Tuesday, November 7, 2023

බළලුන් ලවා කොස් ඇට බාවන ඇමරිකානු උපක්‍රමය

 


බළලුන් ලවා කොස් ඇට බාවන ඇමරිකානු උපක්‍රමය

ඊශ්‍රායලය හා පලස්තීනය අතර යුද්ධය නැවත වටයකින් ආරම්භ වී ඇත . මෙම ලිපිය ලියන අවස්ථාව වන විටත් ගාසා තීරය ආශ්‍රිතව පවතින්නේ වෙඩි හඬවල් සහා මිනිසුන්ගේ වේදනාවේ විලාපය පමණී. ලෝක බල දේශපාලනයේ උවමනාවන් සතෘප්ත කිරීමට දහස් ගණනින් දරුවන් මරා දමන ඊශ්‍රායල් පලස්තීන් යුධ උමතුව පරාජය කිරීමට නම් එහි මූලයන් පිළිබඳව දැනුම්වත්ව සිටිය යුතුය. මෙම ප්‍රශ්නය ආගමික හෝ දේශපාලනික කෝවකට දමා සමාලෝචනය කළ හැකි වියුක්ත ප්‍රශ්නයක් නොවේ. එය සමස්ථ ලෝක දේශපාලනය සමග සංයුක්තව ගැටගැසී ඇත. 

                   පුරාවෘත්තයන් අනුව අරාබි ජාතිකයන් සහා යුදෙව් ජාතිකයන් යනු එකම මූලයකින් පැවතෙන පරම්පරාවන් දෙකකි. යුදෙව් , ක්‍රිස්තියානි සහා ඉස්ලාම් යන ආගම් තුනේම අදහන්නේ එකම දෙවි කෙනෙක් වනාතර එවායේ ඉතිහාසයද එකිනෙකට ගැටගැසී ඇත. යුදෙව් පුරාවෘත්තයන්ට අනුව යුදෙව් ජාතිකයින් යනු දෙවියන් වහන්සේ විසින් තම පරම්පරාව පවත්වාගෙන යාම සඳහා තෝරාගත් ජාතියයි. ආබ්‍රහම් නම් නම් දිවැසිවරයා යටතේ යුදෙව්වන්ට පොරොන්දු දේශයක් ලබා දුන් බව ඉතිහාසයේ සඳහන්ව ඇත. අදින් වසර 3834කට පමණ පෙර ආරම්භ වූ මෙම දේශය හැදින්වූයේ කානාන් දේශය නමිනි. වරින් වර සතුරු ආක්‍රමණ හමුවේ පරාජය වෙමින් සහා ජයග්‍රහණය කරමින් යුදෙව්වන් මෙම දේශය ගොඩනැගූ බවට ඉතිහාසය සාක්ෂි සපයයි. 

                ක්‍රිස්තු පූර්ව දහවන සියවසේදී පමන ඊජිප්තු පාරාවෝ  පාලකයෙක් වූ ශිශාක් යුදෙව් දේශය ආක්‍රමණය කළ අතර යුදෙව්වන් ලක්ෂ ගණනින් වහලුන් ලෙස ඊජිප්තුවට රැගෙන යන ලදී. පසුව මෝසෙස් යටතේ නැවතත් සංවිධානය වූ යුදෙව්වන් නිදහස ලබා නැවතත් සිය පොරොන්දු දේශය වෙත පැමිණෙන ලදී. ඉන්පසුව බැබිලෝනියානුවන් විසිනුත් පසුව රෝම අධිරාජ්‍ය මගිනුත් කානාන් දේශය යටත් කරගන්නා ලදී. එහිදී රෝම පාලන සමයේදී යුදෙව්වන්ගේ දේශය සිරියාද පලස්තීනා යැයි වෙනස් කර ඇත. ක්‍රි.ව. 636 දී මුස්ලිම් ජාතිකයන් විසින් ජෙරුසෙලම ආක්‍රමණය කළ අතර එයින් පසුව පළමු ලෝක යුද්ධය දක්වාම මෙම භූමියේ පාලන බලය ඔටෝමන් තුර්කි අධිරාජ්‍ය සතු විය. මුස්ලිම් අධිරාජ්‍යක් වූ ඔටෝමන් පාලනය යටතේ බොහෝ යුදෙව්වන් මෙම භූමියෙන් පිටමං කළ අතර ඉතිරි වූවන්ගෙන් බහුතරයකට ඉස්ලාම් ආගම වැලඳ ගැනීමට බලකරන ලදී. කෙසේ වෙතත් එයින් පසු වසර දහස් ගණනක් තිස්සේ මෙම භූමියේ යුදෙව් ඉස්ලාම් සහා ක්‍රිස්තියානි ජන කොටස් මිශ්‍රව ජීවත්ව ඇත. 

                      මුස්ලිම් ආක්‍රමණයත් සමග ලෝකය පුරා විසිර ගිය යුදෙව්වන්ට ස්ථිර දේශයක් දිනාගැනීම සඳහා දියත්කළ මතවාදීමය මෙහෙයුම සියෝන්වාදයයි. ප්‍රංශ හමුදාවේ සේවය කළ ඩිරෙප්ස් නම් යුදෙව් සොල්දාදුවාට එරෙහිව පාවාදීමේ ඡෝදනාව මත එල්ල වූ ණඩු විභාගය නැරඹීමට ගිය තියෝඩර් හර්ෂල් විසින් ක්‍රි.ව. 1897 දී සියෝන්වාදී යුදෙව් සංගමය පිහිටුවන ලදී. එහි ආරම්භක සාමාජික සංඛ්‍යාව 197කි. සියෝන් යනු ඊශ්‍රායලයේ පිහිටි කන්දක් වන අතර එහි අර්ථය " නැවත තම මුල් බිම් වෙත " ( Land of Israel ) යන්නයි. පළමු ලෝක යුද්ධයත් සමග ජර්මනියට සහා ඔටෝමන් තුර්කි අධිරාජ්‍යයට එරෙහිව සටන් වැදුනු එංගලන්තය ප්‍රමුඛ පාර්ශ්වයට යුදෙව්වන්ගේ සහය හිමි විය. ඒ සිය පොරොන්දු දේශය නැවත ලබාදිය යුතුය යන ගිවිසුම පිටය. Balfour Declaration නමින් ප්‍රසිද්ධ වූ මෙම ගිවිසුම සඳහා මූලිකත්වය ගනු ලබන්නේ එවකට බ්‍රිතාන්‍ය විදේශ කටයුතු ලේකම් ආතර් බැල්ෆෝර් විසිනි. පළමු ලෝක යුද්ධයෙන් ඔටෝමන් තුර්කි අධිරාජ්‍ය පරාජය වන අතර ඊශ්‍රායල් පලස්තීන් භූමිය බ්‍රිතාන්‍ය පාලනය යටතට පත් විය. එහෙත් යුදෙව්වන්ට පොරොන්දු වූ රාජ්‍ය ලබාදීමට බ්‍රිතාන්‍යයන් කටයුතු කලේ නැත. නමුත් අධික මුස්ලිම් ජන ගහනයක් පවතින මෙම ප්‍රදේශයට ක්‍රමයෙන් ලෝකයේ විවිධ රටවල විසිරී සිටි යුදෙව් ජාතිකයන් පැමිණෙන්නට විය. 

                  යුදෙව්වන් මිලියන හයකට වඩා සමූල ඝාතනය කළ හිට්ලර්ගේ ජර්මනිය ඇතුළු අක්ෂි පාර්ශ්වයට එරෙහිව ඇරඹි දෙවන ලෝක යුද්ධයේදී යුදෙව්වන් නැවතත් බ්‍රිතාන්‍යය සහා ඇමරිකාව නියෝජනය කළ මිත්‍ර පාර්ශ්වයට සහයෝගය දෙන ලදී. මෙම සංග්‍රාමයෙන් පසු වර්ෂ 1948 දී බ්‍රිතානයන් ඊශ්‍රායල් භූමියෙන් ඉවත් වූ අතර යුදෙව් ජාතිකයන් ඊශ්‍රායලය නමින් ස්වාධීන රාජ්‍යයක් ප්‍රකාශයට පත්කලේය. 

                    මුලදී ඉතා සීමිත භූමියකට සීමා වූ ඊශ්‍රායලය පසුකාලීනව පලස්තීන භූමිය ආක්‍රමණය කරමින් ව්‍යාප්ත වූ අතර වර්ථමානය වන විට පලස්තීනය ගාසා තීරයට සහා බටහිර ඉවුරට පමණක් සීම කර ඇත. මෙම ඊශ්‍රායලයෙ ආක්‍රමණය පිටුපස තිබෙන්නේ ඇමරිකානු අධිරාජ්‍යවාදී උවමනාවන් ය. මුස්ලිම් රටවල්වලින් වට වූ මැදපෙරදිග ආශ්‍රිතව යුදෙව් රටක් නිර්මාණය කිරීමේ මූලික සැලසුම වන්නේම මැදපෙරදිග බලය තමන්ට උවමනා ලෙස පවත්වාගෙන යාමේ රූකඩ රාජ්‍යයක අවශ්‍යතාවයයි. මැදපෙරදිග තෙල් සම්පත සහා එහි භූ දේශපාලනික වටිනාකම ඇමරිකානු අධිරාජ්‍යවාදයට මගහැර යා නොහැකි තත්වයකී. එබැවින් වර්තමාන ගාසාතීරයේ ප්‍රශ්නයට මූලික වූ හමාස් අන්තවාදය මෙන්ම සියෝන් අන්තවාදය පිටුපසද ආරම්භක සාධකය වශයෙන් ඇමරිකාව සිටින බව පැහැදිලි වේ. ඊශ්‍රායලය හරහා ඇමරිකාව මේ සිදුකරන්නේ බළලුන් ලවා කොස් ඇට බාවන ක්‍රියාවලියකි.

               අධිරාජ්‍යවාදීන්ගේ ප්‍රාග්ධන උවමනාවන් සංතෘප්ත කරන ඊශ්‍රායල් පලස්තීන් යුද්ධයෙන් බැට කන්නේ දෙරටේම අහිංසක දුප්පත් ජනතාවය. ඊශ්‍රායලය බිහි වූ දා පටන් පලස්තීනය මත පැටවූ බලහත්කාරයේ පීඩනය මෙසේ පුපුරා යාම ආකාශ්මික සිද්ධියක් නොවේ. ගාසාතීරයේ ගුවන් සහා නාවුක බලය තමන් සතු කරගනිමින් ඊශ්‍රායලය ගාසාතීරය ලොව විශාලතම එළිමහන් සිරකඳවුර බවට පත්කළ බව නොරහසකි . මේ පුපුරා යන්නේ පලස්තීනුවන්ගේ එයට එරෙහි පීඩනයයි. එහෙත් එකී පීඩනය ඉල්ලක්ක වන්නේ අධිරාජ්‍යවාදයට සහා ප්‍රාග්ධන වියරුවට එරෙහිව නොවීම කණගාටුවට කරණකි. 

                 අන්තවාදය පෝෂණය කරමින් සිය අධිරාජ්‍යවාදී දේශපාලන ඉලක්ක සපුරාලීමට යුද්ධය පෝෂණය කරණ ප්‍රාග්ධන ක්‍රියාවලියට එරෙහිව වැඩකරන ජනතා බලයක් ජාත්‍යන්තර මට්ටමින් ස්ථාපිත කළ යුතුය. ඊශ්‍රායලයේත් පලස්තීනයේත් පීඩිත ජනතාවගේ නිදහස ස්වාධීනත්වය ආරක්ෂා වන්නේ එවැනි සන්ධානයක් මගින් පමණි.

0 comments:

Post a Comment