Tuesday, May 14, 2013

විශ්වවිද්‍යාලයට ප‍්‍රධාන වූ උපසංස්කෘතිය

විශ්වවිද්‍යාලයට ප‍්‍රධාන වූ

දිවා ආහාරය ලබා ගැනීම වෙනුවෙන් අප ඈඳි ගෙන සිටියේ පේරාදෙනිය විශ්වවිද්‍යලයේ WUS ආපනශාලාවේ ලී බංකුවක් මතය. සිව්වන වසර අවසන් විභාගය අහවර වීමෙන් පසු සරසවි ජීවිතයට සමු දීමේ ඉස්පාසුවෙන් අදහස් දක්වමින් සිටි ශාස්ත‍්‍රපීඨයේ සහෝදරයෙක් වන අකුරා සහෝදරයා ඇතුළු තවත් සහෝදර සහෝදරියන් කිහිප දෙනෙකු සමඟ අපගේ දොඩමළු වීම තුළ වැඩිපුර අප හැමකෙනෙකුගේම අවධානය සරසවිය තුළ අප ගත කරන ජීවිතයට යොමු වූයේ සරසවිය තුළ සෑම සංවාදයකම සිදු වනලෙස නිරායාසයෙනි. මීට මුල පුරමින් අකුරා සහෝදරයා ඉදිරිපත් කළේ අපූරු අදහසකි.

’‘මම කැම්පස් එකට ආපු දවසේ කල්පනා කළේ අවුරුදු ගාණක් මම කොහොමද මේ බත් කන්නේ කියලා. අවුරුදු හතරක් ගෙවුනට පස්සේ කල්පනා කරන්නෙ අවුරුද් හතරක් මේ බත් මම කෑවේ කොහොමද කියලා ?‘‘ මේ සිදුවීම අපි ඔබට ඉදිරිපත් කළේ ඔහු අත්දුටු සරසවි ජීවිතය පිළිබඳ යථාර්ථය තුළ කිමිද යට කරනා සරසවි උප සංස්කෘතිය පිළිබඳ සාකච්ජාවට අපට ප‍්‍රටව්ශයක් සලසා ගත හැකි නිසයි.

සිහිනෙන් පවා මගෙසුඛ විහරණය පැතූ
රජකම ගන්න පුතු රජගෙට ගියැයි සිතූ
අම්මා දනීනම් මේ සරසවියේ තතූ
ගෙන ගොස් බොහෝ කල් මේ දුක්විඳින පුතූ


කොළඹ සරසවි දේශන ශාලාවකින් ද කුරුටු ගීයක් ලෙස මීට වසර ගණනාවකට පෙරාතුව අපට හමුවන යථාර්ථය පේරාදෙනිය සරසවියේ සොහොයුරෙකුගෙන්් අද දවසේ කල්පනා ලෝකය තුළ කැටි ගැසී පැමිණීම අපට ඉඟි කරන්නේ එය සරසවි ජීවිතය තුළ සාමාන්‍ය අත්දැකීමක් වන බව නොවේ ද?

අනේ සුසානෝ ඉස්සර වාසිටියේ
මේසෙට කෑම ඇරලලූ දීලා හිටියේ
අලූතින් හිලක් විඳලා ඉණවට පටියේ
බඩ තදකර ගනින් හොඳ හැටි කිටි කිටියේ


ඒ කැලනිය සරසවි සොහොයුරෙකු අතින් එම අදහසම ප‍්‍රකාශ වන ආකාරයයි. මේ අයුරින් සරසවි ජීවිතය පිළිබඳව වන අත්දැකීම්, සරසවියේ ඩෙස් බංකු හා බිත්ති කඳන්වල කුරුටු ගෑමේ සිට සරසවි ප‍්‍රජාවේ සාමූහික ගති පැවැත්මේ ගති ස්වභාවයන් හා ආකල්පවලින් සමන්විත සංස්කෘතියක් ගොඩ නඟයි. අපගේ අරමුණ වන්නේ ඒ පිළිබඳව වන සවිස්තරාත්මක කරුණු දැක්වීමකට වඩා ඒ පිළිබඳව වනව දේශපාලනික කියැවීමකට මෙන්ම මැදිහත්වීමකට ප‍්‍රවේශය සකසා ගැනීමටයි.
අප විසින් සාකච්ජා කිරීමට උත්සාහ ගන්නා එම සරසවි උපසංස්කෘතිය පිළිබඳව වන ක්ෂේත‍්‍රය උපසංස්කෘතියක් වන්නේ එය උප සංස්කෘතියක් බවට පත් කරවන තවත් අධිපති නැතිනම් මහා සංස්කෘතියක් පවතින හෙයිනි. එහෙයිින් මෙහිදී සංස්කෘතිය යන්න පිළිබඳ යම් වග විභාගයකට යෑම වැදගත් යැයි අපට හැෙඟ්.

සංස්කෘතිය යන්න පිළිබඳව සමාජ හා මානව විද්‍යඥයන් විසින් විවිධ අර්ථකථන දක්වා තිබේ. බි‍්‍රතාන්‍ය මානව විද්‍යඥයෙකු වන  ඊ.බී. ටයිලර් ගේ අදහස වන්නේ සමාජයේ සාමාජිකයෙක් වශයෙන් මිනිසා විසින් අත්පත් කරගෙන ඇති දැනුම, විශ්වාස, කලාව, සදාචාර නීතිරීති, සිරිත් විරිත් හා අනෙකුත් හැකියාවන්ගේ සංකීර්ණ සමස්තය සංස්කෘතිය වේ යන්නයි. එම අදහසට අනුව විවිධ අංගයන් එකිනෙකින් වෙන්කොට සංස්කෘතියක් හඳුනාගත නොහැකිය. තව ද යම් අංගයක් සංස්කෘතියේ කොටසක් ලෙස පිලිගනු ලබන්නේ එය සමාජයේ සාමාජිකයන් බහුතරයක් විසින් පිලිගත් විට පමනි. මේ අනුව සමාජයේ සාමාජිකයෙක් වශයෙන් මිනිසා  විසින් පොදුවේ පිලිගත් හා ඉගෙන ගත් හැසිරීම් රටාව සංස්කෘතිය ලෙස ටයිලර් දක්වා ඇත.

 A Scientific Theory Of culture කෘතිය සම්පාදනය කරමින් බී. මැලිනොව්ස්කි ඉදිරිපත් කරන අදහස වනුයේ උපකරණ හා පාරිභෝගික භාණ්ඩ  විවිධ සමාජ කණ්ඩායම්වලට අයත් සමාජ සංස්ථා, සන්නස් ,මානව සංකල්පනා, ශිල්ප විධි, විශ්වාස හා සිරිත් විරිත් අඩංගු සමස්ථය සංස්කෘතිය වන බවයි. තව ද සංස්කෘතිය සෑම පුද්ගලයෙකුගේම අවශ්‍යතාවයන් වෙනුවෙන් සේවය කරන බව ද මැලිනොව්ස්කි විශ්වාස කරයි.

එක් පරම්පරාවක පුද්ගලයන් තමන්ගේ සිරිත් විරිත්, සාරධර්ම, ප‍්‍රතිමාන හා සම්ප‍්‍රදායන් ඊළඟ පරම්පරාවට දායාදයක් වශයෙන් ගෙනයන ජීවන රටා සමුදාය සමාජ විද්‍යඥයකු වන රැල්ෆ් ලින්ටන් විසින් සංස්කෘතිය ලෙස හඳුන්වයි.

ලාංකීය විද්වතෙකු වූ මාර්ටින් වික‍්‍රමසිංහ තම මානව විද්‍යාව හා සිංහල සංස්කෘතිය නමැති කෘතිය තුළින් සංස්කෘතිය පිළිබඳව වඩා  විග‍්‍රහාත්මක අදහසක් ඉදිරිපත් කරයි. ‘‘පහත දැක්වෙන සියල්ල මානව විද්‍යාව අනුව සංස්කෘතියෙහි සභ්‍යත්වයෙහි ඇතුළු වෙයි. ජනතාවක් හෝ සමාජයක් හෝ සතු කර්මාන්ත, ඒ කර්මාන්ත සඳහා ඉවහල් කොට ගන්නා උපකරණ, යාන වාහන, කෑම බීම, ඇඳුම් පැළඳුම්, සිරිත් විරිත්, සාහිත්‍ය හා චිත‍්‍ර ප‍්‍රතිමා, ආගම, භාෂාව, නීතිරීති යන ආදියයි. මෙයින් ඇතැම් එකක් සංස්කෘතියෙහි සලකුණක් ද වේ. ඇතැම් එකක් සංකීර්ණ අංගයක් වෙයි. මේ සලකුණු හා අංග එක්කොට ගෙන අසවල් වර්ගයාගේ සංස්කෘතිය හෝ සභ්‍යත්වය හෝ ලෙස හඳුන්වනු පිනිස විශේෂ නාමයක් ඊට ආරූඪ කරනු ලැබේ.‘‘

අපි විසින් ඉහතදී සලකා බලනු ලැබූයේ සමාජ  විද්‍යඥයන් හා ලේඛකයන් කිහිප දෙනෙකු විසින් සංස්කෘතිය පිළිබඳව ඉදිරිපත් කරන ලද අදහස් කිහිපයකි. (යමෙකුට අවශ්‍ය නම් මීට ද වඩා බොහෝ නිර්වචන සොයා ගත හැකිය.) මෙම අදහස් ගොනු කිරීමේ දී ඔවුන්ගේ අතැඟිලි තුළින් සංස්කෘතිය පිළිබඳ අදහසක් ගොඩ නඟා ගැනීමේ දී මූලිකව අවධානය යොමු කළ යුතු කරුණක් ගිලිහී ඇති බව අපගේ විශ්වාසයයි. එනම් නිශ්පාදනය පිළිබඳ අදහසයි. (මාර්ටින් වික‍්‍රමසිංහයන් විසින් මේ පිළිබඳ යම් අදහසක් මතු කර ඇත.) මාක්ස්වාදී පදනමකින් අප සංස්කෘතිය නමැති ප‍්‍රශ්නාර්ථිකයට යොමු වන්නේ නම් (ප‍්‍රශ්නාර්ථිකය යනු නිශ්චිත ප‍්‍රශ්නයකට තනි සරල පිළිතුරක් නැති වීම තුළ පිළිතුරු තොග ගණනක් බිහිවීම හා ඒවා අතරින් කවරක් නිවැරදිද යන්න තෝරා බේරා ගැනීමේ උභතෝකෝටිකයකට අප හසු වීමයි.) එය මානව නිශ්පාදනයෙහි නිර්මිතයක් ලෙස සලකා බැලිය යුතුව ඇත. මාක්ස්වාදයට අනුව මිනිසාගේ සැබෑ ජීවිතය (real life) පවතින්නේ තමන්ගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් නිශ්පාදනය කරන්නෙකු ලෙසය.එහෙයින් මිනිසාගේ සැබෑ ජීවිතය සමාජයීය ජීවිතයකි. (social life) එම සමාජයීය ජීවිතය ඔහුගේ නිශ්පාදන නිසා පැන නගින්නකි. මිනිසා තම නිශ්පාදනයේ දී සොබාදහම මානවකරණය (humanization) කරන අතර තමාව වස්තුකරණය (objectification) කර ගනී. මේ දෙක එකිනෙකින් වෙන් කළ නොහැක. එහෙයින් මිනිසා සිය සමාජීය ජීවිතය තුළ (අභ්‍යන්තරික ජීවිතය ද ඇතුළුව) ගොඩ නංවන ලද ඉතිහාසය පිළිබඳව සොයා බැලීමකට යා යුත්තේ මෙම මිනිස් ඉන්ද්‍රීය ගෝචර ක‍්‍රියාකාරීත්වයට යටත්වය.

සංස්කෘතිය මෙන්ම උප සංස්කෘතිය පිළිබඳව ද අධ්‍යයනය සඳහා අප මිනුම් දඩු සකසා ගන්නේ මෙම මාක්ස්වාදී න්‍යයික පදනමට අනුවය. තව ද මේ සඳහා වන න්‍යායික පදනමක් සපයා ගැනීමේ දී අපට දෘෂ්ටිවාදය පිළිබඳ අවබෝධය ද මඟහැර යා  නොහැක. මේ ලිපියේ දී ඒ පිළිබඳව දිගු පැහැදිලි කිරීමකට යාමට අප බලාපොරොත්තු නොවුව ද ජර්මානු දෘෂ්ටිවාදය නමැති කෘතිය තුළ මාක්ස් විසින් ඉදිරිපත් කළ ‘‘ යුගයක රජයන අදහස් වනාහි එම යුගයේ පාලක පන්තීන්ගේ අදහස්ය. ‘‘ යන ප‍්‍රවාදය සැලකිල්ලට ගැනීම වැදගත්ය. මන්ද යත් ආගම, රාජ්‍යය, විද්‍යාව, කලාව, පවුල මේ ආදි සියලූ ක්ෂේත‍්‍රයන් තුළ මෙන්ම සංස්කෘතිය තුළ ද මේ දෘෂ්ටිවාදය (පාලක පන්තියේ උවමනාව) ක‍්‍රියාත්මක වන හෙයිනි.

දැන් අපට ලූවී අල්තූසර් විසින් ඉදිරිපත් කළ අදහස් කිහිපයක් සලකමින් උප සංස්කෘතිය පිළිබඳව මූලික අදහසක් සාකච්ජා කිරීම සිදු කළ හැකිය. ඔහු විසින් සම්පාදනයකරන ලද දෘෂ්ටිවාදය හා රාජ්‍ය දෘෂ්ටිවාදී මෙවලම් යන ලිපිය තුළ සමාජ සැකැස්මේ විවිධ අංශයන් (අධ්‍යාපනය, පවුල, ජනමාධ්‍ය, සංස්කෘතික හා දේශපාලනික ආයතන ආදී) පාලන දෘෂ්ටිවාදයට ඇති සිය අවනතභාවය නොනසා පවත්වා ගෙන යන ආකාරය පැහැදිලි කරයි. මෙම අංශයන් පාලන දෘෂ්ටිවාදය ඒවා මත පටවන අධිකාරිත්වයට හා එහෙයින් මතුවන ප‍්‍රතිවිරෝධතාවයන්ට දක්වන විරෝධය ‘‘දත් විලිස්සීමේ එකඟතාවයක්‘‘ (teeth – gritting harmony) බව ලූවී අල්තූසර් ගේ අදහසයි. එහෙයින් සමාජය තුළ ආතතියට හා දෙවෙනි තැනට ඇද වැටුණු ප‍්‍රජා අවකාශයන්ගේ අධිපති සංස්කෘතිය කෙරෙහි වන හුදු, වක‍්‍ර විරෝධය සංස්කෘතිකව ප‍්‍රකාශවීමක් ලෙස උප සංස්කෘතිය හඳුනාගත හැක.

උප සංස්කෘතිය පිළිබඳව අදහසක් ඉදිරිපත් කරමින් එය ‘‘ සමාජයක් ඇතුලත් ඉන්නා අනු කොටසක් පමණක් සමහර චාරිත‍්‍ර අනුගමනය කරයි  නම් ඒ සමාජ කොටස උප සංස්කෘතියක් වන බවත් ඔවුන් ප‍්‍රධාන සමාජයේ සංස්කෘතියපිළිගන්නා අතර ඔවුනට විශේෂ වූ සංස්කාතික අංග ඇතිව ජීවත් වන්නේ ය.‘‘ යනුවෙන් සඳහන් කරන විට මහාචාර්ය නන්දසේන රත්නපාලට අත හැරෙන්නේත් ‘‘සමාජයේ වෙසෙන පොදු ජනතාවගේ සංස්කෘතික ලක්ෂනයන්ගෙන් සමහර ප‍්‍රධාන ලක්ෂණ ආරක්ෂා කර ගනිමින් ජීවන රටාව හා සාරධර්ම යනාදී අංගයන් නිසා ඉහත දැක්වූ මුළු මහත් සංස්කෘතියෙන් වෙන්වි එකී සමාජය තුළ කැපී පෙනෙමින් වෙසෙන විවිධ ජන සමූහයන්ට අයත් සංස්කෘතිය උප සංස්කෘතිය ‘‘ යැයි මහාචාර්ය අනුරාධ සෙනෙවිරත්න ප‍්‍රකාශ කරන විට ඔහු මඟ හැර යන්නේත් අප ඉහත දී ගොඩ නඟා ගත් පුළුල් දේශපාලන අදහසයි.

උප සංස්කෘතියක් නිර්මාණය විමේ දී මහා සමාජයෙන් හා එහි සංස්කාතියෙන් සාපේක්ෂ ස්වාධීනත්වයක් පැවතීම, සමාජ ජීවිතයේ දී වන පොදු අභියෝගයන්ට අභිමුඛවීමට සිදු වීම හා එම අභියෝගයන් විසින් ජනිත කරන තත්වයන් සමඟ වන සාමුහික පොර බැඳීමක්, පැවැත්මක් ඇති වීම යන වාස්තවික තත්වයන් තීරණාත්මක බලපෑමක් ඇති  කරයි. එමෙන්ම භාෂාව, ආගම, වාර්ගික, ප‍්‍රාදේශීය, වෘත්තිමය විවිධත්වයන් හා වයස් සීමාව හා ස්ත‍්‍රී පුරුෂ වෙනස්කම් ද එහි ගති ස්වාභාවය හැඩ ගන්වන තවත් සාධකය.

එහෙයින්  මේ වියමන තුළ මෙතෙක් සාකච්ජා කරන ලද අදහස්වල පදනම මත හිඳිමින් අකුරා සහෝදරයාගේ උභතෝකෝටිකයට පිළිතුරු ගලපා ගැනීම මෙන්ම සරසවි උප සංස්කෘතිය පිළිබඳ දේශපාලනික කියැවීමකට අකුරු ඇමිණීම මීළඟ ගිනිසිළුව කලාපයට කල් තබන්නෙමු.

0 comments:

Post a Comment