Sunday, July 14, 2013

මළගිය ප‍්‍රාණකාරයින්ගෙන් ප‍්‍රවේසම් වන්න...


පසුගිය කෙටි කාලය තුළ ලංකාවේ දේශපාලන සන්දර්භය තුළ විවිධ අරගල ඉස්මතු විය. ඒවා සිය පිය සටහන් අකාමකා දමමින්ම අතුරුදහන්ව ගියේය. එම අරගල නිර්ධන පන්තියේ පන්ති වුවමනාවන්ට අනුගත කරන ලද එල්ලයකට ගෙන ඒමට නොහැකිවීම නිසාම ඒවායේ විභවය සමාජ ප‍්‍රගමණයට දායක වූ ප‍්‍රමාණය පිළිබඳ විවාදයක් ඇත. විශ්වවිද්‍යාල ආචාර්ය අරගලය, අගවිනිසුරුවරිය ඉවත් කිරීමට එරෙහි අරගලය, විදුලි බිලට එරෙහි අරගලය යන මේ සියල්ල අප කැමති නම්, උගන්වන පාඩම් බොහෝය. 

නවලිබරල් ධනවාදය තුළ සිදු වූ තවත් වර්ධනයක් වන්නේ ‘දේශපාලනය’ සමාජ භාවිතාවකට වඩා මාධ්‍ය භාවිතාවකට විස්ථාපනය වීමය. එනිසා අද සමාජ අරගලයන් අවුළුවන්නේත් ඒවා නිවාදමන්නේත් ජය පරාජය පිළිබඳ ඇගැයීම දෙන්නේත් මාධ්‍ය අයිතිකරුවන් කිහිප දෙනෙක් විසින්ය. අනෙක් පසින් බොහෝ වාම දේශපාලන පක්ෂවලට සිදුවී තිබෙන්නේත් සිදුකරනු ලබන්නෙත් ධනේශ්වර මාධ්‍ය නැමති නෑවේ නැගී සමාජවාදයේ පාරාදීසයට යාමට උත්සාහ දැරීමකි. ධනේශ්වර මාධ්‍ය වර්ජනය කළ යුතු යැයි අදහසක් මින් නොහැෙඟ්. එහෙත් ධනේශ්වර මාධ්‍ය සමග කටයුතු කරන විට වමට එය තුළ ආකාර කිහිපයක ප‍්‍රවේශයක් තිබිය යුතුය. ධනේශ්වර මාධ්‍ය සිය අවශ්‍යතාවන් වෙනුවෙන් යොදා ගැනීම, ධනේශ්වර මාධ්‍ය තුළ ඇති ජනතා විරෝධී ස්වභාවය හෙළිදරව් කිරීම, ධනේශ්වර මාධ්‍ය ආයතන තුළ සිටින මාධ්‍යවේදීන් දිනාගැනීම ආදි ලෙස එය අපට දැකිය හැක. මේ සියල්ල එකක් පසුව එකක් ලෙස නොව එකවර පවත්වා ගත යුතුය. ඒවායේ බරතැබීම එම මොහොතේ පවතින දේශපාලන හැසිරීම මත තීරණය කළ හැක. 


එහෙත් පසුගිය දා විදුලි බිල සඳහා වූ සටනට ජවිපෙ පන පෙව්වේ කෙසේද? එය මුළුමනින්ම මාධ්‍ය සංදර්ශනයක් විය. වැඩ වර්ජනය කිරීමට නියමිත දිනය වූයේ 21 දාය. ඒ සඳහා වැඩබිම්වලට යැවිය යුතු අත්පත‍්‍රිකාව මුද්‍රණය කර යැව්වේ 19 දාය. වැඩබිම් රැස්වීම් කැඳව්වේ නැත. ජවිපෙට විශාල බලයක් ඇති විදුලිබල මණ්ඩලයේ පවා වැඩ වර්ජනය සාර්ථක වූයේ නැත. ජවිපෙ වරාය වෘත්තීය සමිතියේ සේවකයින් හා මහ රෝහලේ ජවිපෙ සාමාජිකයින් වැඩවර්ජනය කළේ නැත. ඔවුන් එදින ලෙඩ නිවාඩු දමා සේවයට නොපැමිණ සිටියේය. වැඩ වර්ජනයට ගත හැකි වූයේ හාම්පුතුන් සමග සාමූහික ගිවිසුම් ඇතිකර ගනිමින් කෙළිදෙලින් ගතකරන සමහර පෞද්ගලික අංශයේ සේවකයින් පමණි. හාම්පුතුන් මෙයට නොමද සහයක් දුන්නේ විදුලි ප‍්‍රශ්නය ඔවුන්ගේ වෙළඳ ස්ථරවලටද බලපාන හෙයිනි.
         
මෙම වැඩ වර්ජනය සාර්ථක කිරීමට වෙහෙස වූ හා එයට උද්යෝගයෙන් සහභාගීවූවන් අපි කිසිලෙසකින්වත් විවේචනය නොකරමු. අපේ විවේචනය ඇත්තේ ඊට නායකත්වය දුන් නායකයන් කෙරෙහිය. ඔවුන්ගේ හැසිරීම ඉතාම වගකීම් විරහිත බව ඉතා වගකීම් සහගතව කිව හැක. ඒ මොහොතේ විදුලි බිල ප‍්‍රශ්නය කේන්ද්‍ර කරගත් යම් උත්සන්නියක් පැවති බව අපගේ අදහසයි. එහෙත් එයට ජවිපෙ ප‍්‍රවේශ වුණේ ‘කඩිමුඩි-දඩිබිඩිස්’ ක‍්‍රමවේදයෙනි. ඔවුන්ට එලෙස ‘දඩිබිඩිස්’ අරගලයක් අවශ්‍ය වුණේ පක්ෂය මුහුණ දී ඇති දේශපාලන අර්බුදය ආවරණය කර ගැනීමටය. ඔවුන්ගේ අභිප‍්‍රාය වන්නේ සෑම දිනයකම ප‍්‍රවෘත්තිවල මුල් පෙළ සිටීමය. ප‍්‍රවෘත්ති තුළ පක්ෂයක ක‍්‍රියාකාරකම් ප‍්‍රචාරය වීම අවශ්‍යතාවක් වුවද, එම අවශ්‍යතාවට සියලූ දේ අලගු තැබීම නිවැරදි නොවේ. අනෙක් කරුණ වන්නේ ඔවුන් මේ ක‍්‍රීඩාව කරන්නේ පීඩිත පන්තියේ පන්ති වුවමනාව සමග වීමයි. 

ආචාර්ය අරගලය මොහොතේද අප මෙය එලෙසින්ම දුටුවෙමු. විශ්වවිද්‍යාල ආචාර්යවරුන් නිදහස් අධ්‍යාපනයෙන් අරඹා පසුව තීරණාත්මක මොහොතක ‘රාජ්‍ය අධ්‍යාපනය සුරකිමු’ යන්නට පසුබැස්සේය. විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය ඒ තත්වයට ගමන් කිරීම පිළිබඳ එකඟ නොවන්නේ නමුත් ඔවුන් මුහුණ දී තිබූ සංකීර්ණත්වය අපට තේරුම්ගත හැකිය. 
එහෙත් ජවිපෙ කළේ කුමක්ද? සුපුරුදු ලෙස ක‍්‍රීඩා කිරීමයි. ජවිපෙ මුළු ඉතිහාසය තුළම එහි ශිෂ්‍ය අංශය වූ ‘සමාජවාදී ශිෂ්‍ය සංගමය’ භාවිතා නොකළ සටන් පාඨයක් වන ‘රාජ්‍ය අධ්‍යාපනය සුරකිමු’ යන්න කරපින්නා ගත්තේය. එය කළා පමණක් නොව ඒ සඳහා තර්කයක්ද සැකසූවේය. ඔවුන්ගේ තර්කය වූයේ නිදහස් අධ්‍යාපනය රකින්න නම් එහි පළමු අදියර ලෙස රාජ්‍ය අධ්‍යාපනය රැකිය යුතුය යන්නයි. මෙය ඉතාම ලැජ්ජා සහගත තත්වයකි. ඔවුන් වැටී ඇති ‘ප‍්‍රායොගිකවාදයේ’ (තත්කාර්යවාදයේ) ගැඹුර එයින්ම ප‍්‍රකාශ වේ. ඔබට කන්න අවශ්‍ය නම් කබරගොයා කන්න. ඒත් ඌට තලගොයා යැයි නොකියන්න. 

එපමණක් නොව අගවිනිසුරුවරිය බේරාගැනීමේ සටනේදීද ජවිපෙ මධ්‍යම කාරක සභිකයොත් ‘පොල් ගසමින්’ ඊට දායක වන අයුරු දුටුවෙමු. මේ සියල්ල විචාරශීලීව බලන්නෙකුට සිතෙන්නේ ජවිපෙ වත්මන් ගුරුවරයා මාක්ස් නොව මකියාවේලි බවයි. 
අප මේ සියල්ල ලියන්නේ ‘ජවිපෙට ගහන්න  ඕනෑ’ යන සිතීම නිසා නොව ලංකාවේ දේශපාලනය මත කෙරෙන මෙම න්‍යාය විරෝධී, ජනතාවට අවසාන විග‍්‍රහයේ සතුරු වන ක‍්‍රියාවලිය හෙළිදරව් කළ යුතු නිසාය.

කන්දක් විලිලා මී පැටියෙකු වැදුවා සේ මැයි 21 කළ වැඩවර්ජනය කැඳවූ මේ ‘මහදැනමුත්තන්’ දැන් ශිෂ්‍ය ව්‍යාපාරයට දැනමුතුකම් දීමට අමුඩය ගසමින් සිටිනවා අපට පෙනේ. සරසවි සිසුන්ගේ පන්ති තහනම් කිරීම් ඉවත්කර ගැනීමට පොල් ගැසිය යුත්තේ කිනම් දේවාලය ඉදිරිපිටදීද? නිදහස් අධ්‍යාපන සටන් පාඨය රාජ්‍ය අධ්‍යාපනය දක්වා පල්ලම් බැස්සිය යුත්තේ කවදාද? අධිකරණයේ ස්වාධීනත්වය 

බේරාගැනීමට දරදිය ඇද්ද මිතුරණි, ඒ අධිකරණය මගින් දඬුවම් කර ඇති සිසුන් ගැන ඔබගේ අදහස කුමක්ද? මේ සියල්ලටම පිළිතුරු දෙන ලෙස ඔවුන්ගෙන් කාරුණිකව ඉල්ලමු. මෙම දේශපාලන ව්‍යවහාරය දැනටමත් මිය යන්නකි. එයට කළ හැක්කේ තවදුරටත් අගක් මුලක් නැති තැනට සමාජය අවුල් කිරීමත් ‘ක්ෂණික තෘප්තිය’ සමාජයට සැපයීමත් පමණි. එනිසා මේ මළගිය ප‍්‍රාණකරුවන්ගෙන් ප‍්‍රවේසම් වන ලෙස අපි සරසවි සිසුන්ට කියාසිටිමු. මොහොතේ වාසිය සඳහා  ඕනෑම දෙයක් කිරීම,  ඕනෑම මතයක් දැරීම ප‍්‍රායෝගිකවාදයයි. (තත්කාර්යවාදයයි) මහින්ද රාජපක්ෂ කරන්නේද ඔවුන්ට එරෙහිව දේශපාලනය කරන බොහෝ අය කරන්නේද එයමය.
ඊට වඩා වෙනස් ගැඹුරු දේශපාලන ව්‍යවහාරයකට අප අවතීරණය විය යුතුය. ඒ සඳහා දැරිය යුතු පරිශ‍්‍රමයත්, තිබිය යුතු ඉවසීමත්, කළයුතු කැපකිරීමත් ඉමහත් බව අපි දනිමු

0 comments:

Post a Comment