Saturday, November 4, 2023

අධ්‍යාපන පෞද්ගලිකකරණයේ මිථ්‍යාව

 




අධ්‍යාපන පෞද්ගලිකකරණයේ මිථ්‍යාව 

ගෝලීය වශයෙන්අ ධ්‍යාපන ම ධනවාදය අර්බුදයට ගොස් තිබේ. ලොව පුරා පීඩිත ජනතාව නවලිබරල් කොල්ලයට එරෙහිව අරගල කරමින් සිටී. මේ අතර ලාභ පිපාසිත ධනේශ්වරය මෙතෙක් ප්‍රාග්ධනයට අතපෙවිය නොහැකි වූ නොයිඳුල් කේෂ්ත්‍රයන්  සොය සොයා ලෝක ගෝලය පීරමින් මරු විකල්ලෙන්  අර්බුදයට විසඳුම් සොයනු පෙනෙන්නට තිබේ. එය කොතරම් බරපතල ද යත් තුන්වැනි ලෝක යුද්ධයක මරණීය ආතතිය දිනෙන් දින ලෝක ගෝලය වෙලා ගනිමින් තිබෙයි. අප අධ්‍යාපනය පිළිබඳ මෙම සංවාදය ගොඩනගන්නේ එවන් සන්දර්භයක් තුළ ය. පාලකයින් අධ්‍යාපන අයිතිය වෙළඳභාණ්ඩයක් කිරීමට හැකි සෑම උත්සාහයක් ම දරමින් සිටියි. IMF කොන්දේසි මත පදනම්ව අධ්‍යාපනය වෙළඳභාණ්ඩයක් කරන ව්‍යාපෘති ගණනාවක් මේ මොහොතේත් ක්‍රියාවට නගමින් තිබේ. මේ කතාබහ ඒ පිළිබඳවය. 

අධ්‍යාපනය මූලික අයිතියකි.

අධ්‍යාපනය මූලික අයිතියකි. ඒ බව ධනේශ්වරය ම පිළිගත් ලෝක මානව හිමිකම් සම්මුතිය තුළ ද දක්වා තිබෙයි. අධ්‍යාපනය සඳහා සම ප්‍රවේශය, සම අවස්ථා තහවුරු කළ යුතු බව මෙරට ව්‍යවස්ථාව තුළ ද සඳහන් කර ඇත. එහෙයින් අධ්‍යාපනය මූලික අයිතියක් වන බව  ධනේශ්වරයට ද ප්‍රතික්ෂේප කිරීමට නොහැකි සත්‍යයකි. 

අධ්‍යාපනය යනු ජීවත්වීමට ඉගැන්වීමයි. අධ්‍යාපනය අවශ්‍ය වන්නේ ජීවත්වීමට ය. අධ්‍යාපනය බිහිවන්නේ මිනිසා ස්වභාවධර්මය තුළ නොනැසී ජීවත්වීමට සිදු කළ අනවරත අරගලය තුළ ය. එනම් යථාර්ථය පිළිබඳ අවබෝධ කරගැනීමටත් යථාර්ථය ජය ගැනීමටත් සිදු කළ අරගලය තුළ ය. එහෙයින් අධ්‍යාපනය යනු මිනිස් වර්ගයාගේ පැවැත්ම සහ සමාජ සංවර්ධනයේ දිශානතිය තීරණය කරන තීරණාත්මක ම සාධකයයි. අධ්‍යාපනය අයිතියක් වන්නේත් එය වෙළඳභාණ්ඩයක් කොට සිල්ලරට විකණිය නොහැකි වන්නේත් එ⁣බැවිනි. 

අධ්‍යාපනයේ නිදහස කියන්නෙ මොකක්ද?

නිදහස් අධ්‍යාපනය විනාශ නොකරන බවත් අප උත්සාහ කරන්නේ අධ්‍යාපනයේ නිදහස තහවුරු කිරීමට වන බවත් ධනේශ්වර පාලකයින් නිතර කියනු ඇසෙයි. අධ්‍යාපනයේ නිදහස යනු විකිණීමේ නිදහස නොවේ. විකිණීමේ නිදහස යනු ප්‍රාග්ධනයට රිසි සේ හැසිරිය හැකි වෙළෙඳ පොල නිදහසයි. අධ්‍යාපන⁣යේ නිදහස ලෙස පාලකයන් අර්ථ දක්වන්නේ කැමති අයට අධ්‍යාපනය මිලදී ගැනීමේ අයිතිය තහවුරු කළ යුතු බවයි. බැලූ බැල්මට එය අහිංසක යෝජනාවක් බව පෙනී ගිය ද යථාර්ථය අහිංසක නැත. නිදහස් අධ්‍යාපනය යට⁣තේ අධ්‍යාපන අවස්ථා හිමිවන්නේ කුසලතා පදනමින් වන අතර මේ යෝජනා කරන්නේ කුසලතා පදනම නොසලකා අතේ ඇති මුදල් ප්‍රමාණය මත අධ්‍යාපන අවස්ථා තීරණය කරන ලෙසයි. පෞද්ගලික විශ්වවිද්‍යාල ගෙන එන්නේ ඒ සඳහා ය. එමගින් අහෝසි වී යන්නේ සම ප්‍රවේශය සහ සම අවස්ථා හිමිවීම යන අධ්‍යාපන මනෝ විද්‍යාවේ මූලික මූලධර්මයි. අධ්‍යාපනයේ නිදහස යනු එවැන්නක් නොවේ. එයින් කියවෙන්නේ කැමති කෙනෙකුට  කැමති දුරකට කැමති විෂය ධාරාවකින් අධ්‍යාපනය ලැබීමට ඇති අයිතියයි. එසේ ම පාලකයන්ට අවශ්‍ය කීකරු වහලුන් බිහි කරන දෘෂ්ටිවාදී කෙමනක් වෙනුවට සැබෑ නිදහස් අධ්‍යාපනයක් ලැබීමට ඇති අයිතියයි. 

ශිෂ්‍යයෝ විදෙස්ගත වෙන්නෙ පෞද්ගලික විශ්වවිද්‍යාල නැති නිසා ද?

රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කලේ විදෙස්ගත වන සිසුන් හේතුවෙන් වසරකට ඩොලර් බිලියන 03ක් රටට අහිමි වන බවත් පෞද්ගලික විශ්වවිද්‍යාල ඇරඹීමෙන් එම මුදල ඉතිරි කරගැනීමට හැකිවනවා මෙන් ම විදෙස් සිසුන් මෙහි ගෙන්වා ඩොලර් ඉපයිය හැකි බවත් ය . මෙරට අපනයන සමාගම් විදෙස් ගිණුම්වල සඟවා ඇති අපනයන ආදායම ඩොලර් බිලියන 53 ක් වන බව සාකච්ඡා වූයේ ද එම පාර්ලිමේන්තුව තුළ ම ය. නමුත් එම මුදල් ගෙන්වාගැනීමටවත්, අධි සහ අව ඉන්වොයිසිකරණය හරහා අපනයන ආදායම මෙරටින් සඟවා තබන එවැනි වංචාවන් වළක්වාගැනීමටවත් කිසිඳු වැඩපිළිවෙළක් කිසිඳු අවස්ථාවක පාලකයන් ඉදිරිපත් කරන්නේ නැත. 

අනෙක් කරුණ වන්නේ student visa ලබාගෙන විදෙස්ගත වන සියලු දෙනා සැබැවින් ම විදෙස්ගත වන්නේ අධ්‍යාපනය ලැබීමට නොවීමයි. වඩා පහසුකම් සහිත රටවල (විශේෂයෙන් ම යුරෝපා රටවල) පුරවැසිභාවය හෝ ස්ථීර පදිංචිය ලබාගැනීම හෝ රැකියාවක නිරත වීම බහුතරයකගේ අවශ්‍යතාවයි. එවැනි රටවල රැකියා සඳහා වීසා ලබාදීම සීමා සහිත බැවින් ඒ සඳහා පහසුම මාවත ස්ටුඩන්ට් වීසා ලබාගැනීමයි. 

අනෙක් කරුණ සිය දරුවන්ට විදෙස් රටක සුළං පොදක් හෝ වැදීමට සැලැස්වීම සංස්කෘතියක් වූ සීමිත සමාජ තීරුවක පැවැත්මයි. වියදම් කිරීමේ හැකියාව සහිත ඉහළ මධ්‍යම පාන්තික ජනතාව ලෝකයේ උසස් යැයි සම්මත රටවල විශ්වවිද්‍යාලයක සිය දරුවන් අධ්‍යාපනය ලැබීම ගෞරවයක් සේ සලකයි. පහළ මධ්‍යම පාන්තිකයන් කුමන හෝ විදෙස් රටක සිය දරුවන් අධ්‍යාපනය ලැබීම තම සමාජ තත්ත්වය වර්ධනය කරවන්නක් බව සලකයි. ලංකාව වැනි බංකොලොත් ආර්ථිකයක් සහිත රටක අධ්‍යාපනය ලැබීම ගෞරවයක් ලෙස සලකන විදෙස් සිසුන් නොමැති වුව ද වැඩි පහසුකම් සහිත රටවලට එවැනි ඉරණමක් නැත. 

එහෙයින් මෙරට පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කිරීමෙන් සිසුන් විදෙස්ගත වීම වැළැක්වීමට සිතීම මුග්ධකමකි. පෞද්ගලික විශ්වවිද්‍යාල ඉදිකර විදෙස් සිසුන් මෙහි ගෙන්වා ආදායම් ඉපයීමට සිතීම ඊටත් වඩා මුග්ධකමකි. සීමිත පිරිසක් හෝ විදෙස්ගතව අධ්‍යාපනය ලැබීම රටක ආර්ථික වර්ධනයට අවාසියක් නොව අත්‍යවශ්‍ය දෙයකි. එය රටකට නව දැනුම ගලා එන ප්‍රධාන ක්‍රමවේදයක් වන අතර හරිනම් කළ යුත්තේ අධ්‍යාපනය හැදෑරීමට විදෙස්ගතවන සිසුන්ට රජය අනුග්‍රහය ලබාදීමයි. 

ලෝකෙ හැමතැනම තියෙන්නෙ පෞද්ගලික විශ්වවිද්‍යාල. ඇයි අපිට ඒවා ඇලජික් ද? 

ලාභ ලැබීමේ අරමුණින් ඉදි කළ පෞද්ගලික විශ්වවිද්‍යාල කිසිවක් ලොව කීර්තිමත් විශ්වවිද්‍යාල අතර නැත. සංවර්ධිත බව සැලකෙන රටවල පවා අධ්‍යාපනය පවතින්නේ ප්‍රධාන වශයෙන් ම රාජ්‍ය වගකීම යටතේ වන අතර මෙරටට සාපේක්ෂව විශාල ප්‍රතිශතයක් අධ්‍යාපනයට ප්‍රතිපාදන වෙන් කරයි. රාජ්‍ය විශ්වවිද්‍යාල යටතට නොගැනෙන ඔක්ස්ෆර්ඩ්, කේම්බ්‍රිජ් වැනි කීර්තිමත් විශ්වවිද්‍යාල කිසිවක් පෞද්ගලික විශ්වවිද්‍යාල නොවන අතර ඒවා පුණ්‍යායතන ලෙස ක්‍රියාත්මක වෙයි. 

රජය යටතේ බහුතරයක් විශ්වවිද්‍යාල පැවතිය ද මෙම බොහෝ විදෙස් රටවල නිදහස් අධ්‍යාපනයක් නැති බව සැබෑවකි. නමුත් එය කිසිඳු රටකට සාධනීය  ප්‍රතිඵල අත්කර දී නැත. අධ්‍යාපනයට මුදල් අය කිරීම හේතුවෙන් මෙම බොහෝ විදෙස් රටවල ශිෂ්‍ය ණය මාෆියාවක් බවට පත්ව තිබේ. විශේෂයෙන් ම යුරෝපාකරයේ ශිෂ්‍ය ණය මූල්‍ය අර්බුදයේ ප්‍රධාන පංගුව හිමි කරගෙන තිබේ. ඇමරිකා එක්සත් ජනපදයේ ගෙවිය නොහැකි ශිෂ්‍ය ණය ප්‍රමාණය ඩොලර් ට්‍රිලියන 1.71 කි. බ්‍රිතාන්‍යයේ එම අගය පවුම් බිලියන 177 කි. ඕස්ට්‍රේලියාවේ ඩොලර් බිලියන 66 කි. මෙම ශිෂ්‍ය ණය අර්බුදය මූල්‍ය අර්බුදයේ සීමාව ඉක්මවා ⁣ගොස් බරපතල සමාජ අර්බුදයක් දක්වා වර්ධනය වී තිබේ. එහෙයින් මෙහි කේන්ද්‍රීය  ප්‍රශ්නය  අධ්‍යාපනය මුදලට ලබාගැනීමට සිදුවීමයි. 

ජාජබ අනුර කුමාර දිසානායක ඕස්ට්‍රේලියානු සංචාරයට ගොස් මෙල්බර්න්වල ලාංකිකයන්ට පෞද්ගලික විශ්වවිද්‍යාලවල අවශ්‍යතාව පැහැදිලි කරදුන් දිනයේ ම මෙල්බර්න් විශ්වවිද්‍යාලයේ උපකුලපති ඩන්කන් මස්කෙල් ශිෂ්‍ය ණය අහෝසි කරන ලෙසත්, නිදහස් අධ්‍යාපනය තහවුරු කරන ලෙසත් බලකරමින් පැවැත්වූ ශිෂ්‍ය අරගලයකට සහය වෙමින් උද්ඝෝෂණයක නිරත විය. ඕස්ට්‍රේලියවෙ, එංගලන්තය, ඇමරිකාන, ප්‍රංශය ඇතුළු ලොව පුරා රටවල් ගණනාවක සිසුන්, ආචාර්යවරුන් මෙලෙස ශිෂ්‍ය ණය ක්‍රමයට, අධ්‍යාපනය විකිණීමට එරෙහිව දැවැන්ත අරගල ක්‍රියාත්මක කරමින් සිටියදී මෙරට පෞද්ගලික විශ්වවිද්‍යාල ඇරඹීමට පාලකයින් පිඹුරුපත් සකසමින් සිටියි.  

ලොව පුරා අධ්‍යාපනය සම්බන්ධව පැතිර යන නවතම රැල්ල නිදහස් අධ්‍යාපනය වන බව මෙරට ළිංමැඬි පාලකයින් දන්නේ නැත. ජර්මනිය 2014 දී ප්‍රාන්ත 16 ක විශ්වවිද්‍යාලවල සියලු මුදල් අය කිරීම් නතර කරන ලදී. නවසීලන්ත අගමැතිනිය සිය රට තුළ නිදහස් අධ්‍යාපනය තහවුරු කරන බව ජනතාව ඉදිරියේ පොරොන්දු ලබාදෙන ලදී. ඇමරිකා එක්සත් ජනපදයේ ජනපතිවරණ වේදිකා⁣ තැනෙද්දී නිදහස් අධ්‍යාපනය ගැන පොරොන්දු ප්‍රධාන අපේක්ෂකයන් විසින් ඉදිරිපත් කරයි. මේ සියල්ල නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් ලොව පුරා සිදු කරන සිසුජන අරගලයේ බලපෑම්ය. එබැවින් ලෝක යථාර්ථය ඉදිරියේ යල්පැන ගිය පෞද්ගලික විශ්වවිද්‍යාල සංකල්පය මෙරටට හඳන්වාදීම යනු අභ්‍යවකාශයට ගොං කරත්ත යැවීමට උත්සාහ කිරීමකි.

ඉතිං නියාමනය කරාම ඔය ප්‍රශ්න මොකුත් නෑනෙ?

පෞද්ගලික විශ්වවිද්‍යාල රාජ්‍ය නියාමනය යටතේ ආරම්භ කළ හැකි බවත් එවිට නිදහස් අධ්‍යාපනයටවත්, අධ්‍යාපනයේ ගුණාත්මකභාවයටවත් ගැටළුවක් නොවන බවත් තවත් ප්‍රසිද්ධ තර්කයකි. නමුත් මහපොළොවේ පෙනෙන යථාර්ථය එය නොවේ. පෞද්ගලිකකරණයට ලක් කළ අනෙක් කිසිඳු කේෂ්ත්‍රයක් නියාමනය කරගත නොහැකිව ති⁣බියදී අධ්‍යාපනය පෞද්ගලිකකරණය කොට නියාමනය කළ හැකි බව පිළිගන්නේ කුමටද? 

2022 ජනතාව සහල් පෝලිංවල සිටියදී විශාල මිල ගණන්වලට සහල් අළෙවි කිරීම සඳහා මෝල් හිමිකරුවන් සහල් තොග සඟවන ලදී. රජය පාලන මිලක් නියම කළ විට මෙම මෝල්හිමියන් මාධ්‍ය හමුවක් පවත්වා රජයේ පාලන මිල  ⁣අහෝසි කරන ලදී. මේ කුමන ආකාරයේ නියාමනයක් ද? බාල ඖෂධ ගෙන්වා මිනී මරන්නේ ඖෂධ නියාමන මණ්ඩලයක් රජය යට⁣තේ තිබෙන පසුබිමක් තුළ ය.  එක ම ඖෂධය විවිධ මිල ගණන්වලට අලෙවි වන්නේ කුමන නියාමනයක් රජය සිදු කරන නිසාද? ඉන්ධන සමාගම තුනක් විසින් මසකට කිහිප වතාවක් ඉන්ධන මිල තරඟයට මෙන් ඉහළ දමන්නේ රාජ්‍ය නියාමනයක් නොමැති නිසාද? නියාමනය කිරීමට තබා පෞද්ගලික සමාගම්වලට රජයෙන් ලබාදුන් ණය ටික අය කරගැනීමටවත් රජය කිසිවිටෙක එඩිතර වන්නේ නැත. එසේ තිබියදී පෞද්ගලික විශ්වවිද්‍යාල නියාමනය කළ හැකි බව විශ්වාස කිරීමට තරම් අන්ධ භක්තියක් පාලකයන් කෙරෙහි අපට නම් නැත.   

"කිරි දියෙනි දෙවියත් - අඟුරු සුදුවන කලෙක් නම් නැත්" යනුවෙන් පැරැන්නන් පවසා තිබේ. එලෙස ම කුමන සුදු හුණු ගෑවත් පෞද්ගලික විශ්වවිද්‍යාල සසාධාරණීකරණය කළ නොහැක. තුන්වේල කන්නට නැති ජනතාවකට පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කරන බව කීම හිඟන්නාගේ පාත්තරයට හෙනහුරා පාත්වීමකි. ගහෙන් වැටුණු මිනිහට ගොනෙකුත් අනින්නට සැලැස්වීමකි. එහෙයින් IMF කොන්දේසි මත අටවන පෞද්ගලික විශ්වවිද්‍යාල උගුලට අප හසුවිය යුතු නැත. පෞද්ගලික විශ්වවිද්‍යාල සංකල්පය ම පරාජය කළ යුත්තකි.

0 comments:

Post a Comment