Friday, September 6, 2019

The Grapes of Wrath වෛරයේ මිදිඵල ජෝන් ස්ටයින්බෙක්




The Grapes of Wrath
වෛරයේ මිදිඵල
ජෝන් ස්ටයින්බෙක්


වෛරයේ මිදිඵල නමින් ශාමන් හේමකොඩි විසින් පරිවර්ථනය කර ඇති ජෝන් ස්ටයින්බෙක්ගේ The Grapes of Wrath නැමැති කෘතිය පබැඳී ඇත්තේ 1930 දශකයේ එළැඹි  මහා ආර්ථික අවපාත සමයේ දී නියඟ, දුවිලි කුණාටු, ආර්ථික අවපාතය සහ කෘෂිකමාන්තය යාන්ත්‍රීකරණය වීම හේතුවෙන් මුල්‍ය ආයතන විසින් වගාබිම් කොල්ලකනු ලැබ ඔක්ලොහෝමා පෙදෙසින් එලවා දමනු ලැබූ දුගී අඳ ගොවි පවුලක් වටායි. සිය වගා බිමින් පිටමං කෙරුණු ඔවුන් ඉඩම් රැකියා, ආහාර සොයා තවත් එවැනි ම වූ ලක්ෂ සංඛ්‍යාත ජනකායක් සමඟ බටහිර කරා ( කැලිෆෝනියාව වෙත ) සංක්‍රමණය වීම ප්‍රාන්ත රජය මෙන් ම සහෝදර පුරවැසියන් වෙතින් ද සූරා කෑමට ලක් වෙමින් එහි ඔවුන් ගත කරන ඛේදනීය ජීවිතයත් කතාවට පසුබිම් වෙයි. මහා ආර්ථික අවපාතයට වගකිවයුතු වූ කෑදර කාලකන්නි ලැජ්ජාවට පත් කිරීම තම කෘතියේ අරමුණ වූ බව මෙම කෘතිය ලියමින් ස්ටයින්බෙක් ප්‍රකාශ කළේ ය.



\The Grapes of Wrath කතාව ආරම්භ වන්නේ ඔක්ලොහෝමා පෙදෙස කරා දිවෙන ප්‍රවාහන ට්‍රක් රියක එල්ලී තම නිවස සොයා යන ටොම් ජෝඩ්ගේ ආගමනයත් සමඟ ය.මිනිසෙක් මැරීම නිසා සිරගත ව සිට යහපත් කල්ක්‍රියාව හේතුවෙන් වසර 04 කින් දඬුවම අවසන් ව නැවත තම නිවස සොයා යන ටොම් ජෝඩ්ට පෙර දී දේවගැතිවරයෙකු ව සිටි කේසී හමුවේ. ඉන්පසු ඔවුන් දෙදෙනා ම ටොම්ගේ නිවස කරා යන විට ඔවුන්ට කඩා බිඳ දමන ලද නිවෙස් පෙළ හමුවේ. ටොම් ඉන්පසු තම මව, පියා ඇතුළු පවුල සොයා ජෝන් මාමාගේ නිවස වෙත පැමිණි පසු ඔහුගේ පවුලේ උදවිය මුණ ගැසේ.ඔක්ලොහෝමා ප්‍රාන්තය අනෙකුත් පවුල් සේ ම ජෝඩ් පවුල ද අඳ ගොවියන් සේ කපු වගාවේ නිරත වී සිටිති. එක් පසෙකින් නියං හා දූලි කුණාටු හේතුවෙන් පාළු වන වගාවන් නිසා බැංකු සමාගම් වලට ඇති ණය ගෙවා ගත නොහැකි ව බැංකු විසින් ගොවීන් ව ඉඩම් වලින් පන්නන අතර අනෙක් පසින් කාර්මීකරණයට භාජනය වන කෘෂිකර්මාන්තය දැවැන්ත කැටපිලර් මඟින් ගොවි පවුල් විස්ථාපනය කිරීම ද හේතුවෙන් අඳ ගොවි පවුල් ලක්ෂ ගණනින් බටහිරට සංක්‍රමණය වන්නේ බටහිර සිට පැමිණෙන පිරිසක් විසින් වැඩ ඇති බවට බෙදා හරින ලද අත්පත්‍රිකා හේතුවෙනි. දොඩම් , පීච්, මිදි වතු ද වතු මැද පිහිටි පුංචි සුදු ගෙවල් ද සොයා ඉඩම් වලින් පන්නන ලද අඳ ගොවි පවුල් ලක්ෂ ගණනින් බටහිර බලා සංක්‍රමණය වෙති.

" බැංකු රාස්සයට හැම වෙලාවෙ ම ලාභ උවමනා වෙනවා. ඒකට අපිට වගේ බලා ඉන්න බෑ. එහෙම බලා ඉන්න ගියොත් ඒක මැරෙනවා. ඒක කරන්න බෑ. අපිට දිගට ම බදු ගෙවන්න වෙනවා. රාස්සයා වර්ධනය වෙන එක නැවතුනොත් ඌ මැරෙනවා. ඌට එක ම ප්‍රමාණයකින් පවතින්න බෑ."
"අඳ ගොවි ක්‍රමයෙන් දැන් ඵලක් නෑ. කැටපිලරෙකට නැගපු එක මිනිහෙකුට පුළුවන් ගොවි පවුල් දොළහක දාහතරක වැඩ තනියම කරන්න. අයිතිකාරයට පුලුවන් ඒ මිනිහට පඩියක් ගෙවලා සේරම අස්වැන්න ගන්න. "
එහෙත් බටහිර තත්වය එයටත් වඩා දරුණු ය. බටහිර සිදුවන දෙය නිවැරදි ව ම ඔවුන්ට වටහා ගත හැකි වන්නේ කැලිෆෝනියාවට පැමිණි පසුව ය.දොඩම්, මිදි වතු පැවතිය ද එහි අස්වනු නෙළීමට අවශ්‍ය වන්නේ මිනිසුන්  දාහක් නම් ඔවුන් මිනිසුන් පන්දහසකට අඬ ගසති. වැඩ සොයා ඇවිදින මිනිසුන් දස දහස් ගණන් එහි එති. එවිට ඔවුන්ගේ වැටුප් මට්ටම් සීඝ්‍රයෙන් පහල දමයි. පැයකට සත තිහේ සිට සත විසිපහ දක්වාත් ඉන්පසු සත විසි දෙක දක්වාත් පහත බැස අවසානයේ පාන් කැබැල්ලක් හා මස් පෙති කිහිපයකට මිනිසුන් වැඩ කරන්නට පොරකති.

" හිතන්න ඔන්න ඔයා ළඟ රස්සාවක් තියෙනවා, එතකොට ඒ රස්සාව කරන්න ඉන්නේ එක හාදයෙක් විතරයි, එතකොට මොක ද වෙන්නේ ? ඔයාගේ වැඩේ කරගන්න නම් අර මිනිහා ඉල්ලන ගාණක් ඔයාට ගෙවන්න වෙනවා, ඒ වුණාට ඔයා ගාව තියෙන එක රස්සාව කරන්න මිනිස්සු සීයක් ඉන්නවා නම් මොක ද වෙන්නේ ? හිතන්නකෝ, ඒ මිනිස්සු සීයට ම අර එක රස්සාව ඕන වෙනවා, ඒ මිනිස්සුන්ට ළමයි ඉන්නවා, එතකොට ඒ ළමයි ඉන්නේ බඩගින්නේ කියලත් හිතමුකෝ, වැඩකට නැති සත දහයකින් ඒ ළමයින්ට තලප පෙට්ටියක් ගන්න පුළුවන් ය කියලා හිතමු, එතකොට සත පහකින් ඒ ළමයින්ට ඊට අඩා අඩු දෙයක් ගන්න පුළුවන් කියලා හිතමු.එතකොට ඔයාගේ රස්සාවට පිරිමි සීයක් ඉන්නවා, ඔයා කියනවා උන්ට ගෙවන්නේ සත පහයි කියලා, මොකද වෙන්නේ, සත පහේ රස්සාවට උන් එක එකා මරාගන්න පටන් ගන්නවා, ඔයා දන්නව ද උන් මං අන්තිමට කරපු කුළී වැඩේට ගෙවුවේ කීය ද කියලා? පැයකට සත පහළොවයි, ඩොලර් එකහමාරක් හොයාගන්න පැය දහයක් වැඩ කරන්න වෙනවා. "
" අර හාදයා සත තිහට වැඩ කරනවා නම් මං සත විසිපහට වැඩ කරනවා.
එයා විසිපහට වැඩ කරනවා නම් මම විස්සට වැඩ කරනවා.
නෑ මං, මට බඩගිනියි, මං පහළොවට වැඩ කරන්නම්. මං කෑම වලට වැඩ කරන්නම්, මගේ ළමයි. ඔයා එයාල ව දකින්නයි තිබුණේ. එයාලගේ ඇඟ පුරාම සැරව ගෙඩි මතු වෙලා. එයාලට දුවන්න පනින්නවත් පණක් නෑ. මං වැඩ කරන්නම්. එයාලට කන්න හුළඟට වැටිච්ච පලතුරු දෙන්න. ඒකෙන් එයාලගේ ඇඟට පණක් ලැබෙයි. මං, මට සල්ලි එපා. මං පුංචි මස් කෑල්ලකට වැඩ කරන්නම්. "

බලන බලන තැන් සංක්‍රමණික සරණාගතයන්ගේ කඳවුරු ය.බඩවල් පිටපොත්තට ඇලී ඇති මිනිසුන් ද , මන්දපෝෂණයෙන් මියැදුණු දරුවන් ද, වැඩ සොයා පාර පුරා ඇදෙන රථ වල නැගි මිනිසුන්ද ඉදිරිපිට ඇත්තේ අක්කර දහස් ගණන් ඵලදාවෙන් බර වූ දොඩම්, මිදි, එළවළු වතුය. ඒවා මුරට තුවක්කු අතින් ගත් මිනිසුන් ඔබ මොබ යන්නේය. කෙටි කලක් යත් ම කුඩා වතු හිමියන්ගේ වතු ද මහා පරිමාණ වතු හිමියන් අතට පත් වන්නේ මහා පරිමාණ වතු හිමියන් විසින් පලතුරු ටින් කිර්‍රීමේ කර්මාන්තශාලා අරඹා ඵලදාව කුණු කොල්ලයට මිළ දී ගෙන එයින් ටින් කළ පලතුරු හා එළවලු සාදා වැඩි මිළට අළෙවි කර අධිකතර ලාභ සෙවීම හේතුවෙනි.
වැඩ සොයා තැනින් තැනට යන සංක්‍රමණික ජනයාගේ ජීවිත වල පවතින අර්බුධයත්, ශ්‍රම සූරා කෑම හරහා ලාභ කඳු ගොඩ ගසන ධනපතියන්ගේ අක්කර මිලියන ගණන් වූ වතු වල ඵලදාව අධි සැපයුම හේතුවෙන් වෙළඳපල මිළ ගණන් පහත බහින නිසා බඩගිනිකාර සංක්‍රමණික ජනයාගේ ඇස් ඉදිරිපිටම භූමිතෙල් ගසා විනාශ කරන කෲරතර ධනේෂවර යාන්ත්‍රණය The Grapes of Wrath හරහා ස්ටයින්බෙක් විසින් නිරුවත් කරයි.
"ඉහළ මිළක් රඳවා ගැනීම සඳහා මිදි සහ පලතුරු අස්වැන්න අනිවාර්යෙන්ම විනාශ කළ යුතු විය. එය මේ සියල්ල අතරින් වඩාත් ම ශෝකජනක හා කුරිරුම කරුණ විය. වාහනවල පටවාගෙන යන දොඩම් තොග පිටින් කුණු ගොඩවලට විසිකර දමන ලදි. මිනිසුන් සැතපුම් ගණන් දුර සිට මේ පලතුරු රැගෙන යාමට පැමිණි නමුත් එය කළ නොහැක්කක් විය. ඔවුන්ට ඒවා නිකම් රැගෙන යන්නට ඉඩ දෙන්නේ නම් ඔවුන් දොඩම් දුසිමක් සත විස්ස බැගින් ගෙවා මිළදී ගන්නේ කෙසේ ද ? එබැවින් හෝස් පයිප්ප අතින් ගත් මිනිසුන් දොඩම් ගොඩවල් මතට භූමිතෙල් විදින අතර මෙම අපරාධය පිළිබඳව ඔවුහු කෝප වූහ. පලතුරු රැගෙන යාමට පැමිණි මිනිසුන් කෙරෙහි ඔවුන් කෝප විය. මේ පලතුරු අත්‍යවශ්‍ය වූ මිනිසුන් මිලියන ගණනක් හාමතින් පෙළෙද්දී රන්වන් පැහැති දොඩම් කඳු මත භූමිතෙල් වැගිරිණි.
මුළු රටම කුණු ඟඳින් පිරිණි.
නැව් වලට ඉන්ධන ලෙස ගල් අඟුරු වෙනුවට කෝපි පුච්චන්න. උණුසුම සඳහා දර වෙනුවට තිරිඟු පුච්චන්න. එයින් උණුසුම් ගින්නක් ඇවිලේ. අර්තාපල් ඟංඟාවලට විසි කොට බඩගිනිකාර මිනිසුන් ඒවා අහුලාගැනීමෙන් වළකන්නට ඟං ඉවුරු දෙපස ආරක්ෂකයන් රඳවන්න. ඌරන් මරා උන් වළලන්න. උන්ගේ සාරය පොළොවට උරන්නට ඉඩ හරින්න.
නිර්ධනයින්ගේ ශ්‍රමය කේවල් කිරීම වළකනු වස් මහා පරිමාණ වතු හිමියන් විසින් සංක්‍රමණිකයන්ගේ සංවිධානය වීම වැලැක්වීම සඳහා පොලීසියත්, මැරයිනුත් සන්නද්ධ කොට යොදවනු ලබයි. එලෙසම වතු හිමියන්ගේ සංගම් විසින් ශ්‍රමයට ගෙවිය යුතු මිළ තීරණය කරන අතර එයට එරෙහිව යන කුඩා හෝ මධ්‍ය පරිමාණ වත් හිමියන් වෙතොත් ණය දීම වළකා ඔහුව බංකොළොත් වන්නට ඉඩ හරියි. පොලිස්කාරයින් හා මැරයන් විසින් සංක්‍රමණික කඳවුරු ගිනි ලෑමත්, ඔවුන්ව සිරගත කිරීමත්, තාඩන පීඩන එල්ල කිරීමත් පුරුද්දක් වශයෙන් සිදු කරයි. අර්බුධයට පත් සංක්‍රමණික ජනයාගේ ජීවිත වල පතුලටම කිඳා බැසි ස්ටයින්බෙක් ඔවුන්ගේ ජීවිත අස්සයන්ගේ ජීවිත තරම්වත් නොසළකන බව පෙන්වන්නේ වැඩ කරන සෘතුව අවසන් වූ පසු ඊළඟ වැඩ කරන සෘතුව එළැඹෙන තුරු අස්සයන්ට ආහාර ලබා දෙන නමුත් ශ්‍රමය වගුරුවන ජනතාව ශීත සමයේදී බඩගින්නේ පාරවල් අද්දර මියයන බව පෙන්වා දෙමිනි.
"වසන්ත කාලේ එනකං කිසිම කුලී වැඩක් නෑ. මොනම වැඩක්වත් නෑ.
කුලී වැඩ නැත්තං සල්ලිත් නෑ. කෑමත් නෑ.
හාන්ඩයි, වගා කරන්ඩයි, තණකොළ කපන්නයි, අස්ස ජෝඩුවක් පාවිච්චි කරන මිනිහෙක් වැඩ නැති කාලෙට උන්ව හාමතේ මැරෙන්ඩ එළවලා දාන්නෙ නෑ.
උන් අස්සයො. අපි මිනිස්සු."
බටහිරට යන දීර්ග ගමන වෙත එක් වූ ජෝඩ් පවුලේ පියා, මව, ජෝන් මාමා, රුතී, වින්ෆ්‍රීල්ඩ්, රොසාෂාන්, කොනී, නෝවා, ඇල්, සීයා හා ආච්චි, ටොම් ජෝඩ් හා කේසි දේවගැතිවරයා ඇතුළු දාහතරක පිරිස ගමන අවසාන වන විට පවුලේ ඉතිරි වන්නේ මවත් පියාත් රුතී හා වින්ෆ්‍රීල්ඩ් ද දෙදෙනාත්, රොසාෂානුත් ඇතුළු කිහිප දෙනා පමණි.
කතාවෙහි අවරභාගයේදී රිදී රේඛාවක සේයාවකට ඉඩ තබා යන ස්ටයින්බෙක් සංක්‍රමණික ජනයා කරුණු පහදා ගන්නා අයුරුත්, තනි තනිව ආහාර සොයා, වැඩ සොයා ඇවිදි ජනයා සියළු දෙනා වෙනුවෙන්, ජීවත්වීම වෙනුවෙන්, නොදන්නා අනෙකාගේ ජීවිත බේරා ගැනීම වෙනුවෙන් අවසාන මොහොත දක්වා තමන් සතු සියළු දේ ම කැපකරනා අයුරු පෙන්වමින් කතාව අවසන් කරයි.
ස්ටයින්බෙක්ගේ The Grapes of Wrath දුහුවිලි බඳුන් (Dust Bowl) මහා අවපාත සමයේ ඇමරිකාව  තුළ සිටි සංක්‍රමණික ජනයාගේ ජීවිත පිළිබඳ අතිවිශිෂ්ඨ කැඩපතක් විය. නවකතාව පළ වූ සමයේ ඇමරිකාව තුළ එය උන්මාදයකට බඳුන් වූ අතර විවේචන නොකඩවා ගලා එන්නට විය. සමස්ථයක් ලෙස නවකතාව මිශ්‍ර විමර්ශනයන්ට භාජනය විය. දක්ෂිණාංශික හා කාර්මික ධනපතියන් නවකතාව ආයුධ සන්නද්ධ විප්ලවයක් උදෙසා වූ කැඳවීමක් ලෙස හංවඩු ගැසුවෝය. නවකතාව විසින් සමාජය තුළ කැළඹිලිකාර තත්වයක් හා බටහිර තවදුරටත් නොසන්සුන්වන තත්වයක් උද්ගත වීමට හේතු වෙතැයි ඔවුන් බිය විය. 1939 නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ ජැක් මුන්රෝ ස්ටයින්බෙක්ගේ 'විප්ලවීය' නවකතා හා හෙම්ංග්වේ හා ෆෝක්නර් අතර ඇති සමානකම් දක්වමින් ලිපියක් පළ කළේය. ජැක් විසින් නවකතාව 'අතිවිශිෂ්ඨ' හා 'වෛරී' බව ලිව්වේය. එය යම් අතිශයෝක්තියක් විය හැකියි. එහෙත් එය අවංක හා කදිම නවකතාකරුවකුගේ අතිශයෝක්තියක් බව ඔහු ලිව්වේය. තවද කැලිෆෝනියානුවන් මෙයට කැමති නොවන බවද ඔහු විසින් ලියන ලදි. එලෙසම සමහර තැන්වල නවකතාව ගිනි තැබීම ද තහනම් කිරීම ද අතොරක් නැතිව සිදු විය.

කෙසේ නමුත් ස්ටයින්බෙක්ගේ The Grapes of Wrath කෘතිය විසින් ඇමරිකාව තුළ වර්ධනය  වෙමින් පැවති ධනේෂ්වර ක්‍රමය කොටසින් කොටස නිරුවත් කරන ලදි. ඉඩම්, මහා පරිමාණ බැංකු හා මූල්‍ය සමාගම් විසින් අල්ලා ගන්නා ලද ආකරයත්, ඉන්පසු යන්ත්‍ර සූත්‍ර පැමිණීමෙන් ගොවීන්ගේ වැඩ පහසු වී කාලය ඉතිරි වනවා වෙනුවට ඔවුන් ඉඩම් හා රැකියා අහිමි අනාතයන් බවට පත්වන අයුරුත් ඉන්පසු වතුවල වැටුපට වැඩ කරන්නට සිදුවන වහල් කම්කරු පංතියක් බවට පත්වන ආකාරයත් පෙන්වා දී තිබේ. මහපොළොව හා සොබාදහම සමඟ බද්ධව කෘෂිකර්මාන්තයේ නියැලි ගොවීන් ඉඩම් වලින් පැන්නූ පසු එහි වගා කරන්නට පැමිණෙන මූල්‍ය සමාගම් වල යන්ත්‍ර සූත්‍ර මඟින් පොළොවත් මිනිසත් අතර පවතින ඓන්ද්‍රිය බද්ධතාවය අවසන් කර වැඩකරන ජනතාව පරත්වාරෝපනයට ලක්වන ආකාරයත් නවකතාව මඟින් විස්තර කෙරේ. තම සහෝදර ජනයාගේ ජීවිත පිළිබඳ අබමල් රේණුවකවත් තැකීමකින් තොරව ඩොලර් තුනක් වෙනුවෙන් තමන්ගේම සහෝදර ජනතාවගේ ගෙවල් කුඩුපට්ටම් කර මිනිසුන්ව පලවා හැරිය හැකි නරුමයකු බිහිකරන ධනේෂ්වර ක්‍රමයේ සමාගම් වනාහි අධිපතින් බවත්, පෙර පැවති සමාජ ක්‍රමවල මෙන් පාලකයන් මරා සමාගම් නැවතිය නොහැකි බවත් විස්තර කරයි. මූල්‍ය ධනවාදය නම් ඇත්තෙන්ම ලේ උරා බොන භූතයෙක් බව වූ ලෙනින්ගේ පාඨය සපථ කරයි. රැකියා අහිමි සංක්‍රමණික ජනතාවක් බවට පත්වන ඔක්ලහෝමාවෙහි අඳ ගොවීන් හෙවත් 'ඔකියන්' ලක්ෂ ගණනින් බටහිරට වැඩ සොයා සංක්‍රමණය වීමෙන් පසුව මහා පරිමාණ වතු හිමියන් විසින් නිර්ලජ්ජිත ලෙස කෙරෙන ශ්‍රම සූරා කෑමත්, නිර්ධනයාට ශ්‍රමය කේවල් කිරීමේ හැකියාව ඉවතලනු පිණිස සැමවිටම ශ්‍රම සැපයුමේ අතිරික්තයක් පවත්වාගෙන යන ආකාරයත් විස්තර කෙරෙන නවකතාව එකී අතිරික්ත ශ්‍රම සැපයුම හේතුවෙන් තුට්ටු දෙකට ශ්‍රමය කොල්ලකන ඉඩම් හිමි ධනපතියන් විසින් රැකියා හා ඉඩම් අහිමි සංක්‍රමණික ජනතාව සංවිධානය වීම වළක්වනු වස් පොලීසිය, මැරයන්, කඳුළු ගෑස් උණ්ඩ, තුවක්කු හා ඔත්තුකරුවන් වෙනුවෙන් අත දිග හැර වියදම් කරන බව පෙන්වා දෙන්නේ වැඩ කරන ජනතාවගේ වැටුප් වල අමතර සතයක් සඳහා කිසිඳු විටෙක එවැනි පෙළඹුමක් ඇති නොවන බවත් වැඩි වැටුප් ඉල්ලන හෝ වැඩි වැටුප් ගෙවිය නොහැක්කේ ඇයිදැයි විමසන ඕනෑම අයෙක් 'රත්තෙක්' යැයි සළකා මුහුණ පොඩිවෙන්න පහර දී එළවිය යුතු යැයි බවට වූ දෘෂ්ටිවාදයක් කැලිෆෝනියානු සාමාන්‍ය ජනතාව අතරද ප්‍රචලිත කිරීමෙනි. 

ඉල්ලුම් සැපයුම් බලවේග වල හැසිරීම අනුව අදෘෂ්‍යමාන හස්තයකින් වෙළඳපලේ භාණ්ඩ හා සේවා සඳහා මිළ නියම වන බව ඇඩම් ස්මිත් වෙළඳපළ ක්‍රමය සඳහන් කරමින් විස්තර කරනු ලැබුවද තවදුරටත් එය එසේ නොවන බව ස්ටයින්බෙක් තර්ක කරයි. ඵලදාව සඳහා වෙළඳපල මිළ පහත නොවැටෙනු වස් පලතුරු වෙළඳපලට සපයනවා වෙනුවට බඩගින්නේ පසුවන මිනිසුන්ට, ගැහැණුන්ට හා දරුවන්ට අඩු මිළට හෝ ලබාදෙනවා වෙනුවට ඵලදාව විනාශ කරන ආකාරය පෙන්වා දෙන්නේ වර්තමානයේදී ඇමරිකාව තුළ වසරකට තිරිඟු අස්වැන්නෙන් මෙට්‍රික් ටොන් ලක්ෂ ගණනක් මුහුදුබත් කරන සත්‍යය සිහිගන්වමිනි. එමනිසා වෙළඳපල මිළ යනු තවදුරටත් ඉල්ලුම් සැපයුම් බලවේග වල හැසිරීම නොවන බවත් එය හුදෙක්ම ධනපතියන්ගේ කැමැත්ත බවත් ස්ටයින්බෙක් විසින් පහදා දෙයි. සාධක වෙළඳපල තුළද ශ්‍රමය සඳහා මිළ නියම වන්නේ ශ්‍රම සාධක ඉල්ලුම හා සැපයුම අනුව නොව හුදෙක්ම ධනපති ඉඩම් හිමියන්ගේ සංගම් මඟින් ශ්‍රමය සඳහා තීරණය කරනු ලබන මිළ ගණන් අනුව බව හොඳින්ම පැහැදිලි කෙරෙන්නේ කුඩා හා මධ්‍ය පරිමාණ වතු හිමියන් වැඩි මිළක් ශ්‍රමය සඳහා ගෙවීමට කැමති වුවද මහා පරිමාණ ඉඩම් හිමියන් විසින් බලහත්කාරයෙන් ශ්‍රමයේ මිළ පාලනය කිරීම හේතුවෙනි. මේ අනුව නිදහස් වෙළඳපල තරඟකාරිත්වයක් යනු තවදුරටත් යථාර්තය නොවන බවත් එය හුදෙක්ම කතිපයාධිකාරි වෙළඳපල තත්වයක් තුළ ඉඩම් හිමි ධනපතියන් කිහිපදෙනෙකුගේ අභිමතය බවත් ස්ටයින්බෙක් පෙන්වා දෙයි. තවද කේසි දේවගැතිවරයාගේ චරිතය හරහා ආගමික සංස්ථාවන් විසින් ශ්‍රම සූරාකන ධනපතියාව ආරක්ෂා කරන ආගමික සංස්ථාපිතයන්ගේ නිරුවත හෙළි කරයි. ආගමික මුලාවන්ගේ යථාර්තය වටහා ගන්නා කේසි දේවගැතිවරයා එය වාස්තවික ලෝකයේ තත්වයන්ට අනුරූප කොට දක්වයි. අවසානයේ මහා රාස්සයෙකු බඳු වූ ධනපති ක්‍රමය ඉදිරිපිට නිර්ධනයාට ඇති එක ම මාවත නම් සහෝදරත්වය හා සංවිධානය වීම බව ස්ටයින්බෙක් The Grapes of Wrath හරහා යෝජනා කරයි.
"ගල් අඟුරු මෙන් කළු පැහැති වූ වැල් ගුහාව තුළ ඔවුන් දෙදෙනා නිහඬව වාඩි වී සිටියෝය.
'මං කොහොමද ඔයා ගැන තොරතුරු දැනගන්නේ ? උන් ඔයාව මැරුවත් මං දැනගන්න එකක් නෑ. උන් ඔයාට කරදර කරොත් ? කොහොමද මං ඒක දැනගන්නේ ?'
ටොම් අසීරුවෙන් සිනාසිණි. 'හරියට අර කේසි කියන්න වගේ කිසිම කෙනෙකුට තමන්ගෙ කියලා ආත්මයක් නෑ. හැමෝම ළඟ තියෙන්නෙ ලොකු ආත්මෙක කොටසක්. ඉතින් ඒ නිසා-'
'ඉතිං ඒ නිසා මොකක්ද ටොම් ?'
'ඒ නිසා ඒකෙ ප්‍රශ්නයක් නෑ. ඊටපස්සෙ මං අන්ධකාරෙ හැමතැනම ඉඳි. ඔයා බලන බලන හෑමතැනකම මං ඉඳියි. ඕනම කාලෙක හාමත් වුනු මිනිස්සුන්ට කෑම ලැබෙන සටනක් ඇතිවෙන ඕනම තැනක මං ඉඳියි. පොලිස්කාරයෙක් මිනිහෙකුට තලන්නේ කොහෙද එතන මං ඉඳියි...'

0 comments:

Post a Comment