ISSN - 13913344
0713496896
ginisiluwa@gmail.com / rsusrilanka@yahoo.com
18 වන කාණ්ඩය 03 වන කලාපය
2013 ජූලි
0713496896
ginisiluwa@gmail.com / rsusrilanka@yahoo.com
18 වන කාණ්ඩය 03 වන කලාපය
2013 ජූලි
Double Attack
පසුගිය 5 දින ජයවර්ධනපුර සරසවියේ වෛද්‍ය පීඨ සිසුන් උද්ඝෝෂණ ක්‍රියාමාර්ගයක නිරත වූවේ ලක්ෂ 70කටත් අධික මුදලකට වෛද්‍ය උපාධිය විකිණීමට එරෙහි වීම සඳහාය. මේ දිනය වන විට කළමණාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨ හිටපු පීඨාධිපතිවරයකු වන මහාචාර්ය කරුණාරත්න මාහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා විශ්වවිද්‍යාල භූමියේ තැම්පත්කර තිබුණි. උක්ත දිනයේ පැවැත්වූ උද්ඝෝෂණය නිසා විශ්වවිද්‍යාලයට අපකීර්තියක් සිදුවූවා යැයි පවසමින් වෛද්‍ය පීඨයේ ආචාර්යවරු පිරිසක් පසුදින සිට සතියක කාලයක් දේශන වර්ජනය කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවිය.
මෙය මෙතෙක් අප අත්නොවිඳි තවත් ආශ්චර්යමත් සිදුවීමකි. මන්ද වෛද්‍යවරු රෝගීන්ට විරුද්ධව හෝ රාජ්‍ය සේවකයන් ජනතාවට විරුද්ධව වෘත්තීය ක්‍රියාමාර්ග වලට එලඹෙන රටක් අප මෙතෙක් අසා නැති බැවිණි. ඉතිහාසය පුරා වෘත්තීය ක්‍රියාමාර්ග වලට එලඹුණේ වෘත්තීය අයිතිවාසිකම් දිනාගැනීම සඳහා හෝ මුලූමහත් සමාජයේ වැඩිදෙනෙකුට බලපාන අවශ්‍යතාවක් දිනාගැනීම සඳහාය. එනම් වෘත්තීය ක්‍රියාමාර්ගයක් යනු යම් ප්‍රශ්නයක් විසඳීම සඳහා පාළකයන්ට කරන බලකිරීමකි.
ඉහත කී වෘත්තීය ක්‍රියාමාර්ගය වෘත්තීය අයිතිවාසිකම් දිනාගැනීම සඳහා සිදුනොකලක් යැයි බැලූ බැල්මටම පැහැදිලිය. එසේනම් එය සමාජයේ වැඩිදෙනෙකුට බලපාන අවශ්‍යතාවක් දිනාගැනීම සඳහා පාළකයන්ට කළ බලකිරීමක්ද? සිසුන්ගේ උද්ඝෝෂණය නිසා විශ්වවිද්‍යාලයට මහා අපකීර්තියක් සිදුවී ඇති බවත් නැවත එවැනි දේ වීමට ඉඩනොතබන ලෙස පාලකයන්ට බලකිරීම සඳහා මෙවැනි වෘත්තීය ක්‍රියාමාර්ගයට එළඹීම වැරදි දැයි ඇතැමෙකුට තර්ක කළ හැකිය. එසේ තර්ක කිරීමට විශ්වවිද්‍යාලයට ඉහත කී ආචාර්යවරුන් හෝ පරිපාලනය අත්කරදී ඇති මහා කීරීතිය කුමක්ද? සිසුවියන්ගේ කන්‍යභාවය පරීක්ෂා කිරීමද? එසේත් නැතිනම් විරුසිසු ප්‍රථිමාවට බෝමබ හෙළීමද? සිසුන්ට සියදිවි හානිකර ගැනීමට තරම් විභාග පීඩනය උග්‍ර කිරීමද? සිසුන් 49 දෙනෙකු (මේ මොහොත වන විට) අසාධාරණ ලෙස පන්ති තහනමට ලක්කිරීමද?
මේ සිද්ධිදාමය මෙතෙකින් අවසන් වුයේද නැත. පළමු වසර සිසුන් සහ ජ්‍යෙෂ්ඨ සිසුන් අතර හමුවකට (Common Meeting) කළමණාකරණ පීඨයේ පීඨාධිපතිවරයා තවත් පරිපාලන නිලධාරීන් පිරිසක් සමග සහ ආචාර්යවරුන් පිරිසක් සමග පැමිණ සිසුන්ට බැණ වදිමින්, තර්ජනය කරමින්, සිසුන්ට ශාප කරමින් සහ පහර දීමට උත්සාහ කලේ ඉහත සිද්ධියෙන් දින කිහිපයකට පසුවය.
මෙතෙක් කල් සිසුන්ට බැණ වැදීමට, තර්ජනය කිරීමට, සිසුන්ට ශාප කිරීමට, පහර දීමට විශ්වවිද්‍යාල පරිපාලනය මිසක ආචාර්යවරුන් පැමිණ නැත. මේ අරාඳින්නේ කුමකටද? මේ නවතම ප්‍රවණතාවය අප හඳුණාගත යුත්තේ කෙසේද? නවලිබරල් ධනවාදයේ වුවමනාව වෙනුවෙන් අධ්‍යාපනය, විකිණිය හැකි තත්ත්වයට පත්කිරීම සඳහා පාළකයන්ට ඇති ප්‍රධාන බාධාව ශිෂ්‍ය ව්‍යාපාරයයි. ඊලඟ බාධාව ආචාර්ය බලවේගයයි. පසුගිය ආචාර්ය අරගලයේදී පාළකයන්ට තිබූ ලොකුම හිසරදය වූයේ සිසුන් ආචාර්යවරුන්ට විවේචනාත්මකව වුවද සහයක් ලබාදීමයි. වෛද්‍යවරුන් වැඩවරන විට රෝගීන් එරෙහි වෙනවා සේ ආචාර්යවරුන් වැඩවරන විට සිසුන් ඊට එරෙහිව අරගල කරන්නේ නම් එය පාලකයන්ට හොඳම අස්වැසිල්ල වනු ඇත. නමුත් එය එසේ සිදුනොවුණි.
එසෙනම් මෙලෙස කරළිගත වූයේ, එක ගලෙන් දෙන්නෙක් මැරීමේ පාලකයන්ගේ අලූත්ම ගුණ්ඩුව බව තේරුම්ගැනීම එතරම් අපහසු නැත. එනම් ශිෂ්‍ය මර්දනයේ අලූත්ම පියවර ලෙස ආචාර්යවරුන් යොදාගනිමින් සිසුන් මර්දනය කිරීමත් ඒ හරහා ආචාර්යවරුන් හා සිසුන් අතර ඇති සන්ධානය බිඳදැමීම මගින් ආචාර්යවරුන් මට්ටුකිරීමත් පාලකයන්ගේ නවතම සොයාගැනීමයි.
මේ මොහෝතේ සිසුන්ට කිවයුතු යමක් ඇත. ආචාර්යවරුන් පිරිසකගේ ක්‍රියාවක් ආචාර්ය බලවේගයේ ක්‍රියාවක් ලෙස සිතීම නිවැරදි නොවේ. ආචාර්ය බලවේගය, ශිෂ්‍ය ව්‍යාපාරයට සතුරු බලවේගයක් බවට පත්නොකර ගත යුතුය. මෙවැනි අවස්ථා චෙස් ක්‍රීඩාවේ හඳුන්වන්නේ ද්විත්ව ආක්‍රමණ (Double Attack) ලෙසය. පාලකයන්ගේ Double Attack ඉදිරියේදී ව්‍යාප්තවිමට නියමිතය. මන්ද සෑම විශ්වවිද්‍යාලයකින්ම පාලක ගැති නිවටයින් කිහිපදෙනෙකු සොයාගැනීම පාලකයන්ට එතරම් අපහසු නොවන බැවිණි.
0 comments:
Post a Comment