Wednesday, August 14, 2013

පසුගිය ජූලි 03 වැනි දින ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිට විශ්වවිද්‍යාල කොමිසම් සභාව දක්වා ගිය පා ගමනින් අනතුරුව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර සහෝදරයා පසුගිය ජූලි 08 වැනිදා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය මගින් තීන්දු කරන ලදි. එහිදී ඔහුට එරෙහි චෝදනා ගොනු කර තිබුණේ පසුගිය වසරේ අගෝස්තු 29 වැනි දින කොළඹ කොටුවේ පැවති උද්ඝෝෂණයට නායකත්වය දීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන නිදහස් කිරීමේ දී ලබා දුන් ඇප කොන්දේසි වූ ‘‘නීති විරෝධී උද්ඝෝෂණවලට සම්බන්ධ නොවිය යුතුය’’ යන්න කඩකිරීම හා නීති විරෝධී උද්ඝෝෂණයක සාමාජිකයකු වී මහජන පීඩාවන් ඇතිවන අයුරින් හැසිරීම යන්න ස`දහායි.
ඉන් දිනකට පසුව එනම් ජූලි 09 වැනි දින අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලයේ කැඳවුම්කරු කිඹුල්ලෑවේ චන්දානන්ද හිමියන් අත්අඩංගුවට ගත් අතර එහිදී චෝදනා වූයේ වරෙන්තු 07ක් තිබීම, ජුනි 26 වැනි දින හා ජූලි 03 වැනි දින පැවති උද්ඝෝෂණ පාගමන් සඳහා සිසුන් පෙළඹවීම හා විශ්වවිද්‍යාල භූමිය තහනම්ව තිබිය දී විශ්වවිද්‍යාලයට ඇතුල්වීම යන්නයි.
මේ අතර පසුගිය ජුනි 26 වැනි දින ජයවර්ධනපුර සරසවියේ ‘‘අධ්‍යයන සුභසාධන ගැටළු විසඳනු!’’ හා ‘‘ශිෂ්‍ය මර්දනය නවතනු!’’ යන සටන් පාඨ  මුල්කර ගෙන විශ්වවිද්‍යාලයේ සිට නුගේගොඩට පැමිණි පාගමනේ දී එය මෙහෙයවීම හා මහජනයා පීඩාවට පත් කිරීම යන චෝදනා යටතේ ජයවර්ධනපුර සරසවියේ සිසුන් දෙදෙනෙක් හා ඒ වන විටත් බන්ධනාගාරගතව සිටි සංජීව සහෝදරයා චෝදනා ලැබීය. පසුගිය ජූලි 12 වැනි දින ගංගොඩවිල අධිකරණයට ඉදිරිපත් කරන ලද ජයවර්ධනපුර සරසවියේ සිසුන් දෙදෙනා එදිනම නිදහස් කරන ලද නමුත් සංජීව සහෝදරයා තව දින 14 කට එනම් ජූලි 26 වැනි දින දක්වා රිමාන්ඞ් බන්ධනා- ගාරගත කිරීමට නියෝග ලබාදුනි. මේ අතර ජූලි 13 වැනි දින කිඹුල්ලෑවේ චන්දානන්ද හිමියන් ගංගොඩවිල අධිකරණය විසින් නිදහස් කරන ලදී.
නැවත ජූලි 15 වැනි දින කොටුව උසාවියේ පැවති නඩු විභාගයේ දී සංජීව සහෝදරයා එම නඩුවෙන් නිදහස් කරන ලදි. නමුත් එහිදී රුහුණ හා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලවල උපකුලපතිවරු ඔහු විශ්වවිද්‍යාල සිසුවකු නොවන බවට ලිපි එවා තිබුණි.
එහිදී මහේස්ත‍්‍රාත්වරයා ඉදිරිපත් කළ ඇප කොන්දේසි වන්නේ
1. විනය විරෝධී උද්ඝෝෂණවලට සම්බන්ධ නොවිය යුතුය.
2. නීත්‍යානුකූල අවසරයකින් තොරව ලංකාවේ කිසිඳු විශ්වවිද්‍යාලයකට ඇතුලූ නොවිය යුතුය.
3. මාසයකට දින 2ක් එනම් පළමු හා තෙවන ඉරිදා දිනවල අපරාධ අංශයට වාර්තා කළ යුතුය. 
යන ඒවාය. ජූලි 26 වැනි දින ගංගො-ඩවිල උසාවියේ නඩු තීන්දුවෙන් ද සංජීව බණ්ඩාර සහෝදරයා නිදහස් කරන ලදි.
මේ පිළිබඳව අප කළ විමසීමක දී අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ නියෝජිතයකු ප‍්‍රකාශ කර සිටියේ උද්ඝෝෂණ නිසා මහජනයා පීඩාවට පත්වනවා නොව මහජනයා පීඩාවට පත් වන නිසා උද්ඝෝෂණ සිදුකරන බවය. තවදුරටත් අදහස් දැක් වූ ඔහු ප‍්‍රශ්න කර සිටියේ නීති විරෝධී උද්ඝෝෂණ හා නීති ගරුක උද්ඝෝෂණ යනුවෙන් දෙවර්ගයක් තිබේද යන්න හා ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවට අනුව  ඕනෑම පුද්ගලයකුට  ඕනෑම ස්ථානයකට යෑමේ ඒමේ නිදහස ලබා දී තිබිය දී සංජීව සහෝදරයාට විශ්වවිද්‍යාලයට ඇතුල් වීම තහනම් කළේ කවර වුවමනාවකටද යන්නයි.
වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු ප‍්‍රකාශ කළේ මේ සියලූ තීරණවලින් ප‍්‍රකාශ වන්නේ පාලකයන්ගේ දේශපාලන අවශ්‍යතාව වෙනුවෙන් අධිකරණය පාවිච්චි කරන අතර අධිකරණය කිසිසේත් ස්වාධීන එකක් නොවන බවයි.

0 comments:

Post a Comment