Monday, January 31, 2022

ක්‍රීඩා පහසුකම් අන්තිමයි. SLUG එක තියන්නෙ හඳේ ද? නැගෙනහිර සිසුන් අසයි.

 


ක්‍රීඩා පහසුකම් අන්තිමයි. SLUG එක තියන්නෙ හඳේ ද? නැගෙනහිර සිසුන් අසයි.

අන්තර් විශ්වවිද්‍යාලයීය ක්‍රීඩා උළෙල හෙවත් SLUG - 2023 නැගෙනහිර විශ්වවිද්‍යාලයේදී පැවැත්වීමට යෝජනා වී තිබේ. SLUG - 2023 සඳහා සත්කාරක විශ්වවිද්‍යාලය ලෙස නැගෙනහිර තෝරාගත්ත ද ක්‍රීඩා උළෙලක් පැවැත්වීමට තබා සිසුන්ට දෛනික පුහුණුවීම් කටයුතු කිරීමටවත් පහසුකම් විශ්වවිද්‍යාලය සතුව නොමැත. මේ පිළිබඳව නැ⁣ගෙනහිර මහා ශිෂ්‍ය සංගමය ලෙස විශ්වවිද්‍යාල පරිපාලනයෙන් සහ ප්‍රතිපාදන කොමිෂන් සභාව ඇතුළු බලධාරීන්ගෙන් ප්‍රශ්න කරන්නේ වසර ගණනාවක සිටය. 

මින් පෙර ද අන්තර් විශ්වවිද්‍යාලයීය ක්‍රීඩා උළෙල නැගෙනහිර විශ්වවිද්‍යාලයේ දී පැවැත්වීමට යෝජනා වූවද අවශ්‍ය පහසුකම් නොමැති වීම හේතුවෙන් සත්කාරකත්වය වෙනත් විශ්වවිද්‍යාලවලට හරවා යැවිණි. මෙවරත් එලෙසම සිදුවීමට ඉඩ තිබේ. නැ⁣⁣ගෙනහිර විශ්වවිද්‍යාලයේ ක්‍රීඩා පිටිය මෙතෙක් සම්පූර්ණ පහසුකම් සහිතව සංවර්ධනය වී නැත. ක්‍රීඩා කටයුතු කිරීමට සුදුසු අයුරින් එහි තණතිල්ල හෝ නිසි ප්‍රමිතියට සකසා නැත. ක්‍රීඩාගාරයක්, ප්‍රේක්ෂකාගාරයක් නැත. ක්‍රීඩා සංචිත නැත. උපකරණ හිඟය. පුහුණුකරුවන් නැත. මෙම ගැටලු විසඳීම වසර ගණන් කල් ගත යුතු සංකීර්ණ ගැටලු ද නොවේ. නමුත් වසර ගණනාවක් තිස්සේ නැගෙනහිර සිසුන්ට මෙම ගැටලු පිළිබඳව අවධාරණය කිරීමට සිදුව ඇත. දැන් අන්තර් විශ්වවිද්‍යාලයීය ක්‍රීඩා උළෙලක් අත ළඟ තිබියදීත්, එහි සත්කාරකත්වය නැගෙනහිර විශ්වවිද්‍යාලයට හිමිව තිබියදීත් අවශ්‍ය පහසුකම් සංවර්ධනය කිරීමට මෙතෙක් කිසිඳු පියවරක් පරිපාලනය විසින් ගෙන නැත. අවසානයේදී සිදුවන්නේ එක්කෝ සත්කාරකත්වය වෙනත් විශ්වවිද්‍යාලයක් සතු වීම හෝ නැති නම් පහසුකම් වෙනත් ස්ථානවලින් සපයාගැනීමට විශ්වවිද්‍යාලය සතු මුදල් වියදම් කිරීමටය. 

මේ පිළිබඳව කරුණු සඳහන් කරමින් නැගෙනහිර මහා ශිෂ්‍ය සංගමය විසින් අද මාධ්‍ය හමුවක් කැඳවා තිබිණි. ඒ සඳහා අ.වි.ශි.බ.ම කැඳවුම්කරු ද සම්බන්ධ වීය. ක්‍රීඩා ගැටලුවලට අමතරව විශ්වවිද්‍යාලයේ පවතින අධ්‍යයන හා සුබසාධන ගැටලු ගණනාවක් පිළිබඳවද එහිදී ශිෂ්‍ය සංගම් නියෝජිතයන් කරුණු පෙන්වාදෙන ලදී. විශ්වවිද්‍යාලයට පැමිණෙන නවක සිසුන්ට අවශ්‍ය නේවාසිකාගාර පහසුකම් ප්‍රමාණවත් නොවීම, උපාධි ලබාදීමේ කාල සීමාව අනවශ්‍ය පරිදි දීර්ඝ වීම, මහපොල හා ශිෂ්‍යාධාර වාරික නිසි පරිදි නොලැබීම, ආපනශාලා ගැටලු ඇතුළු අධ්‍යයන හා සුබසාධන ගැටලු ගණනාවක් පිළිබඳව මෙලෙස කරුණු සඳහන් කරන ලදී. ⁣මෙම ගැටලු විසඳාගැනීම සඳහා අඛණ්ඩ අරගලයක් ⁣පෙරට ගත යුතු බව මහා ශිෂ්‍ය සංගමයේ අදහසයි.





0 comments:

Post a Comment