Monday, November 6, 2023

රතුමල් පිපෙන ඉල්මහේ - සොයුර යළි ඔබ හඬ ඇහේ...


රතුමල් පිපෙන ඉල්මහේ - සොයුර යළි ඔබ හඬ ඇහේ..

ඔබ මියගොස් නැත! 34 වැනි ඉල්මහ විරු සමරුව නොවැ.13 පැවැත්වෙනවා. වසරින් වසර ඉක්මයද්දී ඉල්මහේ විරුවන් දිවි කුසුම් කැප කළ ශ්‍රේෂ්ඨ අරමුණු වඩ වඩාත් මේ සමාජයට අදාළ වෙනවා. ඒ නිසා මෙවර ඉල්විරු සමරුව කියන්නෙත් අරගලය පිළිබඳ යළිත් වතාවක් අලුත් කතාවක් ගොඩනගන්න සුදුසු ම අවස්ථාවක්. 

ඇමරිකාවෙ, ඉන්දියාවෙ අධිරාජ්‍යවාදී අරමුණු කරපින්නාගත් ජේ.ආර්.ජයවර්ධන ප්‍රමුඛ එජාප ආණ්ඩුව එදා නවලිබරල් වැඩපිළිවෙළ මෙරට තහවුරු කරන්න සමාජය මත විශාල මර්දනයක් මුදාහැරියා. ජාතිවාදී ගැටුම් නිර්මාණය කරා. අධිරාජ්‍යවාදී නවලිබරල් වැඩපිළිවෙළට එරෙහිව ක්‍රම වෙනසක් වෙනුවෙන් අරගල කරපු සහෝදර සහෝදරියන් දහස් ගණනින් මරලා දැම්මා. අද අපි ඉල්මහේ විරුවන් විදිහට සිහි කරන්නෙ එදා එජාපය ප්‍රමුඛ ධනවාදී ගහලයන් විසින් වධකාගාරවල දසවද දීලා මරලා දැම්ම ආදරණීය පරම්පරාවක්. ඔවුන් වීරයෝ වුණේ මරලා දාපු හින්දවත්, වධකාගාරවල වේදනා වින්ඳ හින්දවත් නෙවෙයි. මරණය පෙනී පෙනී ඔවුන් අපේක්ෂාවක් දල්ව⁣ගෙන හිටියා. සමාජවාදී සමාජයක් වෙනුවෙන් අත් නොහරින දිදුළන  අපේක්ෂාවක්! 

මළ මිනී මතින් ගොඩනැගුණු නවලිබරල් වැඩපිළිවෙළ 2009 න් පසු එහි දෙවන ඉණිම ආරම්භ කරා. මෙතෙක් අතගහන්න බැරි වුණු සියලු කේෂ්ත්‍රවලට කෑදර ප්‍රාග්ධනය බලහත්කාරයෙන් කඩාවැදුණා. නමුත් මේ දෙවෙනි ඉණිම ආරම්භ කරන්නෙ ම ලෝක පරිමාණයෙන් නවලිබරල් වැඩපිළිවෙලේ කඩුල්ල දැවී ගිය තත්ත්වයක් තුළ. 2007/2008 වෝල් වීදියෙන් ඇරඹුණු ආර්ථික අවපාතය 2019 අග කොවිඩ් වසංගතය පැමිණීමත් සමඟ බරපතල අර්බුදයක් බවට පත් වුණා. ලොව පුරා මෙතෙක් නොවූ විරූ විශාල ජන අරගල පැනනගින්න වුණා. 2022 අපේ ර⁣ටේ ජනතා නැගිටීම ඇති වෙන්නෙත් මේ සන්දර්භය ඇතුළෙ.  

ඇත්තටම දැන් ධනවාදය ගත කරන්නෙ පණ අදින ⁣පරඬැල් වෙච්චි මොහොතක්. 88/89 වකවානුවටත් වඩා ගතවෙන මේ මොහොත තුළ සමාජවාදී සමාජ පෙරළියක අත්‍යවශ්‍යතාවය දැඩිව දැනෙන්න  පටන් අරන්. ඇමරිකාව, ඉන්දියාව, චීනය ඇතුළු ලෝක බලවතුන්ගෙ යුධ පිටියක් බවට මෙරට පත් වෙමින් තියෙනවා. IMF කොන්දේසි සියලුම ජනතා අයිතීන් බලහත්කාරයෙන් උදුරගන්නවා. බදුබර බඩුමිල දෛනිකව ඉහළ යනවා. ජනතාව ත්‍රස්තවාදීන් කරන පනත් ගෙන ඒම දක්වා ම මර්දනය තීව්‍ර වෙලා. මේ ඔක්කොම සොහොන් ලකුණු.
ජනතාව පීඩනයෙන් පීඩනයට හෙළා ඇති ධනවාදයට අවසන් ගමන් යන්න කාලය හරි. ඒ සඳහා සැබෑ ක්‍රම වෙනසක් - සමාජවාදී සමාජයක් වෙනුවෙන් මහජන බලය සංවිධානය කළ යුතුයි. තප්පරයක්වත් ප්‍රමාද කරන්න බැරි මේ මොහොතෙ අපේ වගකීම ඒක. ඒ සඳහා පෙරගමන්කරුවන් වෙලා පාර පෙන්නපු, පන්නරය දීපු ඉල්මහේ ආදරණීයයන්ට විප්ලවීය ආචාරය පුද කරමු. ඔවුන්ගේ අරමුණු මල්ඵල ගන්වන්න සෑම ඩා බිඳුවක් ම කැප කරමු. 

0 comments:

Post a Comment