Monday, November 6, 2023

අහස් මාළිගය කඩන් වැටුණ ද?



අහස් මාළිගාව කඩා වැටුණා ද ? 

         2022 / 2023 අ.පො.ස. උසස් පෙළ විභාග ප්‍රතිඵල පසුගිය සැප්තැම්බර් මාසේ නිකුත් වුනා. මෙවර විභාගයට පෙනී සිටි සමස්ථ අපේක්ෂකයින් සංඛ්‍යාව 331711ක්. ඒ අතරින් 166938 දෙනෙක් සරසවි අධ්‍යාපනය සඳහා සුදුසුකම් ලැබුවා. එහෙත් ප්‍රශ්නෙ තියෙන්නේ ඒ සමස්ථ ප්‍රමාණයටම උසස් අධ්‍යාපන පහසුකම් දෙන්න රාජ්‍ය සරසවි පද්ධතිය සමත්ද ? කියන කාරණය. මෙවර රාජ්‍ය විශ්වවිද්‍යාලවල උපාධි පාඨමාලා සඳහා තෝරාගත් සමස්ථ සිසුන් ප්‍රමාණය 44000යි.

                     ඉතින් උසස් පෙළ සමත් වෙලත් උපාධි සිහිනය අහිමි වෙච්ච අපි ඉස්සරහට මොනවද කරන්නෙ ? නැත්තං උසස්පෙළ නියමිත ලකුණු ප්‍රමාණය ගන්න බැරුව අසමත් වෙච්ච අපි ඉස්සරහට මොනවද කරන්නෙ ? කියන ප්‍රශ්නයට උත්තර නැතුව දහස්ගාණක් මේ වෙද්දිත් නන්නත්තාර වෙලා. එහෙම අසරණ වෙච්ච සිසුන් බිලී බාගන්න කළුකඩ මුදලාලිලා එහෙන් මාන බලනවා. 

                       ග්ලැඩියේටර් ප්‍රේමය වේදිකා නාට්‍යයේදී නාමල් ජයසිංහ කියනවා " දරුවෙක්ට පරිස්සමෙන් පය තියලා ඇවිදින් යන්න පුලුවන් පොළොවක් නෙමෙයි දැන් තියෙන්නෙ " කියලා. හෙට ඉපදෙන්න ඉන්න පොඩි එකා පවා ලක්ෂ ගානක් ලෝකෙට ණයයි. 

                       සංඛ්‍යා ලේඛන අනුව 2019 අවුරුද්දේ ලක්ෂ 30ක් වෙච්ච දිළිඳු ජනගහනය 2023 වෙද්දි ලක්ෂ 70 ඉක්මවා ගිහිල්ලා. 2018 අවුරුද්දේ 34% වෙච්ච වතුකරයේ දරිද්‍රතා මට්ටම 2023 වෙද්දි 51%යි . වයස අවුරුදු 5ට අඩු දරුවන්ගෙන් 43%කට මන්දපෝෂණය. අධ්‍යාපන අයිතිය දිනෙන් දිනම කප්පාදු වෙනවා. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රශ්න ගොඩයි . රෝහල්වල බෙහෙත් නෑ. තියෙන බෙහෙත් බොන්න බයයි. ඒවා බිව්වම ලෙඩ්ඩ උන්හිටි තැන මැරිලා වැටෙනවා. මෙහෙම සමාජයක තමයි අපි ජීවත් වෙන්නෙ. 

                           දැන් ගොඩක් අය හිතනවා රට ගිහිල්ලා මේ ප්‍රශ්න විසඳගන්න . හිතලා බලන්න රට ගිහිල්ලා ඩොලර් හොයාගෙන තව අවුරුදු පහ හයකින් ඉන්න වෙන්නෙත් මේ රටේම තමයි . ඒ වෙද්දි මේ අපාය දිව්‍ය ලෝකයක් වෙලා තියෙන්නෙ නෑනෙ . ඉතින් එතකොට ආයෙ රට යනවද ? ඔබට ජීවත් වෙන්න තියෙන අයිතිය ඉගෙනගන්න තියෙන අයිතිය කොල්ලකාපු මේ නරුම සමාජ ක්‍රමය තවදුරටත් නඩත්තු කරනවද ? නැත්තං එකතුවෙලා මේ සමාජය වෙනස් කරනවද කියලා හිතල බලන්න සුදුසම කාලය තමයි දැන් උදාවෙලා තියෙන්නෙ . 

"අපි ආස කරන සමාජය අහසින් පාත් වෙන්නෙ නෑ උත්තරා දේවි. අපි ඒකට උත්සාහ කරන්න ඕනේ. අපිමයි ඒක හදාගන්න ඕනේ."

 ( සහෝදරයා - නාමල් ජයසිංහ )

0 comments:

Post a Comment