Tuesday, October 23, 2018

නිරැවත්ව විකිණෙන කලාව කොයිබටද?


පන්ති රහිත සමාජය එනම් ප්‍රාථමික සාමූහික සමාජයේ සිට වහල් ක්‍රමය, වැඩවසම් ක්‍රමය ආදී සමාජ ක්‍රම පසු කරමින් මිනිස් සමාජය ධනේෂ්වර ක්‍රමය දක්වා පැමිණ ඇත. වර්ථමානය වන විට නව ලිබරල් ආර්ථිකය බරපතල බිඳ වැටීමකට පත් වෙමින් පවතින අතර අධිරාජ්‍යවාදය මුළු ලොවම වෙලාගෙන සිටී. සමාජවාදය එකම විකල්පය බවට පත්ව තිබේ.

කලාවට පමණක් නොව සෙබාදහමට පවා පවතින සමාජ සන්ධර්භය තුළ මිනිසාගේ ක්‍රියාකාරීතවය බලපවත්වනු ලබයි. එමනිසා සමාජවාදයේදී කලාවට සිදුවන දෙය පිලිබඳ අදහසක් ලබාගැනීමට නම් පවතින සමාජය තුල කලාවේ හැසිරීම, එහි එෛතිහාසික පදනම හා පවතින ආර්ථික හා සමාජීය කොන්දේසි වෙනස් වූ විට කලාවට සිදුවන්නේ කුමක්ද? එම සමාජීය ආර්ථික තත්වයන් වෙනස් කිරීම සඳහා කලාවේ කාර්‍ය භාර්‍ය කෙසේ විය යුතුද? යන්න විමසා බැලිය යුතු වේ. ට්‍රොස්කි කලාව පිලිබඳව මෙසේ පවසා තිබේ. ‘අතීත කලාවට පාරප්‍රාප්ත වීමකින් තොරව නව කලාවක් බිහිකිරීමට පමණක් නොව නව සමාජයක් බිහි කිරීමටද නොහැක’. 
කලා විචාරය පිලිබඳ මුල්ම සාකච්චාව ක්‍රි.පූ 5 වන සියවසේ පමණ ඉන්දියාව හා ග්‍රීසිය කෙන්ද්‍රගත වී ආරම්භ වී තිබේ. එහිදී ඉන්දියාවේ සංස්කෘත නාට්‍ය සම්ප්‍රදාය හා ග්‍රීසියේ ශෝකාන්ත හා සුකාන්ත නාට්‍ය සම්ප්‍රදාය ආරම්භ වී ඇති අතර මූර්ති කලාව, කවිය, සාහිත්‍යය යන ක්ෂේත්‍ර වල සැලකිය යුතු වර්ධනයක් අත් පත් කරගෙන තිබේ.

ඉන්දියාව තුළ කලා විචාරය රසවාදය හා ධ්වනි වාදය මත පදනම් වී ඇත. ක්‍රි.ව 4වන සියවසේ භරතමුනි විසින් රසවාදය පිලිබඳ සංවාදය ගෙන එනු ලැබීය. ඔහු හින්දු ආගමික දාර්ශනික පදනමක් මත පිහිටා ඇත. ඔහුට අනුව කලාව යනු රසය ආශ්වාදනය කිරීමයි. සුදුසු තත්වයක් ඇති වුවහොත් මනෝභාවයන් ජනනය වීමේ හැකියාව මිනිසුන් තුළ පවතී. එය සථායිභාවය ලෙස දක්වා ඇත. එය උපතේ සිටම මිනිසුන් තුළ පවතින දෙයකි. සියලු රසයන්ගේ මුඛ්‍ය රසය විශ්මය රසය බව පෙන්වා දෙනු ලැබීය.

රසවාදයට අනුව කලාව රසවිිඳීමට නම් ඊට සමවැදිය යුතුය. සියලුම දෙනාට කලාව රසවිඳීමේ හැකියාව නොපවතී. රසවිඳිය හැකි හා නොහැකි ලෙස දෙපාර්ෂවයක් සිටී. සුදුසු තත්වයන් තුලදී භාවයන් ඉපදීමට, රසවින්දනය ලබාගැනීමට ඇති හැකියාව හෙවත් සථායිභාවය ලබා දෙන්නේ දෙවියන් විසිනි. රසවින්දනය නොමැති අය එය ලබාගැනීමට නම් දෙවියන්ට යාඥා කළ යුතුය. එමනිසා එය භාවනාව වැනි පැතිකඩකට යොමු විනි. රසවාදයට අනුව කලවේ මුඛ්‍ය අර්ථය රසයයි.

 ලොව පුරා මාක්ස්වාදීන් මෙම අදහස දැඩි ලෙස විවේචනය කරන ලද අතර එහි ප්‍රමඛයා ලෙස බර්ටෝල් බ්‍රෙෂ්ට් හැඳින්විය හැක. ඔහු ඉදිරිපත් කළ අදහසට අනුව මනෝභාවයන් ඉපදීමට සමාජීය තත්වය බලපානු ලබයි. සමාජය පංති සමාජයක් නම් මනෝභාවයන් තනනු ලබන්නේ අධිපති පංතිය විසිනි. කලාවට සම නොවදින ලෙසත් එහි රසය මෙන්ම ඥානනය යන කොටසත් ඇති බව ඔහු පෙන්වා දෙන ලදි
ධිවනිවාදීන් කලාව තුළ සාහිත්‍යය කොටසට අවධානය යොමු කරන ලදි. භාෂාවට අර්ථ ඇති බව පෙන්වා දෙන ලදි. වාච්‍යාර්ත, ලාක්ෂණාර්ථ, ව්‍යංගාර්ථ පිලිබඳ විමසුම ඔවුන් විසින් සිදු කරන ලදි. ව්‍යංගාර්ථය පිලිබඳ අදහස දක්වා ඇත්තේ තර්ක බුද්ධියට හසු නොවන ඉතිහාසයක් තුළින් ලැබෙන මතකය මගින් වචනයකට ලැබෙන දෙවැනි අදහසක් ලෙසයි.මෙම අදහස සඳහා මාක්ස්වාදීන් ඉදිරිපත් කල විවේචනය වන්නේ ව්‍යංගාර්ථය හැඟවීමට බලපාන එෛතිහාසික තත්වයන් පැහැදිළි කිරීමට ධ්වනිවාදීන් අපොහොසත් වීමයි.
ග්‍රීක දාර්ශනිකයෙකු වන ප්ලේටෝගේ අදහස ඔහු පැවසූ පරමාදර්ශී රාජ්‍යය ගොඩනැගීමෙන් පසු සියලු කලා කරුවන් පලවා හැරිය යුතු බවයි. මන්ද යත් කවියා දෙවරක් යථාර්ථයෙන් ඈත් වේ. එහෙයින් කලාකරුවන් යථාර්ථයෙන් බොහෝ ඈත සිටින නිසා ඔවුන්ට යථාර්ථය සමග ගැටී නව යතාර්ථයක් ගෙඩ නැගිය නොහැක.කලාව හේතුවෙන් තර්ක බුද්ධිය ඈත් වී හැඟීම් ජනනය වේ.

ප්ලේටෝගේ අදහස සම්පූර්නයෙන්ම විවේචනය කල ඇරිස්ටෝටල් කලාව යනු යථාර්ථය අනුකරණය කිරීමක් බවත් ඉතිහාසඥයා සිදු වූ දෙය පවසන අතර කලාකරුවා සිදුවිය යුතු දෙය පවසන බව පෙන්වා දෙන ලදි. එනිසාවෙන් ප්ලේටෝගේ පරමාදර්ශී රාජ්‍යය ගෙඩනැගීමට කලා කරුවන් සිටිය යුතු බවට තර්ක කලේය. කලාව මගින් මිනිසා පිරිසිදු වී සදාචාර සම්පන්න භාවය ඉහළට පැමිනෙනු ඇතැයි ඇරිස්ටෝටල් විශ්වාශ කලේය.

රුසියාවේ විප්ලවයේ කවියා ලෙස විරුදාවලිය ලත් මායා කොවුස්කි එහි රදල පංතියේ නියෝජිතයා වූ පුෂ්කින් විසින් සොබා සෞන්දර්්‍යය අගයමින් රචිත කවි දැඩි ලෙස විවේචනය කල අතර ’රෝස මල් වලට කෙල ගසනු යැයි පැවසීය’. මෙම අදහස සමග ගැටුනු ලෙනින් ‘පුෂ්කින්ගේ කවි නොකියවා රෝස මල් දෙස බැලීම පවා නිශ්පල වනු ඇත’ යැයි පැවසීය. නූගත් ජනතාව වෙනුනේ කලාව පහත හෙලීම වෙනුවට විප්ලවීය අධ්‍යාපන වැඩ පිලිවෙලක් හරහා කලාව රස විඳිය හැකි පොදු මහජනතාවක් නිර්මාණය කල යුතු බව ලෙනින් දැරූ මතවාදයයි.

වර්ථමානය වන විට කලාව වෙලඳ භාණ්ඩයක් බවට පත් වී තිබේ. කලා කෘති ලාභ අරමුණු මත පදනම්ව තිබේ. ධනවාදයේ අවශ්‍යතාවයන් තෘප්ත කිරීම වෙනුවෙන් කලාව දෘෂ්ඨිවාදයක් බවට වී තිබේ. පාලකයාට  අවශ්‍ය කලා කෘති ප්‍රවර්ධනය කරන අතර අනවශ්‍යය ඒවා වාරණය කරනු ලබයි. තියොඩෝර් ඇඩනෝ පැවසූ පරිදි කලාව වෙලඳ භාණ්ඩයක් බවට පත් වීම නිසා එහි ස්වාධිපත්‍යය වැනසී තිබේ. කලාවේ වර්ධනයක් අත් කරගැනීමට නම් පැරණි කලාව එය විකාශනය කිරීමේ පදනම බවට පත් කරගත යුතුය. උසස් රසවින්දනයක් වෙනුවෙන් ශ්‍රේෂ්ඨ කලා කෘති බිහි කිරීම වර්ථමානයේ කලා කරුවන් සතු අභියෝගය හා අරගලය බවට පත් වී තිබේ.

සමාජවාදී සමාජ ක්‍රමයක් තුළ උසස් රසවින්දනයක් සහිත මිනිසුන්, වර්ධනය වූ විශිෂ්ඨ කලාවක් මෙන්ම ධනපති පංතිය විසින් මනෝභාවයන් නිර්මාණය කරනවා වෙනුවට වඩාත් නිර්මාණශීලි සමාජ මනොභාවයක්ද දක්නට ලැබෙනු ඇත. කෙසේ නමුත් සමාජවාදය යනු කොමියුනිස්ට් ක්‍රමය කරා යන සංක්‍රාන්තික අවදියක් බව අප දන්නා කරුණකි. එහිදී කොමියුනිස්ට් සමාජය තුළ කලාව අත් පත් කරගන්නා දියුණුව කෙසේ වේවිද යන සංවාදය හටගනු ඇතැයි අපේක්ෂා කල හැක.

ගිනිසිළුව ඔක්තොම්බර් කලාපය

0 comments:

Post a Comment