Monday, November 6, 2023

රනිල් - විජයදාස වාර්තාවට අත උස්සන්න කලින් Vaathi බලන්න.




රනිල් - විජයදාස වාර්තාවට අත උස්සන්න පෙර VAATHI බලන්න.

" ඉගෙනීම විකුණන්න එපා. ප්‍රසාදම් වගේ හිතේ ලෝභකමක් නැතුව දෙන්න ඕන" (VAATHI )

         පීඩිත පන්තියේ විඥානය සමාජගත කිරීමෙහිලා සිනමාව සිදුකරන ලද කාර්‍යභාරය ඉමහත් ය. එහිලා දකුණු ඉන්දීය සිනමාව පොදුජන අභිලාෂයන් කෙරෙහි වඩ වඩාත් සංවේදී වන බවක් දක්නට ඇත. 

                        Venky Atluri විසින් අධ්‍යක්ෂණය කරන ලද නවතම සිනමාපටය වන VAATHI එකී දකුණු ඉන්දීය සිනමාවේ ජනතාවාදී භාවයට නිදර්ශන සපයයි. සමාජ සංවර්ධනයෙහිලා වඩාත් සංවේදී බලපෑම් කරනු ලබන අධ්‍යාපන ප්‍රශ්නය චිත්‍රපටයට පාදක වී ඇත. ඉන්දියාවේ අති බහුතර ජනතාව අන්ත දුප්පතුන් ය. එදා වේල උපයාගැනීම පවා අවිනිශ්චිත ජීවිතයක් ගත කරන ජනතාවකගේ අධ්‍යාපන සෞඛ්‍යය තත්වය ඊටත් වඩා අවිනිශ්චිත වීම අරුමයක් නොවේ. 

                 VAATHI පසුබිම් කරන්නේ එවැනි සමාජයකී. අධ්‍යාපනය මුදල් උපයන ජාවාරමක් බවට පත්කරගත් කුප්‍රකට ව්‍යාපාරික පැලැන්තියක් විසින් මෙහෙයවන ජනතාවකගේ ඉරණම කවරාකාර වේවිද ? මෙකී පෞද්ගලිකරණ ජාවාරම නිසාවෙන් රාජ්‍ය අධ්‍යාපනයට කනකොකා හඬන අතරම අධ්‍යාපනය ධනවතුන්ගේ වරප්‍රසාදයක් බවට පත් වේ. එහෙයින් සමාජයේ අති බහුතරයකගේ අධ්‍යාපන අයිතිය අහිමි වන බව වාති පෙන්වා දෙයි. 

    " පහළ මධ්‍යම පන්තියේ දෙමව්පියෝ එයාලගෙ දරුවන්ගේ ආසාව ඉෂ්ට කරන්න එයාලගේ ආසාවන් මකලා දානවා. දරුවෝ එකවේලක් බඩගින්නේ නොතියන්න මෙයාලා බඩගින්නේ ඉන්නවා සර්. ( VAATHI ) 

චිත්‍රපටයක් යනු ප්‍රබන්ධයකී. එනමුත් ප්‍රබන්ධය අධ්‍යක්ෂකවරයාගේ පරිකල්පනය තුළ ගොඩනැගුනු මනඃකල්පිතයක් නොවේ. පොදු සමාජ යථාර්ථයම චිත්‍රපටය තුළින් ප්‍රතිනිර්මාණය කිරීම ජනතාවාදී සිනමාවේ ලක්ෂණයයි. පහල පන්තියේ ජනතාවගේ ප්‍රශ්නය කෙරෙහි සංවේදී වන තරමටම ප්‍රේක්ෂකාගාරය අවධානය දිනාගැනීමට හැකියාව ලැබේ. 

                          ධනේශ්වර ජාතිය නිර්මාණය වීමේදී නොවිසඳුණු ජාතික ගැටලුව ද ඉන්දීය සමාජයේ බරපතළ ප්‍රශ්නයක් වශයෙන් පවතී. පාලකයන්ගේ දේශපාලන අරමුණු මුදුන් පමුණුවා ගැනීම වෙනුවෙන් නඩත්තු කරන ජාතිවාදී කුලවාදී බෙදීම ඇතැම් අවස්තාවක සමාජ ඝට්ටනයක් දක්වා තීව්‍ර වේ. 

" සර් එයාලා ලගින් අපි වාඩිවෙන්නේ නෑ.

ඒ මොකෝ ?

එයාලා වෙන අය සර්.

වෙන අය කිව්වේ ? 

වෙන කිව්වේ වෙන අය සර්..."  (VAATHI ) 

                       මීට පෙර නිර්මාණය වූ HICHKI සහා SUPER 30 චිත්‍රපටයන්ගේ හෙවනැල්ල VAATHI නිර්මාණය කිරීමේ දී වැදගත් වන්නට ඇත. මෙම චිත්‍රපට තුනේම ආඛ්‍යානයේ යම් සමානතා පෙන්නුම් කරන්නේ එබැවිනි. අධි යථාර්ථවාදය කරපින්නාගත් හරසුන් නිර්මාණයක් වෙනුවට VAATHI එක එල්ලේම පීඩිත ජනතාව මත නිදන්ගත වෙමින් නිර්මාණ කාර්‍යයේ යෙදෙන්නේ සිනමාවේ සැබෑ අභිලාෂයන් මුදුන් පමුණුවමිනි. 

              මෑත යුගයේ ලංකාව තුළ පවා අධ්‍යාපන ප්‍රශ්නය පිළිබඳ සාකච්ඡා සමාජයේ නිර්මාණය විය. ඒ අධ්‍යාපනය පෞද්ගලිකරණය කිරීමට අදාළ නීති සම්මත කිරීමේ අරමුණින් සභාගත කළ රනිල් විජේදාස වාර්තාවත් සමගිනි. පෞද්ගලික පාසල් මෙන්ම පෞද්ගලික විශ්වවිද්‍යාලද නීතිගත කිරීමට අදාල ප්‍රතිපාදන මෙම වාර්තාව මගින් සම්පාදනය කර ඇති අතර රාජ්‍ය පාසල් දහස් ගණනක් වසා දැමීමේ උපායමාර්ගික වැඩපිළිවෙළ අනුව පොකුරු පාසල් ක්‍රමයක් යෝජනා කර ඇත. සියල්ල ලාභ සඳහා විකුණන නවලිබරල් වෙළෙඳපොළට ලංකාවේ අධ්‍යාපනය විවෘත කිරීම යනු මරණයට අත වැනීමක් බව අවබෝධ කරගැනීමට VAATHI නරඹන ලෙස අපි ඔබට ආරාධනා කරමු. අධ්‍යාපනය වෙළඳභාණ්ඩකරණය කළ සමාජයක ඉරණම එමගින් ඔබට අවබෝධ වනු ඇත.



0 comments:

Post a Comment