Monday, October 22, 2018

සරසවි ව න ස න බර අවි


විජයදාස රාජපක්ෂ ඇතුළු යහපාලන නඩය දුම්මල වරම අතට ගෙන ඇත. ඒ ශිෂ්‍ය ව්‍යාපාරයට එරෙහිවය. මෛත්‍රීපාල සිරිසේන එයට ආවඩා ආයුබෝ කියද්දී ඒකාබද්ධ විපක්ෂය දිය යටින් ගින්දර ගෙනයනු පෙනෙයි. අධ්‍යාපනය සඳහා ගෙනෙන ලද නවලිබරල් ප්‍රතිසංස්කරණ සම්පූර්ණ කරගත නොහැකිවීම මේ පක්ෂ විපක්ෂ බඩගෝස්තරවාදීන්ගේ වියරුවට හේතුවය. දැන් රටේ සියලු ප්‍රශ්නවලට හේතුව විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ය. කොටින්ම කිවහොත් ඛණිජ තෙල් ඇතුළු බඩුමිල ඉහළ යන්නේද විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ නවකවදය හේතුවෙනි. නවකවද චෝදනාව නම් ටී පනස් හයෙන් සිසුන්ට පහර දෙන ආණ්ඩුව, ප්‍රතිපාදන කප්පාදු කරමින් විශ්වවිද්‍යාල පද්ධතියට හා නිදහස් අධ්‍යාපනයට පහර දෙන්නේ න්‍යෂ්ටික අවිවලිනි.

උම්මග්ග ජාතකයේ පිංගුත්තර නම් චරිතයක් පිළිබඳ කියවෙයි. ඔහුගේ බිරිඳ වන උදුම්බරාව තමන්ගේ සමීපයට එන වාරයක් වාරයක් පාසා පිංගුත්තරයා ඇඳ යටට රිංගයි. උදුම්බරාව පිළිබඳ හාන්කවිසියක් නැති පිංගුත්තරයා උනන්දු වන එකම කාර්යය බත් කෑම පමණි. නමුත් උදුම්බරාවට කුසගින්නේ සිටින්නට සිදුවෙයි. අවසන දිනෙක උදුම්බරාවගෙ න් නිදහස් වීමට සිතූ පිංගුත්තරයා ඇය දිඹුල් ගසක හිඳුවා බැසගත නොහෙන ලෙස ගස මුල කටු අතුරා බැණ වදිමින් පැන ගියේය.

උසස් අධ්‍යාපන ඇමති ඇතුළු මේ නවලිබරල් ඒජන්තයන්ගේ ක්‍රියාකලාපයද පිංගුත්තරයාට දෙවැනි නැත. විශ්වවිද්‍යාලවල පවතින උග්‍ර අධ්‍යයන හා සුභසාධන ගැටලු පිළිබඳව විෂය භාර ඇමතිවරයාට හාන්කවිසියක් නැත. නමුත් මාධ්‍ය ඉදිරිපිට විශ්වවිද්‍යාල සිසුන්ගේ පතුරු අරියි. තමන්ට පවතින ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීමට සිසුන් පැමිණි විට හමුවීමට ධෛර්යයක් නැති ඇමතිවරයා මේ වන තෙක් අවම වශයෙන් සිසුන්ට පිළිතුරු ලිපියක්වත් ලියා නැත. සිසු ගැටලු ඉදිරියේ ඇමතිවරයා උදුම්බරාව දුටු පිංගුත්තරයා සේ පැන දුවයි. සිසුන් මෙල්ල කිරීම සඳහා නවකවදය පිළිබඳ පුවත් මවමින් මාධ්‍ය ඉදිරියේ බැණ අඬගසයි. විෂයභාර ඇමතිවරයා ඇතුළු පාලක පිංගුත්තරයන්ගේ උත්සාහය අන් කිසිවක් නොව නිදහස් අධ්‍යාපනයෙන් නිදහස් වීමයි. අයි.එම්.එෆ් වැනි නවලිබරල් හාම්පුතුන්ගේ මනදොල සැපිරිය හැක්කේ එලෙසිනි.

විශ්වවිද්‍යාලවල බරපතල අධ්‍යයන සුභසාධන ගැටලු ප්‍රමාණයක් පැන නැගී ඇත. ඒ ප්‍රධාන වශයෙන්ම ප්‍රතිපාදන කප්පාදුව හේතුවෙනි. විශ්වවිද්‍යාල සඳහා කෙරෙන ප්‍රතිපාදන වෙන් කිරීම් 
වසරක් පාසා මිලියන ගණනින් කප්පාදු වෙයි. ආණ්ඩුවේ අධ්‍යාපන වැඩපිළිවෙළ පෞද්ගලීකරණය ඉලක්ක කරගත්තකි. පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කිරීම පමණක් නොව පවතින රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය පවා ක්‍රමයෙන් මුදල් අය කරන ආයතන බවට පත් කිරීම ආණ්ඩුවේ ඉලක්කයයි. ප්‍රතිපාදන කප්පාදු කිරීමේ රහස එයයි. නවකවදය පිටින් දමා ආණ්ඩුව යට ගහන්නට උත්සාහ කරන්නේද මෙම කුමන්ත්‍රණයයි. 

උසස් පෙළ විභාගය සමත්වන සිසුන්ගෙන් ඉතා සීමිත පිරිසකට හෝ උසස් අධ්‍යාපනය ලැබීමට අවස්ථාව සැලසෙන්නේ විශ්වවිද්‍යාල පද්ධතිය තුළිනි. එහෙයින් සමාජයට නව දැනුම උත්පාදනය කරන, ඒ වෙනුවෙන් විවිධ පර්යේෂණ කරන, ගවේෂණය කරන ස්ථාන බවට විශ්වවිද්‍යාල පත්විය යුතුය. ඒ සඳහා වන දෘෂ්ටියකින් විශ්වවිද්‍යාල පද්ධතිය ගොඩනැගීම හා පුළුල් කිරීම ඕනෑම රජයක ප්‍රමුඛ වගකීමකි. නමුත් අද වන විට සිදු වන්නේ විශ්වවිද්‍යාල පද්ධතිය අර්බුදයට යැවීම සඳහා රජය මැදිහත්වීමයි. 2020 වසර වන තුරු විශ්වවිද්‍යාල සඳහා ප්‍රතිපාදන වෙන් නොකරන තීරණයක් රජය ගෙන ඇත. පවතින අධ්‍යයන හා සුභසාධන ගැටලු තවතවත් උග්‍ර වීමේ ප්‍රධාන හේතුව රජයේ මෙම මැදිහත්වීමයි. මේ වන විටත් ශිෂ්‍යන් විසින් පවතින ගැටලු සම්බන්ධයෙන් උපකුලපතිවරුන් සමඟ සාකච්ඡා සිදුකර ඇති අතර උසස් අධ්‍යාපන අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කිරීම සඳහා අවස්ථා ගණනකදී ලිපි තැපැල් කර තිබේ. නමුත් ප්‍රතිඵලයක් නැත. අමාත්‍යවරයා සමඟ සාකච්ඡා දෙන්නේත් නැත. ගැටලු සඳහා විසඳුම් ලැබෙන්නේත් නැත. මෙවන් පසුබිමක් තුළ ශිෂ්‍යයන්ට සිය ගැටලුවලට විසඳුම් ලබාගැනීම සඳහා අරගල කිරීමට සිදුවීම වැළැක්විය නොහැක. 

නැගෙනහිර, රජරට, විවෘත, සබරග මුව, පේරාදෙණිය, සෞන්දර්ය, බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලවල හා විශේෂයෙන් සියලුම තාක්ෂණ පීඨවල ආචාර්ය/මහාචාර්ය හිඟය බරපතල වන අතර ඇතැම් තැනෙක පළමු සමාසිකයට අදාළ විෂය නිර්දේශ ආවරණය කිරීම සඳහා අවශ්‍ය දේශන පවා සිදුකර නැත. එසේම විවෘත, ජපුර, පේරාදෙණිය, සබරගමුව, කැලණිය, බෞද්ධ හා පාලි සරසවිවල උග්‍ර නේවාසිකාග ාර අර්බුදයක් පවතී. නැගෙනහිර, ජපුර, රුහුණ විශ්වවිද්‍යාලවල දේශනශාලා හිඟය බරපතලය. විවෘත විශ්වවිද්‍යාලයේද දේශනශාලා හිඟයක් පවතින අතර තිබෙන දේශනශාලා හා විද්‍යාගාර වෙනත් ආයතන සඳහා කුලියට ලබාදීම හේතුවෙන් සිසුන්ට ඒවාද භාවිතා කළ නොහැකිව ඇත. පේරාදෙණිය, ජපුර, සබරගමුව, නැගෙනහිර ඇතුළු සරසවිවල ප්‍රායෝගික පරීක්ෂණ සඳහා අවශ්‍ය විද්‍යාගාර පහසුකම් ප්‍රමාණවත් නැත. සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ සංගීත භාණ්ඩ හිඟයට විසඳුම් නැත. 

බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ සමාජීය විද්‍යා පීඨය ඉදි කිරීම දශකයකට අධික කාලයක් තිස්සේ පුස් පොරොන්දුවක් පමණි.  ජපුර සරසවියේ මානවශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨ ගොඩනැගිල්ල හා ඉංජිනේරු පීඨ ගොඩනැගිල්ල ඉදිවන්නේ නැත. සබරගමුව සරසවියේ කෘෂි විද්‍යා පී්ඨයේ ඉදිකිරීම් ඉබි ගමනේය. සබරග මුව හා වයඹ සරසවිවල වෛද්‍ය පීඨ සඳහා සිසුන් බඳවාගැනීම් සිදු කළ ද පීඨ ගොඩනැගිලි ඉදිවන්නේ නැත. තාක්ෂණ පීඨ ගොඩනැගිලිවල තත්ත්වයද එසේමය.

සරසවිවල පුස්තකාල පහසුකම් ප්‍රමාණවත් නැත. විද්‍යාගාර ප්‍රමාණවත් නැත. දේශනශාලා, විභාගශාලා ප්‍රමාණවත් නැත. විශේෂයෙන් නැගෙ නහිර, රජරට ඇතුළු සරසවිවල විභාග ප්‍රතිඵල කිසි කලෙක නිසි කලට ලැබෙන්නේ නැත. රජරට, විවෘත සරසවිවල උග්‍ර පානීය ජල හිඟයක් පවතී. විශේෂයෙන්ම රජරට ප්‍රදේශය වසරක් පාසා පානීය ජල අර්බුදයක් අඛණ්ඩව පවතින අතර එය එසේ තිබියදීත් සරසවියට පමණක් නොව අවට ජනතාවටවත් පානීය ජල අර්බුයට විසඳුමක් පිළිබඳව පාලකයන්ට වගක්වත් නැත. නොබෝදා රජරට සරසවිය වසා දැමුණේද පානිය ජල අර්බුදය හේතුවෙනි. 

තාක්ෂණ පීඨවල පවතින අධ්‍යයන සුභසාධන ගැටලු පිළිබඳ වඩාත් අවධානය යොමු කළ යුතුය. තාක්ෂණ පීඨ ආරම්භ කරන්නේ රජයේ ආර්ථික ප්‍රතිපත්තියට අවශ්‍ය පුහුණු ශ්‍රමිකයන් බිහිකර ගැනීමේ අරමුණිනි. අවම වශයෙන් තාක්ෂණ පීඨ සඳහා විෂය නිර්දේශ සැකසීමක්වත් මේ වන තුරු සිදුකර නැත. සිව් වසරක උපාධි පාඨමාලාවක් සඳහා බඳවාගත් සිසුන්ට දැන් කියන්නේ එය තුන් වසරක පාඨමාලාවක් බවය. මහාචාර්යවරුන් තබා තාක්ෂණ පීඨවලට අවශ්‍ය ආචාර්යවරු පවා කිසිසේත්ම ප්‍රමාණවත් නැත. සෑම තාක්ෂණ පීඨයකම පාහේ ආචාර්යවරුන් සිටින්නේ අතේ ඇඟිලි ගණනටත් අඩු සංඛ්‍යාවකි. නැගෙනහිර සරසවියේ තාක්ෂණ පීඨයේ පළමු වසර දෙවන සමාසිකයේ පැවැත්වීමට නියමිතව තිබූ විෂයයන්වල දේශන මේ වන තෙක් පවත්වා නැත. තත්ත්වය මෙසේ වනවිට තාක්ෂණ පීඨවල අනෙකුත් අධ්‍යයන හා සුභසාධන ගැටලු පිළිබඳව අමුතුවෙන් කිවයුතු නැත. 

පසුගිය රජයේ උසස් අධ්‍යාපන ඇමති එස්.බී. දිසානායක විසින් වරක් විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් ක්‍රීඩා කරන්නේ නැතැයි කියමින් මාධ්‍ය ඉදිරියේ අවලාද නැගුවා අපට මතක ඇත. ඔහු එසේ කීවේ  ක්‍රීඩා කටයුතු සඳහා වෙන් කරන ප්‍රතිපාදන කප්පාදු කරන අතරතුරය. වත්මන් රජය විසින්ද එය අතහැර නැත. විශ්වවිද්‍යාලවල ක්‍රීඩා කටයුතු සඳහා වෙන් කරන ප්‍රතිපාදන කප්පාදු කිරීම බරපතල ලෙස සිදුවන්නකි. සියලුම විශ්වවිද්‍යාලවල ආපනශාලා කිසිඳු ප්‍රමිතියකින් තොරය. කුසගින්නට යමක් බඩට දා ගත යුතු නිසාම පමණක් සිසුන් ආපනශාලා පරිහරණය කරති. 

මේ විශ්වවිද්‍යාල කිහිපයක පවතින අධ්‍යයන හා සුභසාධන ගැටලු කිහිපයක් පමණි. සියලු ගැටලු එකින් එක කියන්නට පත්තර පිටු ප්‍රමාණවත් නැත. විජයදාස රාජපක්ෂ ඇතුළු ආණ්ඩුවේ වගකිව යුත්තන් කටින් බතල කොළ සිටුවන්නේ මෙවන් අගාධයකට විශ්වවිද්‍යාල පද්ධතිය ඇද දමමිනි. පසුගිය සැප්.07 දින මාධ්‍ය තුළින් ජනාධිපතිවරයාගේ ප්‍රකාශයක් විකාශය විය. සැප්.03 දින රුහුණ සරසවියට තමන්ගේ පැමිණීම සිසුන් විසින් වැළැක්වීම හේතුවෙන් විස්සෝපයට පත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ජනාධිපතිවරයාටවත් විශ්වවිද්‍යාල තුළට ඇතුල්වීමට සිසුන් විසින් ඉඩ නොදෙන බවත් එහෙයින් විශ්වවිද්‍යාල සිසුන් මිලේච්ඡයන් බවත්ය. සිසුන්ට ජනාධිපතිවරයාගේ හෝ විජයදාස රාජපක්ෂගේ අඬෝවැඩියාවෙන් පලක් නැත. ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ පන්නයේ මාධ්‍ය සංදර්ශනවලින්ද සිසුන්ට පලක් නැත. සිසුන්ට අවශ්‍ය වන්නේ අධ්‍යාපනයේ පවතින උග්‍ර අධ්‍යයන හා සුභසාධන ගැටලුවලට විසඳුම් ලබාගැනීමය. මාධ්‍ය සංදර්ශනවලින් දේශපාලකයන්ගේ බඩ පිරුණාට විශ්වවිද්‍යාල සිසුන්ගේ බඩ පිරෙන්නේ නැත. ගැටලුවලට විසඳුම් ලැබිය යුතුය.

විජයදාස රාජපක්ෂ වරක් ප්‍රකාශ කළේ විශ්වවිද්‍යාල තමන්ගේ අම්මගේ අප්පගේ බූදලයක් බව සිසුන් සිතාගෙන සිටින බවය. එයින් අපට ඒත්තු යන්නේ විජයදාස රාජපක්ෂ ඇතුළු බඩගෝස්තරවාදී දේශපාලුවන් විශ්වවිද්‍යාල ඔවුන්ගේ අම්ම අප්පගේ බූදලයක් බව සිතාගෙන සිටින බවය. විශ්වවිද්‍යාල සිසුන් යනු අහසින් පාත්වූ පිටසක්වල ජීවීන් නොවේ. ඔවුන් මේ රටේ ජනතාවගේ දූ පුත්තුය. විශ්වවිද්‍යාල ඉදිවූයේ, නඩත්තු වන්නේ ජනතාවගේ බදු මුදල්වලිනි. එහෙයින් කොහොමත් විශ්වවිද්‍යාල යනු ශිෂ්‍යයන්ගේ අම්ම අප්පගේ බූදලයකි. විජයදාස රාජපක්ෂට හෝ මෛත්‍රීපාල සිරිසේනට හෝ වෙනත් බඩජාරි දේශපාලුවෙකුට හෝ විශ්වවිද්‍යාල අයිති නැත. ඔවුන් මේ විනාශ මුඛයට ඇද දමන්නේ ජනතාව සතු දේපලකි. එහෙයින් විශ්වවිද්‍යාල තුළ පවතින ගැටලු විසඳනවා වෙනුවට ඒවාට පැමිණ මාධ්‍ය සංදර්ශන තියන්නට දේශපාලුවන් නොපැමිණියාට කිසිඳු ගැටලුවක් නැත. 

පාලකයන්ගේ උත්සාහය විශ්වවිද්‍යාල පද්ධතිය බිඳවැට්ටීමය. අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමේ නවලිබරල් මනදොල සපිරෙන්නේ එවිටය. එහෙයින් විශ්වවිද්‍යාල තුළ පවතින අධ්‍යයන හා සුභසාධන ගැටලු පාලකයන් විසින් හිතාමතා ඇති කරන ඒවා විනා ඉබේ පහළ වන ඒවා නොවේ. අධ්‍යයන හා සුභසාධන ගැටලු විසඳා ගැනීමද නිදහස් අධ්‍යාපනය දිනාගැනීමේ අරගලයේම ප්‍රමුඛ කාර්යයක් වන්නේ ඒ නිසාය. අවසාන වශයෙන් අප පාලකයන්ට යමක් කිව යුතුය. සිංහ හම පොරවාගත් හිවලෙකු පිළිබඳ උපමා කතාවක් අප කුඩා කල අසා ඇත්තෙමු. නවලිබරල් පාලකයන්ද ජනතාව ඉදිරියේ සිංහ හම පොරවාගත් හිවල්ලුය. කැමරා ඉදිරියේ වෙස් වලා ගත්තාට ජනතාව ඉදිරියේ වෙස්වලා ගැනීම කළ නොහැකිය. හැංගි හැංගි වෙස් බැන්ඳ ද නටන්නට වන්නේ එළිපිටය. විශ්වවිද්‍යාලවල පවතින ගැටලුවලට විසඳුම් කුණු මුල්ලට දමා සිසුන් පිළබඳ ව්‍යාජ ප්‍රතිරූප සමාජය ඉදිරිපිට හදන්නට උත්සාහ කළද ඒ වැඩි කලකට නොවේ. අරගලය විසින් සියල්ලට උත්තර ලැබෙනු ඇත. එහෙයින් සරසවි හා නිදහස් අධ්‍යාපනය වනසන බර අවි බිම තබන්නට පාලකයන්ට සිදුවන දිනය වැඩි ඈතක නොවේ.

0 comments:

Post a Comment