Wednesday, October 3, 2018

සියලු දේශපාලන රැඳවියන් වහා නිදහස් කරනු!






පසුගිය සැප්තැම්බර් 14වැනිදා අනුරාධපුර බන්ධනාගාරයේ සිටින දේශපාලන සිරකරුවන් 8 දෙනෙකු උපවාසයක් ආරම්භ කිරීමත් සමග දේශපාලන රැඳවියන් පිලිබඳ ප‍්‍රශ්නය නැවත ඉස්මතුවී තිබේ. මේ වනවිට තවත් දෙදෙනෙකු එක්ව උපවාසයේ යෙදෙන රැඳවියන් සංඛ්‍යාව දස දෙනෙකු බවට පත්ව තිබේ. ඔවුන් දසදෙනා වෛද්‍ය ප්‍රතිකාරද ප්‍රතික්ෂේප කරන බැවින් ඔවුන්ගේ ජීවිත අවදානමක පවතී. නමුත් ආණ්ඩුව මේ වනතුරු ප්‍රශ්නය විසඳීම සඳහා කිසිදු මැදිහත්වීමක් සිදු කර නැත. උපවාසයේ යෙදෙන රැඳවියන් ඉල්ලා සිටින්නේ එක්කෝ තමන්ව නිදහස් කරන ලෙස හෝ එසේත් නැතිනම් තමන්ව පුනරුත්ථාපනය සඳහා යොමු කරන ලෙසය. මීට පෙරත් ඔවුන් අවස්ථා කිහිපයකදී උපවාස කළ අතර එවිට ඔවුන් ඉල්ලා සිටියේ එක්කෝ තමන්ට නඩු පවරන ලෙස, දැනටමත් පවරා ඇති නඩු ඉක්මන් කරන ලෙස, එසේත් නැත්නම් තමන්ව නිදහස් කරන ලෙසය.

මේ වනවිට ලංකාවේ බන්ධනාගාර 13ක දේශපාලන රැඳවියන් 106 දෙනෙකු රඳවාගෙන සිටී. ඔවුන් අතරින් නඩු අවසන් වීල අධිකරණයෙන් වැරදිකරු වී, සිර දඬුවම් නියම වූ අය සිටින්නේ 35 දෙනෙකු පමණි. ඊට අමතරව දඬුවම් ලැබූ නමුත් අභියාචනා ඉදිරිපත් කර ඒවා විභාග වන තවත් 17දෙනෙක් රැඳවුම්භාරයේ සිටී. සාමාන්‍යයෙන් අභියාචනා විභාග කරන කාලයේදී ඇප ලබාගත හැකි වුවත් ඔවුන්ට ඇප දෙන්නේ නැත්තේ පැහැදිලිවම දේශපාලන හේතු මතය. නඩු ආරම්භ වී රිමාන්ඞ් භාරයේ සිටින 42 දෙනෙකු සිටින නමුදු එම නඩු ඉතා දිගු කාලයක් තිස්සේ නිම නොවී ඇදී යයි. මේ අතරින් ඇතැම් රැඳවියන් වසර 10-15 පමණ කාලයක් නඩු විභාග සඳහා අධිකරණයට යන නමුත් එම නඩු අවසන් වන්නේ නැත.

 නිදසුනක් ලෙස වයස අවුරුදු 18දී අත්අඩංගුවට පත්ව දැන් වයස අවුරුදු 38දීත් සිරගතව සිටින රැඳවියෙකු සිටීග. ඔහුගේ නඩුව තවමත් අවසන්ව නැත. මේ අතර නීතියට අනුව ඇප දිය හැකි වරදවල් සඳහා නඩු තිබෙන අය සිටියත් ඔවුන්ටද ඇප ලැබෙන්නේ නැත. එපමණක් නොව තවමත් කිසිම නඩුවක් නැතිව, චෝදනා ගොනු කිරීමක් නැතිව, රැඳවුම් නියෝග මත රිමාන්ඞ් වී සිටින 12 දෙනෙක් සිටී. ඔවුන්ට නඩු පැවරීමට චෝදනා නැතිමුත් ඔවුන් නිදහස් කරන්නෙද නැත. නිදසුනක් ලෙස දීපන් සහ කපිලන් යන රැඳවියන් දෙදෙනා නඩුවකුත් නැතිවල චෝදනාත් නැතිව 2009 සිට වසර 9ක් තිස්සේ බන්ධනාගාරයේ සිරගතව සිටී. මෙය ඉතාම බරපතල අසාධාරණයක් බව පැහැදිලිය.

මේ ආණ්ඩුව බලයට ඒම සඳහා මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයට දේශපාලන රැඳවියන්ගේ ප්‍රශ්නය භාවිතා කළේය. ආණ්ඩුවේ ප්‍රධාන මැතිවරණ පොරොන්දුවක් වුයේ සියලු දේශපාලන රැඳවියන් නිදහස් කිරීමය. නමුත් බලය ගත් පසුව ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් කියන්නේ අපරාධ සඳහා චෝදනා ලැබුවන් මිස දේශපාලන රැඳවියන් ලංකාවේ නැති බවය. මෙය කිසිදු පදනමක් නැති තර්කයකි. ඔවුන් කළ බවට චෝදනා කර ඇති වරදවල් කර ඇත්තේ පොදුවේ ගත් කල තමන්ගේ හෝ හුදු කල්ලියක හෝ පෞද්ගලික අභිමතාර්ථ උදෙසා නොවන බව ඕනෑම අයෙක් පිළි ගන්නා කාරණයකි. සාමාන්‍ය අපරාධකරුවෙකුට කිසිදු ආණ්ඩුවක්, කිසිදු නෛතික ආයතනයක් ත්‍රස්තවාදියෙකු යයි කියන්නේ නැත. කොපමණ ත්‍රස්ත ක්‍රියා කළත් එවන්නෙකු හඳුන්වන්නේ අපරාධකරුවෙකු ලෙසය. යමෙකු ත්‍රස්තවාදියෙකු යයි හැඳින් වූ වහාම ඔවුන් දේශපාලන අරමුණක් සඳහා එකී ක්‍රියාවල යෙදුන බව ගම්‍ය වේ.




 එහෙයින් ඔවුන් අනෙක් අපරාධකරුවන්ගෙන් වෙනස් වේ. ඔවුන් එවැනි දේශපාලනයකට පෙළඹී ඇත්තේ පවත්නා දේශපාලන ක්‍රමයේ ප්‍රශ්නයක් මත බව පැහැදිලිය. එහෙයින් දේශපාලන අභිමතාර්ථ වෙනුවෙන් පවතින නීති උල්ලංඝනය කිරීමේ හේතුවෙන් සිරභාරයට ගැනෙන්නවුන් දේශපාලන සිරකරුවන් වශයෙන් සැලකිල්ලට ගැනීම අවශ්‍යය. අනෙක පාලකයින් දේශපාලන සිරකරුවන් කියා කොටසක් නැතැයි කීවාට හැමවිටම පාහේ ඔවුන් සම්බන්ධයෙන් සාමාන්‍ය නීතිය වෙනුවට විශේෂ නීති පවත්වා ගෙන යයි. දැන් ලංකාවේ මහජන ආරක්ෂක පනතම සාමාන්‍ය නීතියක් නොව දේශපාලන  ර්‍ණඅපරාධ”නීතියකි. ත්‍රස්තවාදය වැළක්වීමේ පනත සාමාන්‍ය අපරාධ නීති පනතක් නොවේග දේශපාලන  ර්‍ණඅපරාධ” නීති පනතකි. මේ දේශපාලන රැඳවියන් රඳවාගෙන සිටින්නේ එම අණපනත් යටතේය. එබැවින් ඔවුන් දේශපාලන රැඳවියන් ලෙස සැලකිය යුතු අතර ඔවුන් සම්බන්ධයෙන් ගත යුතුව තිබෙන්නේ දේශපාලන තීරණයකි.

අනෙක් දේශපාලන වශයෙන් වැදගත් කරුණ වන්නේ ඔවුන් තිස් අවුරුදු යුද්ධයේ ගොදුරු වීමයි. යුද්ධය යනු ඉතිහාසයේ ගමන් මගේ තර්කානුකූල ප‍්‍රතිපලයක් මිස කාගේ හෝ පුද්ගලික අපරාධ චේතනාවක, උමතුවක, බල පොරයක ප්‍රතිපලයක් නොවේ. යුද්ධය ආරම්භ වීමට පෙර 1947 පුරවැසි පනත, 1958 ශ‍්‍රී අකුරේ ජාතිවාදී ගැටුම, 1972 අධ්‍යාපන ප‍්‍රමිතිකරණය, 1981 සංවර්ධන සභා මැතිවරණ ප‍්‍රචණ්ඩත්වය, 1983 කළු ජුලිය, 6වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා උතුරේ මන්ත‍්‍රීවරුන් පාර්ලිමේන්තුවෙන් නෙරපීම, යාපනය පුස්තකාලය ගිනි තැබීම ඇතුළු සිදුවීම් සිය ගණනක් තිබුණු බව අමතක කළ නොහැකිය. යුද්ධය ඇති වීමට සමාජයක් ලෙස අප හැම දෙනාටම වගකීමක් තිබෙන අතර රට පාලනය කළ දේශපාලඥයන් හට විශේෂ වගකීමක් තිබේ. එබැවින් එහි වගකීම මේ රැඳවියන් 106 දෙනෙකුට පවරා අත පිසදා ගැනීම කළ නොහැක්කකි. යුද්ධයට වගකිව යුතු දේශපාලන නායකයන් පමණක් නොව කේ.පී, කරුණා පිල්ලෙයාන් වැනි එල්ටී.ටී.ඊ නායකයන් නිදැල්ලේ සිටියදී එම සංවිධානයේ පහලම සාමාජිකයන් මෙලෙස සිරගත කරගෙන සිටීමේ අරමුණ කුමක්ද එමෙන්ම මීට පෙර එල්ටී.ටී.ඊයට සම්බන්ධව සිටි 12ල000ක් දෙනා පුනරුත්ථාපනය කර සමාජයට මුදා හැරීමට ආණ්ඩු වලට ප්‍රශ්නයක් නොතිබිණිනම් නිසි ආකාරයෙන් ඔප්පු කළ හැකි චෝදනා නැති අයද ඇතුලත්ව මේ 106 දෙනෙකු රඳවාගෙන සිටීමේ අරුත කුමක්ද

මේ රැඳවියන් නිදහස් නොකර සිටීම සඳහා කිසිදු වලංගු දේශපාලන තර්කයක් නැත. යුද්ධයෙන් පසු නැවත යුද්ධයක් ඇතිවීම වැළක්වීමේ දේශපාලනය සලකනවානම් කළ යුත්තේ මේ අය සිරගත කර තබා ගැනීම නොව නිදහස් කිරීමයි. එය එලෙස සිදු නොකිරීමට අදාලව වලංගු මිලිටරිමය තර්කයක්ද නැත. යුද්ධයේ නායකයන් පවා නිදහස්ව සිටින තත්වයක් තුළ මේ සිය දෙනෙකුට නැවත යුද්ධයක් ආරම්භ කළ නොහැකි බව ඕනෑම කෙනෙකුට ඒත්තු යන සරල සත්‍යයකි. අනෙක රටේ බදු ආදායමින් තුනෙන් එකක්ම ආරක්ෂක වියදම් ලෙස වෙන් කරන රටක එලෙස තර්ක කිරීම පවා විහිළුවකි. සැබවින්ම දැන් මේ දේශපාලන රැඳවියන් නිදහස් නොකරන්නේ ජාතිවාදී දේශපාලඥයන්ගේ බලපෑම හේතුවෙන් සහ ජාතිවාදය පවත්වාගෙන යාමේ උවමනාවෙන් මිස අන් හේතුවකින් නොවේ. තිස් අවුරුදු විනාශකාරී යුද්ධයකට සමාජය ඇද දමනු ලැබුවේද මේ ජාතිවාදී පවිටු දේශපාලනය විසිනි. එයට නැවත ඉඩ දීම යනු තවත් යුද්ධයකට මග හෙළි පෙහෙළි කිරීමකි. එනිසා මෙම ජාතිවාදී ව්‍යාපෘතිය පරාජය කර සියලු දේශපාලන රැඳවියන් වහා නිදහස් කර ගැනීමට සියල්ලන් එක්විය යුතුය. ඒ සඳහා පුළුල් ජන බලයක් සහ ප්‍රබල ජනමතයක් ගොඩ නැගිය යුතුය. දේශපාලන රැඳවියන් පිලිබඳ ප්‍රශ්නය උතුරේ ප්‍රශ්නයකට ලඝු නොකර දකුණේ සමාජයල විශේෂයෙන් සිංහල ජනතාව මේ සටන්පාඨය වෙනුවෙන් පෙළ ගැසිය යුතුය. සම අයිතිය ව්‍යාපාරය පෙනී සිටින්නේ ඒ වෙනුවෙනි. සම අයිතිය ව්‍යාපාරය ගනු ලබන ක්‍රියාමාර්ග සහ අනෙකුත් සංවිධාන සමග ගන්නා එක්සත් ක්‍රියාමාර්ග වල පදනම එයයි. ඒ සඳහා එකතු වන මෙන් අපි සියලු ප්‍රගතිශීලී කොටස් වලින් ඉල්ලා සිටිමු.

සියලු දේශපාලන රැඳවියන් වහා නිදහස් කරනු!
තවත් මර්දන නීති එපා - ත්‍රස්තවාදය වැළක්වීමේ පනත වහා අහෝසි කරනු!

සම අයිතිය ව්‍යාපාරය

0 comments:

Post a Comment