Friday, August 26, 2016

මාලඹේ සයිටම් හොර උපාධි කඩයට විරුද්ධ විය යුත්තේ ඇයි

මාලඹේ සයිටම් ආයතනයත් අධ්‍යාපනය 
       පෞද්ගලිකකරණයත් සම්බන්ධව මේ මොහොතේ සමාජය තුළ කතාබහක් ගොඩනැගෙමින් පවතින අතර එම දැනුවත් භාවය ඇති කිරීමටත් මේ සම්බන්ධව සමාජ අවධානය යොමු කිරීමටත් ශිෂ්‍ය ව්‍යාපාරය කටයුතු කර ඇත. මෙම කතාබහ ඇතිවන මොහොතේ දී මාලඹේ සයිටම් ආයතනය ආරම්භ කිරීම සහ මේ දක්වා එම ආයතනය සහ එයට අනුබල දෙනු ලබන පාලකයන් ක‍්‍රියා කර ඇති ආකාරය සම්බන්ධව දැනුවත් වීම කාලෝචිතය. 

මාලඹේ සයිටම් ආයතනය ( Asian Institute of Technology and Managment) ආරම්භ කිරීම සඳහා වෛද්‍ය නෙවිල් ප‍්‍රනාන්දු ලංකා ආයෝජන මණ්ඩලය වෙත ලිපියක් යොමු කරමින් අවසර ඉල්ලා සිටිනු ලබයි.  මේ මහින්ද රාජපක්ෂ පාලන සමයේදී ය. නව ලිබරල් ධනවාදයේ දෙවන ඉණිම ලෙස අප හඳුනාගන්නා මේ අවධියේදී වෛද්‍ය නෙවිල් මෙවැනි ආයතනයක් ආරම්භ කිරීමට මුලපිරීම සිහිනයකින් අවදි වී කරන කටයුත්තක් නොවේ. අධ්‍යාපනය පෞද්ගලිකකරණය ප‍්‍රතිපත්තිමය වශයෙන් පිළිගන්නා එවකට බලය ස්ථාවර කරගෙන තිබූ තත්ත්වය තුළ දේශපාලනික වශයෙන් මේ සඳහා ඉඩකඩ නිර්මාණය කිරීමට ආණ්ඩුව ක‍්‍රියා කළ බව පැහැදිලිය. උක්ත ලිපිය මගින් නෙවිල් ප‍්‍රනාන්දු



1. තොරතුරු තාක්ෂණය 
2. කළමනාකරණය හා මූල්‍ය 
3. ඉංජිනේරු විද්‍යාව 
4. වෘත්තීය අධ්‍යයනය( vocational studies)
5. හෙද වෘත්තිය
6. භාෂා
7. සෞඛ්‍ය විද්‍යා( helth science)

යන පාඨමාලා ආරම්භ කිරීම සඳහා අවසර ඉල්ලා ඇත. මෙම ඉල්ලීම සිදු කිරීමේදී වෛද්‍ය විද්‍යා පාඨමාලාවක් ආරම්භ කරන බවට ඍජුව සඳහන් නොකිරීමට නෙවිල් ප‍්‍රනාන්දු වගබලාගෙන ඇත්තේ කූට බුද්ධිය පාවිච්චි කිරීම නිසා දැයි සැක මතුවේ. කෙසේ වූවත් මෙම ලිපියට පිළිතුරු දෙමින් ආයෝජන මණ්ඩලය සෞඛ්‍ය විද්‍යාවට අදාළ පාඨමාලා ආරම්භ කිරීමට සෞඛ්‍ය හා පෝෂණ අමාත්‍යාංශයේ අනුමැතිය ලබා ගත යුතු බවත් උපාධි ප‍්‍රදානය කිරීමට නම් අදාළ විදෙස් විශ්වවිද්‍යාල සම`ග පවතින සම්බන්ධතාවය ආයෝජන මණ්ඩලයට තහවුරු කර අවසර ලබාගත යුතු බවටත් කොන්දේසි ඉදිරිපත් කරමින් ආයතනය ආරම්භ කිරීමට අවසර ලබාදීම සලකා බැලිය හැකි බව දන්වා ඇත.

මේ අතර මෙම ආයතනයේ නම (South  Asian Institute of Technology and Managment) ලෙස වෙනස් කරනු ලබයි. ඉහත ආයෝජන මණ්ඩලයේ අනුමැතිය ලබාගැනීමේ කොන්දේසි සපුරා ගැනීමට සයිටම් ආයතනය අනුගමනය කරන ක‍්‍රියාපටිපාටිය විහිළු සහගත වන අතරම අමු අමුවේ වංචා සහගත බව පෙනේ. මේ සඳහා සෞඛ්‍ය ඇමතිවරයා විසින් නිර්දේශ ඉදිරිපත් කළ යුතුව තිබුණ ද ඒ සඳහා නෙවිල් ප‍්‍රනාන්දු  විසින් ආයෝජන මණ්ඩලය වෙත යොමු කරන්නේ එවකට සෞඛ්‍ය අමාත්‍යාංශයේ පෞද්ගලික වෛද්‍ය සේවා අධ්‍යක්ෂක විසින් ලබා දුන් ලිපියකි. තව ද සයිටම් ආයතනය තුළ වෛද්‍ය උපාධිය පිරිනැමීමට සම්බන්ධව Nizhmy Novogorod State Medical Academy(NNSMA) සමග ඇතිකරගත් එකගතා ලියවිල්ලක් ආයෝජන මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇත. NNSMA ආයතනය ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාව මගින් පිළිගත් වෛද්‍ය උපාධි පිරිනමන ආයතනයකි. එය පිළිගෙන ඇත්තේ විදෙස් විශ්වවිද්‍යාලයක් ලෙසයි. එනම් උපාධි ලබා ගැනීමෙන් අනතුරුව ලංකාවේ සුදුසුකම් පරීක්ෂා කරන ERPM විභාගයෙන් සමත් වූවොත් පමණක් වෛද්‍යවරුන් ලෙස පිළිගැනීම සිදු කරයි.  මේ හැර NNSMA ආයතනය ලංකාව තුළ උපාධි පිරිනැමීම සඳහා පිළිගත් ආයතනයක් නොවේ. තත්ත්වය මෙසේ වූවත් ඉහත කරුණු සලකා බලනු ලැබූ ආයෝජන මණ්ඩලය සයිටම් ආයතනය ආරම්භ කර පවත්වාගෙන යාම සඳහා අනුමැතිය ලබා දී තිබේ!

එමෙන්ම මෙරට උපාධි ප‍්‍රදානය කිරීමේ අවසර ලබා දීමේ බලතල දරන විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව මේ සම්බන්ධව සොයා බැලීම සඳහා කමිටුවක් පත් කර එමගින් නිර්දේශ ලබාගන්නා ලදී. මෙම කමිටුවේ වාර්තා මගින් පෙන්වා දෙන්නේ 
- -සායනික පුහුණුව ලබාදීමට අදාළ නිශ්චිත කාලය වෙන් කිරීම

- -එම ආයතනයේ අධ්‍යයන කාර්ය මණ්ඩලය නිශ්චිත ලෙස ඉදිරිපත් නොකිරීම හා ඔවුන් වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලැබූවන් ද යන තොරතුරු ඉදිරිපත් නොකිරීම

- -වසර 5ක කාලය තුළ මුදල් අයකරගනු ලබන ආකාරය සහ ඇතුළත් වීමේ ගාස්තු 

- -සිසුන් ඇතුළත් කර ගැනීමේදී සලකා බලන සුදුසුකම් 

යනාදිය සම්බන්ධව අපැහැදිලි තත්ත්වයක් ඇති බවයි. සයිටම් ආයතනය විසින් තම ආයතනයේ වෛද්‍ය උපාධි හදාරන සිසුන් හට සායනික පුහුණුව ලබා දෙන්නේ කෙසේද යන ප‍්‍රශ්නය ඉහත කමිටුව වරින් වර මතු කර තිබුණි. මේ සඳහා රෝහල්වලට යාමට අදාළව සෞඛ්‍ය හා පෝෂණ අමාත්‍යාංශයේ නිර්දේශය අවශ්‍ය වේ. නමුත් මේ සම්බන්ධව සයිටම් ආයතනය ඉදිරිපත් කර ඇත්තේ බස්නාහිර පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂක සම`ග ඇති කර ගනු ලැබූ එක`ගතා ලියවිල්ලකි. හාස්‍යජනක කරුණ නම් ඉහත තත්ත්වයන් එපරිද්දෙන්ම තිබිය දී අවබෝධතා ලියැවිල්ල මත පදනම්ව විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම සයිටම් ආයතනයට උපාධි ප‍්‍රදානය කිරීමේ බලතල ලබා දීමය. ඒ සඳහා 2011.08.20 දින නිකුත් කළ ගැසට් නිවේදනයේ උපාධි ප‍්‍රදානය කිරීම ආරම්භ කළ හැකි දිනයක් සඳහන් කර නොමැත!

මේ අතරතුර ආයතනයේ නම සමාගම් පනත යටතේ (South  Asian Institute of Technology and Medicine)ලෙසට වෙනස් කිරීම සිදු කරනු ලබයි. මේ හොර පාරෙන් වෛද්‍ය උපාධිය විකුණන බව තහවුරු කරන්නකි. නැතිනම් එහි පාඨමාලා සඳහන් කිරීමේදී වෛද්‍ය විද්‍යාව ලෙස සදහන් කළ හැකිව තිබුණි. 
එමෙන්ම ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාව මෙරට වෛද්‍ය අධ්‍යාපනය සහ වෛද්‍ය සේවය සම්බන්ධව ගුණාත්මක බව පවත්වා ගැනීමට කටයුතු කරන නිල ආයතනය වේ. සයිටම් ආයතනය වෛද්‍ය උපාධි පාඨමාලා ආරම්භ කිරීමත් සම`ගම පුවත්පත් වෙළඳ දැන්වීම් පළ කරන්නේ තම ආයතනයට එක්සත් රාජධානියේ හා ශ‍්‍රී ලංකාවේ වෛද්‍ය සභාවල පිළිගැනීම ඇති බවට ජනතාව වෙත අසත්‍ය කරුණු දක්වමිනි. මෙම පුවත්පත් දැන්වීම්වලට ප‍්‍රතිචාර දක්වමින් වෛද්‍ය සභාව, සයිටම් ආයතනය එවැනි සුදුසුකම් සපුරා නොමැති බවට වගකීම් සහගතව ප‍්‍රකාශයට පත් කරන ලදී. තව ද වෛද්‍ය සභාව මගින් සිදු කළ නිරීක්ෂණ වාර්තා ද එයට වෛද්‍ය උපාධි පිරිනැමීමට අදාළ තත්ත්වයක නොමැති බව සඳහන් කරමින් ඒ සඳහා නිර්දේශ ඉදිරිපත් කෙරිනි. මෙවන් තත්ත්වයක් තිබියදීත් සයිටම් ආයතනය තව තවත් සිසුන් බඳවාගැනීම් ජයටම කරගෙන ගියේ සියලූ ආචාරධර්මවලට පයින් ගසමින් හා වෛද්‍ය අධ්‍යාපනය හා සේවය සම්බන්ධව ගූණාත්මකභාවය පවත්වාගෙන යාමට වගකිවයුතු ආයතනය තුට්ටුවකට මායිම් නොකරමිනි. 

වෛද්‍ය රවින්ද්‍ර රුබේරුගේ ප‍්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සයිටම් ආයතනය පිළිබඳ සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කරන ලද  පංච පුද්ගල කමිටුව සිය වාර්තාව තුළ සයිටම් ආයතනයේ ඉගෙනුම ලබන සිසුන්ගේ දෙමාපියන් සමග කළ සාකච්ඡුාවේදී මතු වූ කරුණු දක්වා ඇත. 

- සයිටම් ආයතනය තුළ වසර 4කුත්, NNSMA ආයතනයේ වසරකුත් ඉගෙනුම ලැබීමෙන් අනතුරුව MD උපාධියක් ලබාදෙන බවට දෙමාපියන්ට පොරොන්දු වී ඇත.

- සිසුන් ලියාපදිංචිය සිදුකිරීමේ දී ලියාපදිංචි කරගත් බවට කිසිඳු සහතිකයක් ලබාදී නොමැති අතර පසු අවස්ථාවක වසරක් සඳහා පමණක් ලියාපදිංචිය සඳහා සහතිකයක් ලබා දී ඇත.

- සයිටම් ආයතනය සහ NNSMA ආයතනය අතර පවතින සම්බන්ධතාවය ගැන දෙමාපියන් හෝ සිසුන්ට කිසිම සහතිකයක් ලබා දී නොමැත.

- තව ද මෙම සාකච්ඡුාවේදී සයිටම් ආයතනයේ ඉගෙනුම ලබන දක්ෂ සිසුන්ට රාජ්‍ය විශ්වවිද්‍යාල වලට සම්බන්ධ වීමට අවස්ථාව ලබා දේ දැයි දෙමාපියන් විමසා තිබේ.

- සයිටම් ආයතනයට උපාධි ප‍්‍රදානය කිරීමට අවසර දෙමින් නිකුත් කළ ගැසට් පත‍්‍රයට පෙර බඳවාගැනීම් කළ සිසුන්ට අනුගමනය කරන ක‍්‍රියාපටිපාටිය කුමක්දැයි සයිටම් ආයතනය දෙමාපියන් දැනුවත් කර නොමැත.
සියලූම පාර්ශවයන් මුලාවට පත් කරමින් ලාභ ඉපයීම සඳහා මෙම ආයතනය කටයුතු කර ඇති බව ඉහත කරුණු දෙස බැලීමේදී පෙනී යයි.

මෙම ආයතනය ස්ථාපිත කිරීමෙීදී සහ එය පවත්වාගෙන යාමේදී පවත්නා නීති රීති  පවා නොසලකා අතිශය දුෂිත ආකාරයෙන් ලාභය උපයාගැනීම එකම පරමාර්ථය කරගෙන කටයුතු කරන බව පැහදිලි වේ. වෛද්‍ය සභාව කිසිඳු පිළිගැනීමක් මේ ආයතනය වෙත ලබා නොදුන්නත් ඔවුන් වෛද්‍ය උපාධි පිරිනමා එක් සිසුන් කණ්ඩායමක් ආයතනයෙන් බිහි වූ බව කියාපායි. එම සිසුන් පාවිච්චි කරමින් හෝ මෙම ආයතනයට පිළිගැනීම ඇති කිරීමට වත්මන් ආණ්ඩුව ද මාන බලමින් සිටින්නේ කෙසේ හෝ අධ්‍යාපනය විකිණීමට අදාළ ප‍්‍රතිපත්තිය මේ ආණ්ඩුව ද වෙනසක් නොමැති ව ක‍්‍රියාත්මක කරන බව පසක් කරමිනි. අධ්‍යාපනය විකුණා කෑමේ ප‍්‍රතිවිපාක ගැන කතා කරන්නට සයිටම් ආයතනය දිනෙන් දින සාධක සපයමින් සිටී. මේ සියලූ ආකාරයේ අක‍්‍රමිකතා සිදු කරනු ලබන්නේ අඩුම තරමින් එම ආයතනය ලංකාව තුළ ස්ථාවරත්වයට පත් වීමට ද පෙරාතුවයි. අධ්‍යාපනය පෞද්ගලිකකරණයට අදාළ නියමු ව්‍යාපෘතිය ම මෙසේ කටයුතු කරයි නම් අධ්‍යාපන පෞද්ගලිකකරණයේ හොඳ හොඳ සෙල්ලම් වන තුරු එළිවෙන ජාමය තෙක් බලා සිටිනවාදැයි අප විසින් තීරණය කළ යුතුව ඇත.

අපේ අසල්වැසි රටවන ඉන්දියාව අධ්‍යාපනය පෞද්ගලිකකරණයෙන් හොඳ හොඳ සෙල්ලම් පෙන්වීමට කරළියට බැස තිබේ. එරට වෛද්‍ය සභාව සම්බන්ධව පරීක්ෂණයක් සිදු කළ රාජ්‍ය සභා කමිටු වාර්තාව පසුගියදා නිකුත් විය. එම වාර්තාවේ පූර්විකාවේම සෞඛ්‍ය ක්ෂෙත‍්‍රය සම්බන්ධව වර්තමානයේ ඇති අභාග්‍ය සම්පන්න තත්ත්වයට හේතුව ලෙස 1980 දශකයේ පටන් ක‍්‍රියාත්මක වූ පෞද්ගලිකකරණය බව දක්වා ඇත. 

70% ක් වෛද්‍ය වෘත්තිකයන් පුද්ගලික සෞඛ්‍ය සේවා ආයතන තුළ රැුකියා කරන අතර මෙයිනුත් 70%ක් නාගරික හා ආර්ථික වශයෙන් ප‍්‍රතිලාභ බහුල ප‍්‍රදේශවල ස්ථාන ගතව සිටින බව එම වාර්තාව පෙන්වා දෙයි. Lancet`ගරාවේ  2015/12/12 දින ASSURING HEALTH COVERAGE FOR ALL INDIA මැයෙන් පළ වූ ලිපියට අනුව නිදහස් සෞඛ්‍ය සේවාව ප‍්‍රමාණවත් ලෙස ව්‍යාප්ත නොකිරීමේ ප‍්‍රතිඵලයක් ලෙස අධික විෂමතාවලින් යුක්තව නියාමනය රහිතව පුද්ගලික සෞඛ්‍ය ක්ෂේත‍්‍රය පුළුල් වී ඇත. 2014 වර්ෂයේ දී බාහිර රෝගි ප‍්‍රතිකාර අතුරින් 70%කට වැඩි ප‍්‍රමාණයක් (ගම්බද 72% හා නාගරික 79%ක් වශයෙන්එ) මෙන්ම නේවාසික රෝගී ප‍්‍රතිකාර අතුරින් 60%කට ඇඩි ප‍්‍රමාණයක් (ගම්බද 58% නාගරික 68%) පුද්ගලික අංශය යටතේ සිදුකර ඇත. තවද පුද්ගලික ප‍්‍රතිකාර ස්ථාන (private practicrs) ප‍්‍රථම වෛද්‍ය සත්කාර (first contact care) ලබාදෙන ක‍්‍රමය බවට පත්ව ඇත.
තත්ත්වය මෙසේ තිබියදී ඉන්දියාවේ  ඇතැම් ප‍්‍රදේශවල පුද්ගලික සේවා සපයන්නන්ගෙන් බහුතරයක් සුදුසුකම් නොලත් හෝ අඩු මට්ටමේ සුදුසුකම් සහිත පිරිසක් බව කරුණු හෙළිවී ඇත. උදාහරණයක් ලෙස මධ්‍ය ප‍්‍රදේශ් හි ග‍්‍රාමීයව කළ සමීක්ෂණ ප‍්‍රතිඵල පරිදි සෞඛ්‍ය සේවා සපයන්නන්ගෙන් වෛද්‍ය උපාධියක් තිබී ඇත්තේ 11%කට පමණක් වන අතර  55%ක් උසස් අධ්‍යාපන සුදුසුකම් සහිත අයයි. කිසිදු විධිමත් අධ්‍යාපනයක් හෝ ලියාපදිංචියක් නොමැති පිරිස 53%කි. ග‍්‍රාමීය හා නාගරික දුප්පත් ජනතාවට සෞඛ්‍ය සේවාව සපයාගත හැකි ආකාරය නිදහස් සෞඛ්‍ය සේවාවයි. එසේ වුවද එයට සපයා ඇති යටිතල පහසුකම්, උපකරණ, ඖෂධ කිසිසේත්ම ප‍්‍රමාණවත් නැත. ලංකාවේ මේ තත්ත්වය කෙමෙන් කෙමෙන් උද්ගත වෙන බව නොරහසකි.
දුප්පත්කම වැඩිවීමත් සම`ග සෞඛ්‍යය පිරිහීම වැඩිවන බව ප‍්‍රත්‍යක්ෂ කාරණයකි.
ජාතික සෞඛ්‍ය ප‍්‍රතිපත්ති කෙටුම්පතට අනුව මිලියන 63 කට වැඩි ජනගහනයක් සෞඛ්‍ය සේවාවලට සිදුකරන වියදම් නිසා පමණක් දුප්පත්කමට පත්වේ. ජනතාවට සෞඛ්‍ය සේවා ලබාගැනීමට මූල්‍ය සුරක්ෂිතතාවක් නැත. මාසික per capita incime  ග‍්‍රාමීය ජනතාව 6.9%කට ද නාගරික ජනතාව 55%කට ද සෞඛ්‍යය සඳහා වියදම් කිරීමට සිදුව ඇත. මෙම තත්ත්වය වර්ධනය වෙමින් පවතින අතර දුප්පත් නොවන ජනතාව දුප්පත්කමට පත්වන ප‍්‍රධාන හේතුවක් බවට පත්ව ඇත.

සෞඛ්‍ය සේවා සැපයිමේ බිඳවැටීම සෞඛ්‍ය දර්ශකවලට මුවාවී වසන් කළ නොහැකි තත්ත්වයට උග‍්‍ර වී ඇත. ආසන්නව ඉන්දියානුවන් මිලියනයක් පමණ ප‍්‍රමාණවත් සෞඛ්‍ය සේවා නොලැබීම නිසා මරණයට පත්වේ. මිලියන හත්සියයක ජනතාවට විශේෂඥ සේවාවලට යොමු වීමේ හැකියාව නොමැති අතර 80%ක් විශේෂඥයන් නාගරික ප‍්‍රදේශ මූලිකව සේවා සැපයිමේ නිරත වේ.
තුන්වන විශාලතම ආර්ථිකයට හිමිකම් කීවද සෞඛ්‍ය දර්ශක අතින් ඉන්දියාව සිටින්නේ පහත්ම ස්ථානයකය.

සෞඛ්‍ය සේවාවන් ලබාගන්නට යන ජනතාව දුප්පත්කමට පත්වීමෙන් පෙන්නුම් කරන්නේ ජනතාවගෙන් සෞඛ්‍ය සේවා තවත් දුරස්ථ වන බවයි. එනම් ආර්ථික වර්ධනය සෞඛ්‍ය ප‍්‍රතිලාභ 
ලබාගැනීමට පාවිච්චි කිරීමට අපොහොසත් වී ඇති බවයි.

තව ද ඉන්දියාවේ භූත වෛද්‍ය විද්‍යාල (ghost medical colleges) පවතින අතර මෙහි අර්ථය වෙබ් පිටු උපාධි ප‍්‍රදානෝත්සව පැවත්වුව ද සැබෑ වෛද්‍ය විද්‍යාල නොපැවතීමයි. එනම් මුදල් ගෙන උපාධි ලබා දෙන ව්‍යාපාර පවතින බවයි. එමෙන්ම වෛද්‍ය සභාව තුළ පුද්ගලික ආයතනයන්ගේ නියෝජනය ක‍්‍රමයෙන් ඉහළ යාම වෛද්‍ය සභාව දුෂිත තත්ත්වයට පත්වීමට හේතුවක් වී ඇත. එවැනි පුද්ගලයින් සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ දියුණුව හෝ ජනතාවගේ නිරෝගී බව තුට්ටුවකට මායිම් නොකරමින් ඔවුන් නියෝජනය කරන ලාභ අපේක්ෂිත ආයතන වෙනුවෙන් පෙනී සිටීම නිසා මෙසේ සිදුවන බව පැහැදිලිය. ඉහත කරුණු අද අධ්‍යාපනය පෞද්ගලිකකරණය මගින් මෙරට සෞඛ්‍ය ගැටලූ විසදීමට හැකි යයි කියන පණ්ඩිතයින්ට කට වසා ගන්නට කියයි. එමගින් සිදුවන්නේ පීඩිත පන්තියේ ජනතාවට සෞඛ්‍ය සේවා ලැබීමටත් වෛද්‍ය අධ්‍යාපනයට යොමු වීමට ඇති දොරටු වසා දැමීමටත් ය.

ඇස් පනාපිට ඔප්පු වෙමින් ඇති අධ්‍යාපනය, සෞඛ්‍යය පෞද්ගලිකකරණය නිසා ඇති වී ඇති අර්බුදයක් ඇති මේ මොහොතේ පාලකයන් දෙසන වැදි බණ 
පිළිගන්නවාද නැත්ද යන්න තේරුම් ගැනීම වටී. එමෙන්ම මේ මොහොතේ දී අර්ධ රාජ්‍යකරණ උගුල් අටවමින් හෝ අධ්‍යාපනය පෞද්ගලිකකරණයට අදාළ ප‍්‍රතිපත්තිය ක‍්‍රියාත්මක කිරීමට ධනපති පාලකයන් කැසකවනු පෙනේ. සීමිත පිරිසකගේ ලාභ අපේක්ෂාව වෙනුවෙන් සමාජය විසින් දිනා ගනු ලැබූ අධ්‍යාපන සෞඛ්‍ය අයිතීන් ආපසු හරවන ක‍්‍රියාපටිපාටියක් අනුගමනය කරමින් සිටී. මේ ජාවාරම්කාර කුමන්ත‍්‍රණවලට ඉඩදී සමාජයක් ලෙස අගාධයට වැටෙනවාද යන්න සිතා බැලිය යුතු කාලය දැන් පැමිණ ඇත. මේ වෙළෙඳපොළකරණය වූ සෞඛ්‍ය ක්ෂේත‍්‍රය තුළින් නිරෝගී සෞඛ්‍යයමත් සමාජයක් ඇතිකිරීමත් වෙළෙඳපොළකරණය වූ අධ්‍යාපන ක්ෂේත‍්‍රය තුළ දැනුවත් සමාජයක් ඇති කිරීමත් මිරිගුවක් බව ලෝකයේත් ලංකාවේත් තත්ත්වයන් දෙස බැලීමේදී පෙනී යයි. මානව සමාජයක අවශ්‍යතාවයන් වන නිරෝගී සෞඛ්‍ය සම්පන්න දැනුවත් සමාජය නිර්මාණය කිරීමේ මාවත ධනපති පාලකයන් පෙන්වන පෞද්ගලිකකරණය තුළ රැුඳී නැති බව අවබෝධ කරගැනීමට බරපතළ තර්ක අවශ්‍ය නැත.

මානව ශිෂ්ටාචාරය තුළ වෛද්‍ය අධ්‍යාපනය හා සෞඛ්‍යය ක්ෂේත‍්‍රය දියුණු වූයේ හාස්කමකින් නොවේ. නම්  දන්නා, නම් නොදන්නා දහසක් ස්ත‍්‍රී, පුරුෂ මිනිසුන්ගේ ලේ කඳුළු මතිනි. ඔවුන් දිවි පරදුවට තබා මිනිස් සංහතිය වෙනුවෙන් කළ දායාදය සුවහසක් මිනිසුන්ගෙන් ඈත් කොට නෙවිල්ලාගේ පන්තියේ සාක්කු පුරවාගැනීමට ඉඩදී බලා සිටීම සමාජයක් වශයෙන් යුක්ති සහගතද? වෛද්‍ය විද්‍යාවේ සංවර්ධනයට පාර කැපූ ඒ උදාර මිනිසුන්ගේ කතාව ඉතිහාසයට එබී සොයා බැලීමට අප සැමට කාලය එළැඹ ඇත. ඒ සොයා බැලීම අප මේ මොහොතේ කුමක් කළ යුතු දැයි පාර කියනු ඇත. මානව සමාජයේ ජයග‍්‍රහණ වෙළෙඳපොළකරණය තුළ ගිල්වා දමන්නට කැසකවන ගිජු ධනේශ්වර සමාජ ක‍්‍රමය පරදවා සෞඛ්‍ය සම්පන්න යහපත් සමාජය නිර්මාණය කරන මාවත තැනිය යුතුව ඇත.

0 comments:

Post a Comment