Thursday, December 13, 2018
උන්ගේ බල පොරය හා විඳවන අපේ ජීවිත
ධනේෂ්වර ව්‍යවස්ථාවට මෙන්ම ධනේෂ්වර ප්‍රජාතන්ත්‍රවාදයටත් පටහැනිව ඔක්.26 සිදුවූයේ දේශපාලන කුමන්ත්‍රණයකි. ඒ ධනවාදයේ හැටිය. එයට ඕනෑම මොහොතක කබරගොයි තලගොයි කළ හැක. මේ පුපුරා ගියේ හදිසියේ පැනනැගුනු අර්බුදයක් නොවේ. කාලයක් තිස්සේ මෝරා වැඩෙමින් තිබුණකි. මේ අර්බුදය එන්නේ යහපාලන ආණ්ඩුවේ උප්පතියේ පටන්මය. එදා පොදු සතුරා මහින්දය. ඒ නිසා කවුරුත් එක්වූ පොදු අරමුණ මහින්ද පැරදීමය. වංචා, දූෂණ නැවැත්වීම, ප්‍රජාතන්ත්‍රවාදය හා නීතියේ ආධිපත්‍ය ස්ථාපිත කිරීම,, යහපාලනය ආදී මේ සියල්ල එහිදී භාවිතා වූයේ හුදෙක් ජනතාව රැවටීම සඳහාම පමණි.
සිරිසේන බලයට ආවේ මහින්දගෙන් වූ අතවර ගැන කියා නාහෙන් අඬාගෙනය. පක්ෂයේ නායක කමද අහිමිවන තැනක සිටි රනිල්ටද වෙන පාරක් තිබුණේ නැත. ජවිපෙත් හිටියේ වැලේ වැල් නැතිවය. ඒ නිසා අනියමින් හවුලට එක්විය. ඒ නිසා යහපාලන ආණ්ඩුවම ගත්විට අර්බුදයකි. උපාසක වෙස් ගත් කොකුන් රෑනක බක තපසකි. අන්තිමේ රැවටුණේ ජනතාව පමණි.
මැතිවරණ පොරොන්දු හා බිඳවැටුණු බලාපොරොත්තු
යහපාලනය තුළ ජනතාව අපේක්ෂා කළේ වෙනසකි. එය පැමිණියේ පොරොන්දු දහසක් සමඟිනි. ප්‍රජාතන්ත්‍රවාදයේ දෝලාව මතිනි. එහෙත් යහපාලනය යනුද රාජපක්ෂ පාලනයේම දිගුවකි. ප්‍රතිපත්තිමය වශයෙන් පමණක් නොව පාලනය ගෙන ගිය ඔළුගෙඩිවලින් ගත්තද එහි කිසිඳු වෙනසක් තිබුණේ නැත. අධ්‍යාපන, සෞඛ්‍ය වැනි සමාජ සේවාවන්ද, විශ්‍රාම වැටුප වැනි සමාජ ආරක්ෂණ යන්ද එලෙසම කප්පාදු කෙරිණි. උමා ඔය, වරාය නගරය වැනි විනාශකාරී ව්‍යාපෘති එසේම ඉදිරියට ඇදුනි. මර්දන අනපනත් යළි යළිත් සම්මත වුණි. බදු පනත්, කම්කරු නීති සංශෝධන හා විනාශකාරී වෙළඳ ගිවිසුම් හරහා පමණක් නොව දිනෙන් දින ඉහළ යන උද්ධමනය හා ජීවන බර හමුවේද ජනතාව ගෙලමුලින් හිර කර දමන ලදී. පොරොන්දු වූ පරිදි සිදුවූයේ එක් දෙයක් පමණි. ඒ නීතියේ ආධිපත්‍යය පිහිටුවීමයි. නමුත් ඒ වංචා දූෂණවලට එරෙහිව නොව ජනතා අරගලවලට එරෙහිව පමණි.
මේ යහපාලනයේ ශේෂ පත්‍රයයි. නමුත් හැම විටම ඔවුන්ට හේතුවක් තිබුණි. එනම් ඒ සිරිසේනට අනුව වරදකරුවා රනිල්ද රනිල්ට අනුව වරදුකරුවා සිරිසේනද වශයෙනි. මේ ගැටුම ක්‍රමිකව වෛරයක් බවටම පෙරලී ගිය අතර එහි තර්කානුකූල අවසානය මෙකී පුපුරායාමයි.
ව්‍යවස්ථා මගඩි හා බල පොරය
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම හුදු මැතිවරණ පොරොන්දුවක්ම පමණි. 19 ජනතාව ගොනාට ඇන්දවීමට ගෙනා ව්‍යාජ ලියවිල්ලක් පමණි. එය දැන් මේ ව්‍යවස්ථා අර්බුදය හරහා හෙළිදරව් වී ඇති අතර සිදුවී ඇත්තේ විධායක බලය රැකගැනීමේ සිරිසේනගේ උවමනාවත්, අගමැතිට බලය තහවුරු කරගැනීම සඳහා වූ රනිල්ගේ උවමනාවත් අතර කඹ ඇදීමක් පමණි. එක් වගන්තියක් හරහා බලතල ඉවත් කරද්දී තවත් වගන්තියකින් එම බලතලම යළි ඇතුළත් කිරීම තුළ පෙනී යන්නේ මෙම බල පොරය මිස අන් යමක් නොවේ.
සිරිසේනගේ අපේක්ෂාව විධායකය රැකගෙන යළි ජනාධිපති වීමයි. මහින්ද හා දීග යාමේ රහස තිබෙන්නේ එතැනය. සිරිසේන හා මහින්ද යනු එකිනෙකාට සතුරු වූවන්ය. දේශපාලනයේදී සදාකාලික මිතුරන් හෝ සතුරන් නැත. මෙහිදී සිරිසේනටත් මහින්දටත් සතුරුකමට වඩා වැදගත් බලයයි. යූඑන්පිය නැවතත් සිරිසේන ජනාධිපති කරන්නේ නැත. මහින්ද එලවා පක්ෂයේ බලය තහවුරු කර ගැනීමද කළ නොහැකි විය. ජනපතිවරණයකින් දිනන්නට තනි හැකියාවක්ද නැත. යළිත් ජනපති වන්නට නම් සිරිසේනට පාර ඇත්තේ මහින්ද හරහාය. මහින්දටද නැවත ජනපති විය නොහැක. ජනපතිවරණය ඔහුට මාරාන්තිකය. ගෝඨා ජනපති වුවහොත් නාමල් රජ වී හමාරය. එහෙයින් මෛත්‍රී හා සන්ධානගතවීම මහින්දගේ ඇඟට ගුණය. රට දැය සමය උකසට තැබූ බලමාරුවේ සැබෑ හරය එයයි.
වැරදුණු කුරුමාණම හා උන්ගේ ප්‍රජාතන්ත්‍රවාදයේ තරම
නමුත් බල පෙරළියේ තක්සේරු බිඳ වැටිණි. රනිල්ද වැඬේ අත්හැරියේ නැත. අරලියගහ මන්දිරේ සිටිමින් ඔහු සටන ආරම්භ කළේය. පාර්ලිමේන්තුව තුළ බහුතරය ඇතැයි කිව්වද මුදලට හා ඇමතිකම්වලට මන්ත්‍රීවරු ආවේ නැත. මහින්ද චීන මුදලින් මිලදී ගන්නට සිතුවද රනිල් එක්සත්
ජනපද මුදල්වලින් මන්ත්‍රීවරුන් රඳවාගැනීමට ගෙවන්නට ඇතුවාට සැක නැත. ඒ නිසා සිරිසේනගේ කුරුමාණම වැරදී ගිය අතර පාර්ලිමේන්තුව විසුරුවන්නට සිදුවිය. රනිල් අධිකරණයට ගිය අතර ජනාධිපතිගේ තීරණය අත්හිටුවීමේ නියෝගය වාසියට හිටියේය. ඒ අනුව පාර්ලිමේන්තුව නොවැ.14 කැඳවීමට සිදුවූ අතර 2015 වංක සහයෝගය යළි සන්ධානගත විය. මෙතෙක් රනිල්ට බැණ වැදුණු ජවිපේම විශ්වාසභංගය ගෙනාවේය. පාර්ලිමේන්තුව යුධ පිටියක් වූ අතර නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයේ දුර්ගන්දය රට පුරා පැතිරිණි.
මේ තුළ සිදුවූ වැදගත්ම දෙය ධනපති ප්‍රජාතන්ත්‍රවාදයේ නිරුවත හෙළිදරව් වීමයි. උන් උන්ගෙම ප්‍රජාතන්ත්‍රවාදය කෙළෙසයි. එය රකින්නට ජනතාවට අඬගසයි. මහින්දගේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන ඔහුගේ පාලන සමය තුළ වෙඩිකා මියදුණු, අතුරුදහන් වුණු, පැහැරගැණුනු හා හිරගතව දුක්විඳි සියදහස් ගණනක් මිනිසුන් දෙස් දෙනු ඇත. රනිල්ගේ ප්‍රජාතන්ත්‍රවාදයද එසේමය. එය උද්ඝෝෂණවලට කළ පහරදීම්, හිරගතකිරීම්, නඩු පැවරීම්වලින් පමණක් නොව සයිටම් සටන සමයේ සුදුවෑන් ගෙනවිත් පැහැරගැනීම සඳහා ගත් උත්සාහයන්ගෙන්ද සමන්විතය. මැතිවරණ කල්දැමීම, මර්දන අණපනත් ගෙන ඒම, දේශපාලන හිරකරුවන් නිදහස් නොකිරීම ආදියද ඊට අයත්ය. ඒ අනුව මේ කාගෙ කාගෙත් ප්‍රජාතන්ත්‍රවාදයේ තරම පැහැදිලි වෙයි.
අධිරාජ්‍යවාදි රූකඩ හා වැනසෙන ජීවිත
මේ බලපෙරළියට හා දේශපාලන අර්බුදයට ගෝලීය අධිරාජ්‍යවාදී කඳවුරු අතර ඇතිවී තිබෙන ගැටුමද බලපා ඇත. මහින්ද චීනයේ හුරතලා වන විට රනිල් යනු එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර කඳවුරේ හුරතලාය. මහින්ද ආණ්ඩුව යැපුණේ චීන ණයවලින් වන අතර ඒ සඳහා රට තුළ වරායවල්, ගුවන් තොටුපලවල් හදමින් අධිරාජ්‍යවාදී භූ දේශපාලන උවමනාවන් සඳහා ලංකාව චීන කොලනියක් කරමින් පැවතියේය. 2015 මහින්ද පැරදවීමේ සටනේදී එක්සත් ජනපදය විශාල කාර්යභාරයක් ඉටුකළ අතර ඔවුන්ට යහපාලන ආණ්ඩුව තුළින් බටහිර කඳවුරේ ආර්ථික හා දේශපාලන උවමනාවන් ඉටුකරගැනීමට හැකිවිය. දෙගොල්ලම අධිරාජ්‍යවාදී ගැත්තෝය. ඔවුන්ගේ පදයට නැටවෙන රූකඩය. රටත් ජනතාවත් ඔවුන්ගේ ආර්ථික හා බල උවමනාවන් සඳහා බිලිදී වාසි ලබන්නෝය.
බල පෙරළියේදී මේ කඳවුරු දෙකේම මැදිහත්වීම මැනවින් හෙලිදරව් විය. චීනය මුලසිටම නිහඬ සහයෝගයක් දක්වන ලද අතර බටහිර තානාපති කාර්යාල සියල්ලම පාර්ලිමේන්තුව පවා සමීපව නීරීක්ෂණය කරමින්ද, මූල්‍ය අරමුදලේ ණය වාරික අත්හිටුවමින්ද සිය බලපෑම එල්ල කළේය. එසේම මහින්දද මේ බලපෑම් හමුවේ බටහිර කඳවුර සමඟ වුව වැඩකිරීමේ කැමැත්ත පෙන්වා ඇත. ඒ අනුව මොන පාර්ශවයක් බලය තහවුරු කරගත්තද, එහි වෙනසක් නැත. රට අධිරාජ්‍යවාදයේ ගොදුරක් වීමත්, සුපුරුදු ප්‍රතිසංස්කරණ සියල්ල එලෙසම ක්‍රියාත්මක කරමින් ජනතාව කොල්ලකෑමත් පමණක් සිදුවනු ඇත.
සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය හා අරගලය
මේ නිසා ඉතාමත් මැනවින් පැහැදිලි වන්නේ පාලක පංතියේ කිසිවකුටත් ආර්ථික ප්‍රශ්න විසඳීමේ හෝ ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදය දිනාදීමේ හැකියාවක් නොමැති බවය. දිනෙන් දින රටේ ආර්ථිකය කඩා වැටෙමින් පවතින අතර එය ගෝලීය වශයෙන් ධනවාදය මුහුණ දී ඇති අර්බුදයට සාපේක්ෂය. රුපියලේ කඩාවැටීම, අයවැය හිඟය, ගෙවුම්ශේෂ අර්බුදය, ණය බර, උද්ධමනය, ඉහළ යන ජීවන බර, වැටුප් මට්ටම්වල කඩාවැටීම මේ ආදී සියල්ල දෙස බැලීමේදී පෙනී යන්නේ නව ලිබරල් ආර්ථිකය පැමිණ ඇති සීමාවය. එයට මේ අර්බුදය විසඳීමේ හැකියාවක් නොමැති අතර විසඳීමට යැයි කියමින් ඉදිරිපත්කරනු ලබන කොන්දේසි හරහාද සිදුවන්නේ තවතවත් ප්‍රශ්නය උග්‍රවීමය. ඒ නිසා තවතවත් ජනතාව මත පීඩනය පැටවීම ඇරෙන්න පාලකයන්ට විසඳුමක් නැත. ඒ නිසා ජනතාව මේ පීඩනය දරාගත නොහැකිව සටන් වදිනු ඇති අතර එකී අරගල හමුවේ පාලකයන් දොඩවන ප්‍රජාතන්ත්‍රවාදය සුපුරුදු පරිදි පුස්සක් බවට පත්වනු ඇත. ඒ නිසා කළ යුතුව ඇත්තේ පාලක පංතිය අටවන උගුල්වලට කොටු නොවී ප්‍රජාතන්ත්‍රවාදය දිනාගැනීම සඳහා සැබෑ ජනතා ව්‍යාපාරයක් ගොඩනැගීමය. ආර්ථික ජීවිතයේ ප්‍රජාතන්ත්‍රවාදය හා සමානාත්මතාවය දිනාගත හැකි සමාජයක් වෙනුවෙන් සටන් වැදීමය. ඒ හැර කිසිදු විකල්පයක් ඉතිරිව නොමැති අතර එහිදී ලිබරල් මනස්ගාතවලින් පමණක් නොව වාම වෙස්ගත් ධනපති ඒජන්තයන්ගේ රැවටිලිකාර මුහුණුවලින්ද අප ප්‍රවේසම් විය යුතුය.
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment