අධ්‍යාපනය අරගලය අද එහි තීරණාත්මක අවසානයක් වෙත සේන්දු වී ඇත. එහි අවසාන ඉම එක්කෝ මුළුමනින්ම අධ්‍යාපනය වෙළෙද භාණ්ඩයක් වීමෙන් නොඒසේනම් සමාජ අයිතියක් ලෙස යළි තහවුරු වීමෙන් සටහන් වනු ඇත.
මෙම අරගලයේදී පැහැදිළිම දැකිය හැකි ප‍්‍රධාන කඳවුරු දෙකකි. එක් කඳවුරක් අධ්‍යාපනය වෙළෙද භාණ්ඩයක් කිරීම වෙනුවෙන් පෙනී සිටින අතර අනෙක අධ්‍යාපනය සමාජ අයිිතියක් ලෙස රැකගැනීම වෙනුවෙන් පෙනී සිටී. මෙය අද දේශපාලනිකව සලකා බැලීමේදී ප‍්‍රධාන දේශපාලන දහරාවන් දෙක නියෝජනය කරනු ලබන අධ්‍යාපනය පිළිබඳ ප‍්‍රධානම ස්ථාවරයන් දෙකය.
දක්ෂිණාංශික දේශපාලනය එනම් ලිබරල් දේශපාලන මතය ‘‘අධ්‍යාපනයට නිදහස’’ ලබාදිය යුතු යැයි කියමින් පෙනීසිටින්නේ අධ්‍යාපනය වෙළෙද භාණ්ඩයක් බවට පත්කිරීම වෙනුවෙන්, නොඑසේනම් අධ්‍යාපනය විකිණීමට හා මිලදීගැනීමට තිබෙන සියලූ බාධාවන් ඉවත්කර ගැනීම වෙනුවෙනි. ලිබරල් මතධාරීන්ට අනුව ලංකාවේ නිදහස් අධ්‍යාපන ක‍්‍රමය සැබෑ නිදහස් අධ්‍යාපනයක් නොවන්නේ ඒ නිසාය. මුදල් ගෙවීමේ හැකියාවක් සහිත අයට මුදල් ගෙවා හෝ ඉගෙනීමට අවස්ථාව තිබිය යුතු යැයි ඔවුහු කියති.
මෙය වාම දේශපාලන මතයට අනුව සාකච්ඡුා කරන ‘‘අධ්‍යාපනයෙහි නිදහස’’ යන්නට හාත්පසින්ම වෙනස් අන්තයක් නියෝජනය කරයි. එම අදහස ඉදිරිපත් වන්නේ අධ්‍යාපනය සමාජ අයිතියක් යන මූලික පදනමේ සිට වන අතර එහි හරය වන්නේ කිසිදු සීමා කිරීමකින් තොරව සෑම පුද්ගලයකුටම ඉගෙනීමට (දැනුම ලබාගැනීමට) අයිතියක් තිබිය යුතුය යන්නයි. එනම් ජාති, කුල, ආගම්, ලිංග හෝ පංති (මුදල් ඇති නැති) යන කිසිදු බේදයකින් තොරව සෑම පුද්ගලයකුටම අධ්‍යාපනය ලැබීමට අයිතියක් ඇත. ඕනෑම විෂයක්, ඕනෑම මාධ්‍යකින් තමන් කැමති දුරක් දක්වා ඉගෙනීමට සෑම පුද්ගලයකුටම අයිතියක් තිබිය යුතුය.
එසේම ඒ ලබාදෙන අධ්‍යාපනය තුළ නිදහස සහතික විය යුතු අතර මේ නිදහස යන්න ලිබරල් අදහසට අනුව ඉදිරිපත් කරනු ලබන අධ්‍යාපනය වෙළෙද පොළේ කුණු කොල්ලයට විකිණීමට හෝ මිලදීගැනීමට හෝ ඉඩකඩ සැලසීම නොවේ. අධ්‍යාපනයේ ශික්ෂණ විද්‍යාත්මක පසුබිම ප‍්‍රශ්න කිරීම මෙහිදී සිදුකරයි. එනම් අධ්‍යාපනය වත්මන් සමාජ ක‍්‍රමයට වහල් ශ‍්‍රමිකයන් නිර්මාණය කිරීමේ ක‍්‍රියාවලියක් නොවී ශිෂ්‍යයාට සිය සක්‍යතාවයන් වර්ධනය කරගනිමින් පරිපූර්ණ මිනිසකු ලෙස වැඩෙන්නට ඉවහල්වන මාධ්‍යයක් විය යුතු බවයි.
අද රටේ ක‍්‍රියාත්මක අධ්‍යාපනය එසේ නොවන අතර එය මුළුමනින්ම පාලක පන්තියේ පැවැත්මට බාධාකාරී නොවන මිනිසකු ගොඩනැගීම සඳහාත් සමාජ ක‍්‍රමයේ පැවැත්ම සඳහා අවශ්‍ය නිපුන හා අවනත ශ‍්‍රමිකයන් නිර්මාණය කිරීම සඳහාත් සැලසුම් කර ඇත. එම තත්වය පාසල් පද්ධතිය හා විශ්වවිද්‍යාල පද්ධතිය දෙස අවධානය යොමුකිරීමෙන් තේරුම් ගත හැකිය. මෙම ආයතන තුළ අද සිදුවන්නේ ශිෂ්‍යාගේ සැබෑ සක්‍යතාවන් හඳුනාගෙන ඒවා වර්ධනය කිරීමට මඟපෙන්වීම නොවේ. ජීවිතයේ කිසිදු වැඳගත් කමක් නැති විෂය කරුණු ප‍්‍රමාණයක් කටපාඩම් කරවා විභාග සමත් කිරීමට පෙළඹවීමයි. මෙම විෂයන් ඉගැන්වීම වැරදියැයි මෙයින් අදහස් නොවන අතර අප ප‍්‍රශ්න කරනුයේ ඒවා උගන්වනු ලබන අරමුණු හා ක‍්‍රමවේදයන්හි පවතින දුර්වලතාවයන්ය.
එහි අවසාන ප‍්‍රතිඵලය වී ඇත්තේ තමන් හදාරණු ලබන විෂයටවත් අවම සාධාරණයක් හෝ ඉටුකළ හැකි ශිෂ්‍යයකු බිහි නොවීමයි. මෙය විශ්වවිද්‍යාලවල සෑම පීඨයකටම අදාළවත්, සෑම විෂය පද්ධතියකටම අදාළවත් දක්නට ලැබෙන ඉතාමත් කණගාටුදායක තත්වයකි. ලංකාවේ සිසුන් අධ්‍යාපනය සඳහා වෙහෙස වෙන තරමට රට තුළ කොයිතරම් අධ්‍යාපනික ප‍්‍රබෝධයක් ඇති විය යුතුද? සමහර සිසුන් දවසේ පැය 17 ක් 18 ක් පමණ කාලයක් අධ්‍යාපනය සඳහාම ගෙවා දමති. විශ්වවිද්‍යාලවලදී මෙම තත්වය ඉතාමත් බරපතළ ලෙස වර්ධනය වී ඇත. දේශන සහභාගීත්වය 80% ක් දක්වා අනිවාර්යය කර ඇති අතර, සමාසිකයක් තුළ සම්පුර්ණ කළ යුතු වැඩ ප‍්‍රමාණය සම්පුර්ණය කිරීමට වසරක් වුවද ප‍්‍රමාණවත් නැත. පන්ති කාමර පරීක්ෂණ, නිබන්ධන, ඉදිරිපත් කිරීම්, සමාසික මධ්‍ය පරීක්ෂණ, අවසාන පරීක්ෂණ ආදී වශයෙන් වන කුමකට හෝ සෑමවිටම ශිෂ්‍යයාට සූදානම් වීමට සිදුව ඇත. සමහර විශ්වවිද්‍යාලවලදී අඩුම තරමේ සිසුන්ට දිවා ආහාර විවේකයවත් හිමි නොවේ. සරසවිය තුළ අද සටහන් මිටියක් අතේ නැති ශිෂ්‍යයකු සොයාගැනීම කලාතුරකින් වුවද ඉතාමත් අපහසුවනු ඇත. ඒ අනුව සරසවි තුළ අද නැත්තේ අධ්‍යාපනයයි.
තමන් හදාරණ විෂයන්ට අදාළව හෝ අඩුම තරමේ අමතර පොත්පත් කියවීමට වේලාවක් නිදහසක් සිසුන්ට නොමැතිවා පමණක් නොව ආකල්පමය වශයෙන්ද එවැනි අධ්‍යයනයක් හෝ හැදෑරීමක් අවශ්‍ය නොවන බව අනියමින් තහවුරු කර ඇත. එවැනි සන්දර්භයක් තුළ කලාව, සෞන්දර්යය, දේශපාලනය, දර්ශනය, කී‍්‍රඩාව ආදිය සිසුහු නිසරුදේ ලෙස සලකති. පුස්තකාල පාළුවට ගොස් ඇත්තේද, දේශන සංවාද මණ්ඩප හිස් බංකුවලින් පිරී ඇත්තේද මෙහි ප‍්‍රතිඵලයක් ලෙසයි.
තමන් හදාරණ විෂයටවත් සාධාරණයක් ඉටුකිරීමට පවා සිසුන් අසමත් වන නමුත් ඔවුන්ගේ සහතික පිටපත් විශිෂ්ඨ සාමාර්ථයන්ගෙන් පිරීයන්නේ ඇයි? ලංකාවේ ආර්ථිකය ප‍්‍රශ්න කළ හැකි හා විකල්පයක් ඉදිරිපත් කළ හැකි ආර්ථික විද්‍යඥයන්, පාදඩ දේශපාලන සංස්කෘතියට එරෙහි දේශපාලන විකල්පයක් ඉදිරිපත් කළ හැකි දේශපාලන විචාරකයන්, අවිද්‍යාවට එරෙහි විද්‍යාඥයන්, දාර්ශනිකයන් කීදෙනෙක්නම් මේ අධ්‍යාපන ක‍්‍රමය තුළ මෑතක දී බිහිවී තිබේද? නැත. පසුගිය රැකියා ලබාදීමේ ක‍්‍රියාවලියේදී උපාධිධාරීන් කටයුතු කළ අයුරු තරම් නිදසුනක් එයට තවත් නැත. රැුකියාවක් ලබාගැනීමට ඇති තම අයිතිය වෙනුවෙන් හඬනැගීම වෙනුවට ඔවුහු දේශපාලඥයන් පසුපස ගියහ. ඔවුන්ට ඡුන්ද එකතු කළහ. වේදිකා තැනූහ. සමහර ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලවලදී උත්සව සංවිධානය කර රැුකියා දීමට කෘතගුණ සලකමින් ඇමතිවරුන්ට සම්මාන පවා දී ඇත. වසරකටත් වඩා අධික කාලයක් රු. 10000ක සොච්චම් වැටුපකට වැඩකරන ඔවුහු තම අයිතීන් වෙනුවෙන් සටන් වැදීමට සූදානම් නැත. මෙම උපාධිධාරීන්ගේ වරදක් අපි නොදකින අතර මෙවැනි වූ අධ්‍යාපනයකින් ඊට වැඩි යමක් අපේක්ෂා කළ නොහැක. අධ්‍යාපනයෙහි අරමුණ වී ඇත්තේ වහළුන් තැනීම බව අප කියන්නේ ඒ නිසාය.
අධ්‍යාපනයේ නිදහස දිනාගැනීම යනු පාලකයන්ට වහල් ශ‍්‍රමිකයන් තනන අධ්‍යාපනයක් වෙනුවට ලෝකය තේරුම් ගැනීමටත්, එය වෙනස් කිරීමටත් හැකි හා ඒ සඳහාවන පෞරුෂයක් සහිත මිනිසකු ලෙස වැඩෙන්නට ඉඩ ඇති හා ඒ වෙනුවෙන් මානව සමාජය සතු දැනුම ලබාගත හැකි අධ්‍යාපනයයි. එයට කිසිලෙසකින් වත් පාලක පන්තිය කැමති නොවේ. එය දිනාගැනීම සමාජය සතු සාමූහික වගකීමකි.
අද පාලක පන්තිය කියන අධ්‍යාපනයේ නිදහස යනු උක්ත අර්බුදය තවදුරටත් වර්ධනය කරන ක‍්‍රමයක් මිස අනෙකක් නොවේ. අධ්‍යාපනය වෙළෙද භාණ්ඩයක් වූ විට සිදුවන්නේ එයයි. එක් පසකින් අධ්‍යාපනයෙහි සමාජ අයිතිය අහිමිවීමත් අනෙක් පසින් අධ්‍යාපන අරමුණු අවප‍්‍රමාණය වීමත් මෙයින් සිදුවේ. එය සමාජය වහල්භාවය කරා ගමන් කරවනු ඇති අතර අධ්‍යාපන ආයතන එවිට අධ්‍යාත්මික වහළුන් තනන වහල් කඳවුරු බවට පත්වනු ඇත.
එය සිදුවන්නේ කෙසේද? අධ්‍යාපනය වෙළෙද භාණ්ඩයක් වූ විට සිදුවන්නේ අධ්‍යාපනය ලැබීම හෝ නොලැබීම මුදල මත තීරණය වීමයි. ලක්ෂ සංඛ්‍යාත මිල ගණන් යටතේ අලෙවි වන අධ්‍යාපනය එහිදී කෝටිපති අත්ලොස්සකගේ වරප‍්‍රසායක් වනු ඇත. නිදසුනක් ලෙස මාලඹේ පෞද්ගලික වෛද්‍ය පීඨය ගතහොත් එහි වෛද්‍ය උපාධියක මිල ලක්ෂ 65 කි. මසකට අධ්‍යයන ගාස්තු පමණක් 110000 කට වඩා ගෙවිය යුතුය. මෙවැනි මුදලක් ගෙවා තම දරුවකු වෛද්‍යවරයකු කළ හැක්කේ මේ රටේ
මව්පියන්ගෙන් කීයෙන් කීදෙනෙක්ටද යන්න සිතා බැලිය යුතුය. උසස් පෙළින් විෂයන් තුනම A සාමාර්ථවලින් හෝ ඊ සාමාර්ථවලින් සමත් වූ සිසුන්ට යාමට වෛද්‍ය පීඨයක් නොමැති වෙද්දී මාලඹේ වෛද්‍ය පීඨයේ උසස් පෙළ අසමත් (A-2 ක් පමණක් ලබාගත්) සිසුන් වෛද්‍යවරුන් වීමට ඉගෙන ගනිමින් සිටීම මේ සඳහා වන හොඳම නිදසුනයි. ඒ අනුව අධ්‍යාපනය අතලොස්සකගේ වරප‍්‍රසාදායක් වන අයුරු තේරුම් ගත හැකිය.
අධ්‍යාපනය වෙළෙද භාණ්ඩයක් වූ විට රාජ්‍ය පෞද්ගලික වෙනසකින් තොරව සෑම තැනකම සිදුවන්නේ එයයි. ආණ්ඩුව අද පිඹුරුපත් සකසමින් ඇත්තේ මේ සඳහාය. පෞද්ගලික විශ්වවිද්‍යාල හා පාසල් රාජ්‍ය අනුග‍්‍රහය යටතේ රට පුරා ඉදිවෙමින් තිබීම, රාජ්‍ය විශ්වවිද්‍යාල හා පාසල් තුළත් අධ්‍යාපනය විකිණීමට සැලසුම් කිරීම (පාසල්වලින් ගාස්තු අයකිරීම හා රාජ්‍ය උපාධි විකිණීම) තුළ සිදුවන්නේ ආණ්ඩුවේ මෙම අවශ්‍යතාවය ඉටුකිරීමයි.
ප‍්‍රතිපාදන කප්පාදුව, පාසල් වසා දැමීම, රාජ්‍ය උපාධි නැවැත්වීම, බඳවා ගැනීම් කප්පාදුව (මෙවර සමහර පීඨවලදී මෙය 30% කටත් වඩා වැඩිය) අධ්‍යාපන පරිපාලන කි‍්‍රයාවලියේ අක‍්‍රමිකතා හරහා නිදහස් අධ්‍යාපනය එපා කරවීම (පෙළපොත් වැරදි, විභාග අක‍්‍රමිකතා) ආදියද මෙම වැඩපිළිවෙළෙහිම අන්තර් සම්බන්ධිත කොටස්ය. පෞද්ගලික විශ්වවිද්‍යාල ඇරඹීමට අමතරව අද වන විට රාජ්‍ය සරසවි තුළට අතගැසීමටද ආණ්ඩුව උත්සුක වී ඇත. ඩිප්ලෝමා පාඨමාලා විකිණීමට අතරව දැන් සියලූම උපාධීන්ද විකිණීමට සැලසුම් කර තිබේ. ඒ සඳහා දැනටමත් කටයුතු කරමින් තිබෙන අතර විදෙස් සිසුන්ට උපාධි ලබාදෙන මුවාවෙන් සිදුවන්නේ එයයි. එහෙත් මෙහිදී සිදුවන්නේ ජාත්‍යන්තර විශ්වවිද්‍යාල හා කරනු ලබන දැනුම් හුවමාරු ක‍්‍රියාවලියකට මඟපාදාගැනීම හෝ අපේ රටේ විශ්වවිද්‍යාල ජාත්‍යන්තර තලයට ගෙනයාමට දරන උත්සාහයක් නොවේ. උපාධි විකිණීම සඳහා පසුබිමක් නිර්මාණය කරගැනීමට උත්සාහ කිරීමයි. සිසුන් 42 නෙකු මෙසේ දැනටමත් විශ්වවිද්‍යාල පද්ධතිය පුරාවට බඳවාගැනීමට සැලසුම්කර ඇති අතර පේරාදෙණිය විශ්වවිද්‍යාලයට බඳවාගත් සිසුන් දසදෙනා එල්ල වූ විරෝධතා හේතුවෙන් ආපසු හරවා යැවීමට පරිපාලනයට සිදුවිය. හෙළිදරව් වූ තොරතුරුවලට අනුව මෙම සිසුන්ට අඩුම තරමේ මෙම පාඨමාලාව සඳහා අවශ්‍ය අවම සුදුසුකම් වත් නොමැත.
මේ එක් පැතිකඩක් පමණක්වන අතර තවත් පැති ගණනාවක් හරහා මෙම ක‍්‍රියාවලිය සිදුවේ. විශ්වවිද්‍යාල සිසුන්ගෙන් අය කරන ගාස්තු ඉහළ දැමීමෙන් සිදුකර ඇත්තේද අභ්‍යන්තර සිසුන්ටද උපාධිය සඳහා ගෙවීමට සිදුවන අනාගත යථාර්ථයෙහි ආරම්භය ගැනීමයි. මෙම ගාස්තු ඉහළ දැමීම සබරගමුව සරසවියේදී 500% ගුණයකි.
අවසානයේ දී ගොනා සැරසෙන්නේනේ කුමකටද යන්න තේරුම් ගැනීම එතරම් අපහසු නැත. එය මර්දන හස්තයේ තිව‍්‍ර කමින්ම වැටහේ. අධ්‍යාපනය වෙළෙද භාණ්ඩයක් කිරීම කාගේ අවශ්‍යතාවයක්ද යන්න නිවැරදිව වටහා ගැනීම එය පැරදවීමට ගන්නා සෑම උත්සාහයකදීම වැදගත්වනු ඇත. එය පැහැදිළිවම ගෝලීය ප‍්‍රාග්ධනයේ අවශ්‍යතාවයක් බවත්, එය ඉටුකිරීමට රාජපක්ෂ රෙජිමය සැදී පැහැදී සිටින බවත් පැහැදිළි සත්‍යයකි. අද එය මුළුමහත් රාජ්‍යයේම අවශ්‍යතාවය නියෝජනය කරයි. අද වන විට රජයේ ස්ථාවරය වී ඇත්තේ සුභසාධනවාදී අර්ථයෙන් වත් අධ්‍යාපනයට මැදිහත් නොවීමයි.
1977 වර්ෂය වන විට ලෝකය නවලිබරල් ධනවාදයට යාම යනු ගෝලීය ප‍්‍රාග්ධනයට කි‍්‍රයාකාරීවීමට අවශ්‍ය නව වෙළෙද පොළවල් හා ආර්ථික ක්‍ෂේත‍්‍ර සොයායාම සඳහා වූ බාධක ඉවත්කර ගැනීමයි. එහිදී ගෝලීය ප‍්‍රාග්ධනය අපේ වැනි පරිධියේ රටවල්වලට කඩාවැදීම සිදුවු අතර නිෂ්පාදන ආර්ථිකයන් බිඳ වට්ටවා සේවා ආර්ථිකයන් බවට නැතිනම් වෙළෙද පොළවල් බවට පත් කළේය. ඒ අනුව අපේ වැනි ආර්ථික අමුද්‍රව්‍ය සපයන හා නිමි භාණ්ඩ අලෙවිකරන මාකට් බවට පත්විය. එහිදී එය පමණක් ප‍්‍රමාණවත් නොවූ අතර එතෙක්
ප‍්‍රාග්ධනයට ක‍්‍රියාකාරීවීමට ඉඩ නොලද ක්‍ෂේත‍්‍ර වෙතද දැඩි අවධායක් යොමු කළේය. එනම් රජය මැදිහත්ව ගෙන ගිය සුභසාධන සේවාවන්ය. ලංකාවේ අධ්‍යාපනය, සෞඛ්‍ය හා ප‍්‍රවාහනය යන සේවාවන් ඒ යටතට අයිති විය. ප‍්‍රවාහනය මුළුමනින්මත් සෞඛ්‍ය අර්ධ වශයෙනුත් ලාභ ලබන ව්‍යාපාර බවට පත්කර ගැනීමට නොහැකි වුවද ශිෂ්‍ය හා සමාජ විරෝධතා හේතුවෙන් අධ්‍යාපනය එසේකර ගත නොහැකි විය.
අද අතගසා ඇත්තේ ඒ වෙනුවෙනි. ලාභ උපයන්නේ නම් අධ්‍යාපනය තරම් ඒ සඳහාවන හොඳම ක්‍ෂේත‍්‍රයක් අප දන්නා පරිදි තවත් නැත. අධ්‍යාපනය ලබන හා ඒ වෙනුවෙන් උනන්දු පිරිස කෝටියකටත් ආසන්නය. කවුරුත් මේ තරම් කෙළ හලන්නේ ඒ නිසාය. නවලිබරල් ධනවාදය එනම් ලංකාව තුළ විවෘත ආර්ථිකය ආරම්භවීමත් සමග රජයේ සුභසාධන මැදිහත්වීම් අවසන් වූ අතර රාජ්‍ය අංශයේද පෞද්ගලික අංශයේද ඒකායන අරමුණ වී ඇත්තේ අධ්‍යාපනය විකිණීමය. ඒ අනුව එය කෙසේ හෝ කරනවා කියන ස්ථාවරයක ආණ්ඩුව සිටින බව පෙනේ. එය ඉතාමත් භයානක අනතරක් වනු ඇති අතර එය වහා පරාජය කළ යුතුය.
අධ්‍යාපනය වෙළෙද භාණ්ඩයක් වුවහොත් සිදුවනු ඇත්තේ සාතිශය බහුතරයක් දෙනාට අධ්‍යාපන අවස්ථා අහිමි වීම හා අධ්‍යාපනය ගුණාත්මකවත් පතුලටම පිරිහී යාමයි. අධ්‍යාපන කඩවලින් බිහිවන ඊනියා උගතුන් පැරණි සමාජයේ හා ඉපැරණි යල්පැනගිය දැනුමෙහි වහලූන් බවට පත්වනු ඇති මිස සමාජය ඉදිරියට ගෙන යා හැකි නිර්මාණශීලී හා විචාරශීලී උගතුන් බිහිනොවනු ඇත. සමාජය එකතැන පල්වීමටද, මිනිසුන් නිවටුන් හා වහලූන් බවට පත්කිරීමටද යුරෝපා වැඩවසම් අදුරු යුගය හා සමාන තැනකට රට ඇදවැටීමටද එය බලපානු ඇත.
එයට දැනටමත් සාක්ෂි ඕනෑතරම් තිබෙන අතර විදුහල්පතිවරු කර්නල්වරු කිරීම, සරසවි සිසුන්ට හමුදා පුහුණුව දීම එහි මුල් ප‍්‍රවණතා පමණක් වනු ඇති අතර බොනපාට්, හිට්ලර්, ඉඩියමීන් වැනි ඒකාධිපතියන්ගේ පාලන සමයන්හිදී එම රටවල අධ්‍යාපනයට අත්වූ ඉරණම හා සමාන ඉරණමක් දක්වාද ගමන් කරනු ඇති අතර එයට ඉඩ නොතබා අධ්‍යාපනය සමාජ අයිතියක් සේ රැකගැනීමට සටන් වැදීම අප කවුරුත් සතු පැහැර හැරිය නොහැකි වගකීමකි.
0 comments:
Post a Comment