Tuesday, October 23, 2018

අධ්‍යාපනය විකුණන ආගමික හස්ථය



අධ්‍යාපනය සම්බන්ධයෙන් පාලකයන් අනුගමනය කරන ප්‍රතිපත්තිය නිසා අධ්‍යාපනයෙ සෑබැ අරමුණ වන වඩා යහපත් දියුණු සමාජයක් සඳහා වැඩ කරන මිනිසුන් නිර්මාණය වනවා වෙනුවට අධ්‍යාපනය දැවැන්ත විනාශයක් කරා යමින් සිටි. නව ලිබරල් නරුමත්වයට හැඩ ගැසෙන පුහුණු ශ්‍රමිකයෙක්, දක්ෂ යක්ෂයෙක්, අවනත වහලෙක් යන ගුණාංගයන්ගෙන් යුතු මිනිසුන් නිර්මාණය වර්තමාන අධ්‍යාපනයේ මූලික අරමුණයි. දෙවැනි අරමුණ අධ්‍යාපනය වෙළඳ භාණ්ඩයක් කිරීමයි. මේ අරමුණු ඉටු කරගැනීමට ගන්නා ක්‍රියාමාර්ග සමඟ අධ්‍යාපනය තම අවශ්‍යතාවන් සඳහා විවිධ පුද්ගලයන්, කණ්ඩායම්, යොදා ගැනීම සිදු වි ඇත. ඒ අතරින් ආගම පදනම් කරගනිමින් අධ්‍යාපනයට කරන බලපෑම සු`ළු පටු නොවේ.

නව ලිබරල් ධනවාදය තුළ අධ්‍යාපනය රාජ්‍යයේ ප්‍රධාන දෘෂ්ඨිමය උපකරණයක් ලෙස යොදාගත්තද වහල් හා වැඩවම් රාජ්‍යයන් හි රාජ්‍යයේ ප්‍රධානතම දෘෂ්ටිමය උපකරණය ලෙස ක්‍රියාත්මක වි ඇත්තේ ආගමයි. පවතින තත්ත්වයට වඩා යහපත් තත්ත්වයක් නිර්මාණය කර ගැනීම සඳහා වු දාර්ශනික පැහැදිළි කිරීම් පදනම් කරගනීමින් බොහෝ ආගම් නිර්මාණය වී ඇති අතර අවසානයේ අධිපති පන්තියේ අවශ්‍යතාව සඳහා ආගමේ නාමයෙන් සංස්කෘතියක් නිර්මාණය කර ඇත්තේ ආරම්භක දර්ශනික පදනමට සම්පුර්ණයෙන්ම බැහැර කරමිනි. මේ පරස්පර බව ඒ ඒ ආගමේ දර්ශනික පදනමත්, සංස්කෘතියත් සංසන්දනය කිරීමෙන් මැනවින් පැහැදිළිවේ.

වහල් සමාජයේ වහල් හිමියන්ටත්, වැඩ වසම් සමාජයේ රදළයින්ටත්, අධ්‍යාපනයේ නිදහස හිමි වු අතර වහලුන්ටත්, ප්‍රවේණි දාසයන්ටත් ලැබුණේ වැඩ කිරීමට අවශ්‍ය සීමිත දැනුමක් පමණි. එමෙන්ම බොහෝ විට අධ්‍යාපනය ආගම් හරහා ලබා දීම සිදු වු අතර විධිමත් අධ්‍යාපනයක් වෙනුවට බොහෝ විට රාජ්‍යයට අවනත කර ගැවනීමට අධ්‍යාපනය ලබා දීම සිදු විය.

ලංකාවේ අතීත යුගයේ පන්සල් ආශ්‍රිතව අධ්‍යාපනය ලබාදීම සිදු වු අතර අනතුරුව යටත් විජිත යුගයේ මිෂනාරි පාසල් හරහා ද පසුව එයට එරෙහිව පැන නැගුණු බෞද්ධ, හින්දු, මුස්ලිම් පාසල් හරහා ද අධ්‍යාපනය ලබා දීම සිදුවිය. මෙම එකඳු අධ්‍යාපනයක් වත් විදිමත් යැයි කිව නොහැක. බොහෝ විට ආගම හා තම තමන්ගේ සංස්කෘතිය  දරුවන් වෙත කා වැද්දීම එම අධ්‍යාපනයන් හි අරමුණ වී තිබුණි.

තිහේ දශකයේ සිට හතලිහ දශකයේ අග වෙන තුරු දිග හැරුණු නිදහස් අධ්‍යාපන පනත සම්මත කර ගැනීමේ අරගලයේ දැවැන්ත විවාදයක්ට බඳුන් වූ මාතෘකාවක් වූයේ අධ්‍යාපනය වෙත සිදු කරන ආගමික බලපෑමයි. 
“.... නිදහස් අධ්‍යාපනය ලබා දෙන ආණ්ඩුවේ ඉස්කෝලවලට ඩෙස්ක්, බංකු, පුටු, මේස, උපකරණ යන මේ සියලු දේවලුත් ගුරුවරුත් හිඟ වේවි. මේ විදිහට මේ ඉස්කෝල ගැන ජනතාවගේ ප්‍රසාදයක් නැති උණහම ඒ ගොල්ලෝ නිදහස් අධ්‍යාපනයේ නිර්මාතෘවරයින්ට ඔච්චම් කරාවි.. ඊළඟ කාරණය මේකයි, ආගමික පාසල්වලට රුපියලක විතර පොඩි ගාස්තුවක් අය කරන්න අවසර දේවි. පස්සේ මේ ගාස්තුව ටිකෙන් ටික අද පවතින ගාස්තු වල තරමට නග්ගාවි. සේනානායක මහතාගේ ක්‍රියාකලාපය ප්‍රසිද්දියේම, එම හඬින්ම ප්‍රතික්ශේප කිරීම රටේ හැම දෙනාගේම යුතුකමයි.”

අධිකාරම් මහතා 1947 මාර්තු මස මතුගම ආනන්ද ශාස්ත්‍රාලයේ රැස්විමකදි කළ ප්‍රකාශය 
“නඩත්තු ආධාර ක්‍රමය අවලංගු කළ යුතුය. අනාගතයේ සියලු පාසල් රජයේ පාසල් විය යුතුය. පාසල් හිමි මණ්ඩල හා පුද්ගලියින් තමන්ගේ ව්‍යාපාර නතර විය හැකි බැවින් නඩත්තු ආධාර ක්‍රමය අවලංගු කිරිම සම්බන්ධයෙන් විරුද්ධ වනු ඇත. එහෙත් එය මෙරට සම්බන්ධයෙන් වැදගත් නොවේ.
සිවපාතසුන්දරම් මහතා සිය අතුරු වාර්තාවේ ආගමික පාසල් ක්‍රමයට එරෙහිව පළකළ සටහන.
“ගරු සභාපතිතුමනි, අප හෘද සාක්ෂි වගන්තිය ඇතුළත් කර ඇති බැවින් මේ මොහොතේ ක්‍රිස්තියානි මිෂනාරි වරුන් නැඹුරු වන්නේ මෙලෙස කීමටය. හොඳයි, අපි මේ ළමයි පාසල් ආරම්භ කිරිමේ දී පැවැත්වෙන දේව මෙහෙයට ඇතුළත් නොකරන්නෙමු. අප ඔවුන් දේව මෙහෙයෙන් බැහැර කරන නමුදු නේවාසිකාගාරයේ පවත්වන දේව මෙහෙයට සහභාගි වන ලෙස ඔවුනට අපි බල කරන්නෙමු. නේවාසිකාගාරයේ පැවැත්වෙන දේවමෙහයෙට පැමිණීමට කැමති නැතිනම් නේවාසිකාගාරයේ නවාතැන් ගැනීම තහනම් කරනු ඇත.” 
කන්නංගර මහතා 1944 ජුනි 2 විවාදයේදි ආගමික පාසල් අහෝසි කිරීමට ආදාළව අදහස් දක්වමින්.  
නිදහස් අධ්‍යාපන විවාදයේදි දින ගණන් විවාදයට බඳුන් වු මෙම ප්‍රකාශයන් හා ඒවායේ අවශ්‍යතාවයනුත් වර්තමනායේ අධ්‍යාපනයේ අත් වි ඇති ඉරණමත් සංසන්දනය කිරීමෙන් පැහැදිලි චිත්‍රයක් මවා ගැනීමේ හැකියාවක් ඇත.

මේ මොහොත වන විටද ආගමික පාසල් ආගමික් බලපෑම සු`ඵ පටු නැත. මෙම බලපෑම එක් ආගමකට පමණක් සීමා වන්නක් නොවේ.

විවිධ පුද්ගලයින්ගේ මැදිහත් වීමෙන් පවත්වාගෙන යන පාසල් කඩවලට අමතරව ක්‍රිස්තියානි පල්ලියේ මැදිහත් විම මත අද වන විටද මුදල් අය කරන පාසල් පවත්වාගෙන යාම සිදු කරයි. ජාතියන්තර පාසල් නමින් පවත්වාගෙන යන මෙම පාසල් කඩ හරහා සිදු කරන්නේ දැවැන්ත විනාශයකි. මෙයට හොඳම පැහැදිළි කිරිම ගත හැක්කේ මිගමුව ප්‍රදේශයේ පාසල් නිරික්ෂණය කිරිමෙනි. ක්‍රිස්තියානි ආගමිකයන් බහුතරයක් ජීවත් වන මීගමුව ආශ්‍රිතව මුදල් අය කරන ජාතියන්තර පාසල් පවත්වාගෙන යනු ලබන්නේ කතෝලික සභාව විසිනි. එම පාසල් කඩවල ලාබය වෙනුවෙන් ඔවුන් රාජයේ පාසල්වල ගුණාත්මක භාවය බිඳවැට්ටවිම සඳහා මැදිහත් වේ. ජාතික පාසලක අවශ්‍යතාවය මීගමුව ජනතාව වෙත තදින්ම ඇත. එම අවශ්‍යතාව ඔවුන් විවිධ අවස්ථාවන් වල තම තමන්ගේ පක්ෂවල නියෝජිතයන් වෙත දැනුවත් කර ඇති අතර මන්ත්‍රිවරුන්ගේ පිළිතුර වි ඇත්තේ ජාතික පාසලක් නිර්මාණය කිරීමට කතෝලික සභාව ඉඩ ලබා නොදෙන බවයි. ජනතාවගේ ප්‍රසාදයත් ඡන්දයත් ලබා ගැනීමට ජාතික පාසලක් ලබාදීමට ඔවුනට අවශ්‍ය වුවද කතොලික සභාවේ අප්‍රසාදය නැවත ඡන්දය සඳහා බලපෑම් වන නිසා මීගමුවට ජාතික පාසලක් හිමි වන්නේ නැත. මෙම තත්ත්වය මිගමුවට පමණක් සීමා විය හැක්කක් නොවේ.

එමෙන්ම මේ මොහොත වන විට බොහෝ පන්සල් ටියුෂන් මාෆියාව සඳහා බද්දට දී ඇත. දරුවන්ගේ අධ්‍යාපනය සඳහා අවංක මැදිහත් විමක් කල යුතු නම් නොමිලේ උපකාරක පන්ති පැවැත්වීමට ස්වාමීන්වහනසේලාට ගුරුවරුන් හොයා ගැනීම කළ නොහැක්කක් නොවේ යන්න අපේ අදහසයි.
පිරිවෙනක් ආරම්භ කිරිම සඳහා සිටියුතු ශිෂ්‍ය හෝ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා ප්‍රමාණය අවමය දහයකි. එම අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින් ශිෂ්‍යයන් කිහිප දෙනෙකු එකතු කරගනිමින් පිරිවෙන් ආරම්භ කරන්නේ ව්‍යාපාරයක් වශයෙනි. නිදහස් අධ්‍යාපන ආයතන වශයෙන් පිරිවෙන්  ආරම්භ කිරීම සම්බන්ධයෙන් කිසිදු ගැට`ඵවක් නැති අතර ගැට`ඵව වන්නේ අරමුණයි. දරුවන්ගෙන් මුදල් අය කරගන්නා ක්‍රිස්තියානි පාසල් කඩත් ජනතාවගෙන් ආධාර ගන්නා මෙවැනි පිරිවෙනුත් අතර වෙනසක් නැත. ප්‍රධාන ගැටලුව වන්නේ ඒවායේ අධ්‍යාපනයයි. කිසිසේත්ම ප්‍රමාණවත් තරම් පහසුකම් හෝ ගුරුවරුන් නැත. ගුරුවරු දෙතුන් දෙනෙක්ට සිය`ඵ විෂයන් ඉගැන්විමට සිදු විමෙන් ඇතැම් විෂයන් උගන්වන්න වන්නේ ඒ සම්බන්ධයෙන් දැනුමක් හෝ නොමැති පසුබිමක් තුළය. 

ජනතාවගේ ආධාර වලින් දළදා මාළිග ාවෙන් ආරම්භ කළ ශිබා උපාධි කඩයත් කැලණියේ නාගන්දා උපාධි කඩයත් බෞද්ධ පදනම් පළිහක් කරගනිම්න් අධ්‍යාපනය විකුණන ආයතනයි. ‘කිසිම නිශ්පාදයක් නොකර ලංකාවේ විකුණන්න තියන හොඳම දේ ථෙරවාදි බුද්ධායම’ යැයි එම උපාධි කඩ සාධාරණීය කරන්නනගේ තර්කය බව එයට එරෙහි වන්නනගේ බොටුව මිරිකීමට පොරකන සිංහල ජාතිවාදීන් පවා දන්නවා ද යන්න ද සැක සහිතය.

සිංහල ජාතිවාදීන් පළිහක් කරගනිමින් කරක නාගනන්ද ශිබා උපාධි කඩ අනුග මනය කරමින් මඩකලපුවේ ලංකාවේ දැවැන්තම උපාධි කඩය ඉදිවෙමින් පවතින්නේ මුස්ලිම් ජාතිවාදින් පළිහක් කරගනිමිනි. ලාබ ලැබිම සඳහා නාගනන්දා හා ශිබාවේ වර්තමානයේ ජාති භේදයකින් තොරව සිය`ඵ දෙනාට අධ්‍යාපනය විකුණනවා සේම මඩකලපු විශ්වවිද්‍යාලයේද සිය`ඵ ජාතිකයන්ට අධ්‍යාපනය විකිණීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන මේ මොහොත වන විටත් සකසා අවසන්ය. නමුත් ආගම, ජාතිය පළිහක් කරගනිමින් එහි අධ්‍යාපනය විකිණීමට එරෙහි විරෝධය යටපත් කිරීමට උපාධිකඩ හිමියන් කුමන්ත්‍රණ දියත් කර ඇත. 
ලාබ ලැබීම සඳහා අධ්‍යාපනයට කරන ආගමික බලපෑමට වඩා බලපෑමක් ඉගැන්විමේ දි සිදු කරයි. තම ජාතියට, ආගමට අවශ්‍ය අයුරින් ඉතාහසය ආදි විෂයන් විනාස කිරීමත් ඇතැම් විෂය කොටස් විකෘති කිරිමත් සිදු වන බව පෙනේ. 

ජාති ආගම් භේදයකින් තොරව ඕනෑම අයෙකුට ඕනෑම ආගමක දර්ශනයත්, සංස්කෘතියත් අධ්‍යයනය කිරිමට නිදහස තිබිම අනිවාර්යෙන් කළ යුත්තකි. මන්ද අන්තවාදීන්, ජාතිවාදින් වෙනස් කිරීමට පෙර පැවති දර්ශනයන්ගේ සැබැ හරයත් සමාජය වෙනස් විම සඳහා ඒවායේ බලපැමත් නිවරදිව අධ්‍යයන කළ හැක්කේ එවිටය. අධ්‍යාපනයේ සෑබැ අරමුණ සාක්ෂාත් කරගත හැකි වන්නේ නිදහස් අධ්‍යාපනයත් අධ්‍යාපනයේ නිදහසත් තහවුරු කිරිමෙන් පසුවයි. අරගල කළ යුත්තේ එම නිදහස දිනාගැනීම සඳහාය. 

0 comments:

Post a Comment