දා ඉදන් මිනී වලට යනකන් මිනිස්සුන්ට කන්න බොන්න වගා කරන්නේ අපි. ඒත් හැමදාම හැම තැනම වැඩ කරනකොට මුලින් ඉන්න අපි ජිවත් වෙනකොට ඉන්නේ අන්තිම පෝලිමේ"
මේ උපුටා ගැනීම දැක්කම හැමෝටම හිතෙයි කොරෝන වසංගතය නිසා කන්න බොන්න ටිකවත් හොයාගන්න බැරුව පිඩාවට පත්වුණ මනුස්සයෙක් කියපු කතාවක් කියලා. නෑ.. මේ මිට අවුරුදු 100කට වඩා පැරණි මැක්සිම් ගෝර්කිගේ අම්මා නවකතාවේ උපුටා ගැනීමක්.
අපි හැමෝම දන්නවා මේ උපුටා ගැනීමෙන් කියවෙන කතාව අදටත් වලංගුයි කියලා. මුළු ජිවිත කාලෙම ධනපතියන්ගේ ලාභ රේට්ටු වැඩි කරන්න කබුරන මිනිස්සුන්ගේ ජිවිත වල යථාර්තය තමයි මේක. මේ මිනිස් ජිවිත ධනපතියන්ට යුෂය උරාගෙන ඉවත දමන උක් දණ්ඩකට සමානයි. මේ කතාව කොරෝන වසංගතය තව තවත් තහවුරු කළා.
රට පුරා මාරාන්තික වසංගතය ව්‍යාප්ත වෙමින් මුළු මහත් සමාජයක් මරණයේ භීතිකාවෙන් වෙලාගෙන තිබෙන තිබියදී නිදහස් වෙළද කලාප සේවකයන්ට වැඩපොළට උදේ පාන්දර පැමිණීම අනිවාර්ය උනා. ඊට විරුද්ධ මතකයක්, අරගලයක් සමාජය තුල නිර්මාණය නොවන්නට එම සේවoකයන් තවමත් උදේ සිට රෑ වෙනතුරු කර්මාන්ත ශාලා තුලය.
වතු හිමියන්ගේ ලාභ කුට්ටි වෙනුවෙන් මුළු ජීවිතේම තේ දල්ලට යට කරපු වතු කම්කරුවෝ අද හාමතේ. දවසකට ලැබෙන රු 650න් අමාරුවෙන් නොමැරී ජිවත් වූ ඒ මිනිස්සුන්ගේ ජිවිත දැන් කවුරුත් තුට්ටුවකට මායිම් කරන්නේ නෑ. ඒ මිනිස්සුන්ට කන්න කෑම වෙල් තුන දෙන්න ගොඩ කරගත්තු ලාභ කදු හොල්ලන්න වතු හිමියෝ හීනෙන්වත් හිතන්නේ නෑ. ගොවියාගෙත් ඉරණම මීට කිසිම වෙනසක් නෑ. මාස ගානක් දුක් විදලා ඒකෙන් ලැබෙන අස්වැන්න වගා බිමේම කුණු වෙනවා බලාගෙන හුල්ලනවා හැරෙන්නට වෙන කරන්න දෙයක් ඔවුන්ට නෑ.
මේක තමයි උන්ගේ ක්‍රමය. උන්ගේ ක්‍රමය අනුව මැරෙන්න අපිට පුළුවන්. අපේ අනාගත පරම්පරා වලටත් ඒ විදියටම හාමතේ මැරෙන්න පුළුවන්. එහෙම නැත්තම් ඒ ක්‍රමය වෙනස් කරන්න සංවිධානය වෙන්න පුළුවන්. මේ විකල්ප දෙකෙන් එකක් තෝරාගන්න කියලා කොරෝනා අපිට බලකරනවා.
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment