Saturday, January 15, 2022

ඩොලර් හිඟයෙ බිල්ල මෙන්න පොදු දේපල සේල් ඔන්න


ඩොලර් හිඟයෙ බිල්ල මෙන්න

පොදු දේපල සේල් ඔන්න

ජනතාව විසින් තමන් පාලනය කිරීමට පාලන තන්ත්‍රයක් වසර පහකට වරක් පත් කර ගනී. වර්තමානයේ මැතිවරණ හරහා සිදුකරනු ලබන්නේ එම පාලන තන්ත්‍රය සකසා ගැනීමයි. මැතිවරණ පවත්වන නිසා ප්‍රජාතන්ත්‍රවාදය තිබෙන බවත් ජනතා පරමාධිපත්‍ය බලාත්මක බවත් පොත්වල ලියා ඇති බව අප දනිමු. මිනිසා යනු සමාජීය සත්වයෙකි. ඔහුගේ ජීවන විලාසය මෙන්ම ජීවන අවශ්‍යතා ද ගොඩනැගී ඇත්තේ සමාජය (අනෙකුත් මිනිස් ප්‍රජාවන්) සමඟ බද්ධ වීමෙනි. හුදකලා තනි මිනිහෙකුට තම ජීවන අවශ්‍යතා තනිව සම්පූර්ණ කරගත නොහැක. එකිනෙකාගේ අවශ්‍යතාවයන් අන්තර් සම්බන්ධිත වන අතර හුවමාරු භාණ්ඩය බිහි වන්නේ එම නිසාය. එවිට සමාජය විධිමත්ව මෙහෙයවන ක්‍රමවේදයක් ඓතිහාසිකව අවශ්‍ය වුණි. ඉතිහාසය තුළ ඝන ගෝත්‍ර ආකෘති තුළත් පසුව පුද්ගලික දේපල බිහිවීම නිසා රාජ්‍ය බිහිවීම තුළත් සමාජ පාලිත ආකෘති බිහිවිය. වර්තමානය තුළ බොහෝ රටවල නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී ආකෘතිය ලෙස රාජ්‍ය ක්‍රියාත්මක වේ. මැතිවරණ ආකෘතිය තුළ ජනතාව සිදු කරන්නේ තම පාලනය වසර 5කට නියෝජිත පිරිසකට ලබා දීමයි. ඉන්පසුව දේශපාලනයෙන් විතැන් වී පත්කරපු නියෝජිතයින්ට දෙස් දෙවොල් තබමින් සිටීමයි. මන්ද ජනතාව කවර පුද්ගලයන් පිරිසක් පත් කර යැව්වද ඔවුන්ට ජනතාවගේ සැබෑ ආර්ථික, සමාජයීය සහ දේශපාලන අවශ්‍යතා ඉෂ්ඨ කිරීමට ඔවුන් අසමත් වීමයි. එනම් අප තේරුම් ගත යුතු සත්‍යය අප පත් කරන මිනිසුන්ගේ ගැටළුවකට එහා ගිය අප භාවිතා කරන පාලන ක්‍රමවේදයේ ව්‍යුහාත්මක ගැටලුවක් ඇති බවයි. එම ව්‍යුහාත්මක අර්බුදය නිසා අප අද බරපතළ ආර්ථික අර්බුදයකට සමාජයක් ලෙස තල්ලු වී ඇත. 

අප මුහුණ දී ඇති ආර්ථික අර්බුදය තුළ වඩාත්ම සාකච්ඡාවට බඳුන් ව ඇත්තේ විදේශ විනිමය අර්බුදයයි. අපට ලෝකය සමග ගනුදෙනු කිරීමට මුදල් ඒකකයක් ලෙස රුපියල් භාවිතා කළ නොහැක. ඒ සඳහා ජාත්‍යන්තර පිළිගත් මුදල් ඒකකයක් ලෙස අප භාවිතා කරන්නේ එක්සත් ජනපද ඩොලරයයි. ජාත්‍යන්තර වෙළෙඳපොළ 


සමග ගනුදෙනු කිරීමේදී අප විදෙස් සංචිතයක් නඩත්තු කළ යුතු අතර අප විදෙස් සංචිතය හීන වී යාම නිසා මේ වන විට ආනයන සීමා පැනවීමටත්, ණය ගෙවා ගැනීමට නොහැකි වීමේ අර්බුදයකට මුහුණ දීමටත් ආණ්ඩුවට සිදුව ඇත. වත්මන් ආණ්ඩුව බලයට පැමිණෙන විට විදෙස් සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 8ක් පමණ තිබූ අතර මේ වන විට එය ඩොලර් බිලියන 1.5 දක්වා හීන වී ඇත. කොවිඩ් වසංගතය නිසා ආනයන අපනයන ආදායම අඩුවීම, සංචාරක ව්‍යාපාරයෙන් ලැබෙන ආදායම අඩුවීම, විදේශ ප්‍රේෂණ අඩුවීම ඒ සඳහා මූලික වශයෙන් බලපා ඇත. එසේම එක්තරා පැලැන්තියකගේ අධි පරිභෝජනය සහ සංචිත කලමනාකරණයේ දුර්වලතාවය ද විදෙස් සංචිත හීන වීම සඳහා බලපා ඇති බව පැවසේ.

විදෙස් සංචිතය ගොඩ නැංවීම සඳහා ද දායක වන්නේ මෙරට පහළ පංතික ජනතාවයි. මෙරට විදෙස් සංචිත ගොඩනැගීම සඳහා විදෙස්ගත ලාංකික ශ්‍රමිකයන් ඩොලර් බිලියන 7ක් පමණ ද සංචාරක කර්මාන්තයෙන් ඩොලර් බිලියන 5ක් පමණ ද  දායක කරයි. අනෙක්වා අපනයන ආදායමෙනි. සංචාරක කර්මාන්තයේ ආදායම මුළුමනින්ම ඇනහිටීමත් විදෙස් ප්‍රේෂණ ඩොලර් බිලියන 3 දක්වා පහත වැටීමත් අප විදෙස් සංචිත මුහුණ දී ඇති අර්බුදයයි. විවෘත ආර්ථිකය ක්‍රියාත්මක වූ වසර 43ක් ඉතිහාසය තුළ අප ශක්තිමත් විදෙස් සංචිතයක් ගොඩනගා ගැනීමට හෝ අසමත්ව ඇත. විදෙස් සංචිත ගොඩනැංවීම සඳහා ද අප සිදු කර ඇත්තේ ණය ගැනීමයි. එම නිසා වාර්ෂිකව ඩොලර් බිලියන 4ක් පමණ ණය වාරික සහ පොලියක් අපට ගෙවීමට සිදුව ඇත. අපගේ ආනයන සහ අපනයන පරතරය ද ද ඩොලර් බිලියන දහයක් පමණ වේ. එවිට අප 2022 වසර තුළ ඩොලර් බිලියන දාහතරක් සොයා ගත යුතුය. අප මුහුණ දී ඇති ආර්ථික අර්බුදය තුළ එය ඉතා බරපතළ තත්ත්වයකි. නව ලිබරල් ආර්ථිකය සියදිවි නසා ගැනීමකට යමින් තිබෙන බව මෙම තත්ත්වයන් තුළ තත්ත්වයන් තුළ පැහැදිලි ය. 

ලංකාවේ සිවු දෙනෙක් ගෙන් යුත් පවුලක් සාමාන්‍යයෙන් මාසිකව රුපියල් රු 55,000 ක භාණ්ඩ හා සේවා පරිභෝජනය කරයි. එය 2022 දී එම අගය රුපියල් 60,000 ක් පමණ වේ යැයි උපකල්පනය කළ විට වාර්ෂිකව පවුලක් වැය කරන මුදල ඩොලර්වලින් ගණනය කළ විට 3600 කි. ලංකාවේ පවුල් ලක්ෂ 60ක් සිටින බව සැලකූ විට පාරිභෝජනය කරන මුළු අගය ඩොලර් බිලියන 20කි. නමුත් ලංකාවේ ජාතික නිෂ්පාදනය නිරීක්ෂණය කිරීමේදී ඩොලර් බිලියන 60ක් පමණ පරිභෝජනයට වැය වේ. එනම් ඩොලර් බිලියන 40ක් පමණ සුවිශාල ප්‍රමාණයක් අධිපරිභෝජනය කරන සුළු කොට්ඨාසයක් මෙරට තුළ සිටි. එහි කියැවෙන කරුණු වන්නේ සාමාන්‍ය මිනිස්සු නොවන දේශපාලන - ආර්ථික බල ව්‍යූහ ගොඩනඟාගෙන ඇති සුළු පිරිසක් විසින් සිදු කරන අධි පරිභෝජනය තුළ මෙරට සාමාන්‍ය ජනයාගේ ජීවන තත්ත්වය කඩා වැටී ඇති බව නොවේද? නව ලිබරල් ධනවාදී ආර්ථිකය තුළ යථාර්තය වී ඇත්තේ එයයි.

ජාතික නිෂ්පාදනය දෙස බැලීමේදී ඩොලර් බිලියන 60 ක පරිභෝජනයක් පෙන්නුම් කළ ද යථාර්ථය නම් මෙරට ජනතාව ජීවත්වන්නේ කමින් නොව ලෙවකමින් බවයි. මන්ද මේ වන විට සහල් කිලෝව රුපියල් එකසිය පනහේ සීමාව ඉක්මවා ඇත. එළවළු කිලෝවක් රුපියල් 700/800 සීමාව ඉක්මවා ඇත. කිරිපිටි, ගෑස් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ ඉතා වේගයෙන් මිල ඉහළ යමින් ඇත. ජනතාව දැන් එළවළු කිලෝ ගණන් මිලදී ගන්නේ නැත. ඕනෑම භාණ්ඩයක ග්රෑම් 250 ජනප්‍රිය ප්‍රමාණය බවට පත්වී ඇත. විදේශ විනිම අර්බුදය තුළ ගල් අඟුරු සහ බොරතෙල් ගෙන්වීමේ අර්බුදයකට ආණ්ඩුව මුහුණ දී ඇත. එම නිසා ඉන්ධන බලාධිකාරිය මුළුමනින්ම අයි.ඕ.සී සමාගමට නතුවීමට ඉඩ තිබේ. ගල් අඟුරු ගෙන්වීමේ ටෙන්ඩර් සඳහා කිසිවෙකු ඉදිරිපත් නොවීම නිසා නොරොච්චෝලේ බලාගාරය ඉදිරි මාස කිහිපය තුළ වැසී යාමේ අවදානමක් ඇත. එවිට මෙරට ජනතාවට පැය ගණන් කළුවරේ සිටීමට සිදුවනු ඇත. ගෑස් පෝලිම්, තෙල් පෝලිම්, කිරිපිටි පෝලිම්, ඖෂධ පෝලිම් ඉදිරියේදී සුලබ වනු ඇති බවට ඇතැම් ආර්ථික විද්‍යාඥයින් අනතුරු අඟවා ඇත. එනම් ඉදිරි වසර යනු මෙරට ජනතාවට තම පණ කෙන්ද රැකගැනීමට විශාල උත්සාහයක් දැරීමට සිදුවන වසරක් වනු ඇත.


රට මුහුණ දී ඇති ආර්ථික අර්බුදයට මුහුණ දීම සඳහා ආණ්ඩුව ගනිමින් ඇති ක්‍රියාමාර්ග තවදුරටත් ආර්ථිකය අර්බුදයට ගෙන යාමට හේතු වේ. නව ලිබරල් ආර්ථික වැඩපිළිවෙළට මෙම ආර්ථික අර්බුදයට විසඳුම් ගෙන ඒම සඳහා උපායමාර්ගික දැක්මක් නොමැති බව තහවුරු කිරීමට එය ප්‍රමාණවත්ය. ආණ්ඩුව යෝජනා කරන විසඳුම් තුළ ප්‍රධාන යෝජනාවක් වී ඇත්තේ මුදල් මුද්‍රණය කිරීමයි. ආර්ථික අර්බුදයකට මුහුණ දීමේදී මුදල් මුද්‍රණය කිරීම සාමාන්‍ය තත්වයක් වුවද වර්තමාන ආණ්ඩුව සිදු කරන අසීමිත මුදල් මුද්‍රණය නිසා උද්දමනය සීඝ්‍රයෙන් ඉහළ යමින් ඇත. එසේම මුදල් මුද්‍රණය තාවකාලික පැලැස්තර විසඳුමක් පමණි. එමගින් සිදුවන්නේ ආර්ථිකය තවදුරටත් අර්බුදයට යාම පමණි. 

ආණ්ඩුව යෝජනා කරන තවත් කාරණයක් වන්නේ තවත් ණය ගැනීමයි. නව ලිබරල් ධනවාදය තුළ අසරණව ඇති පාලකයින් තවත් ණය ගැනීම විසඳුමක් ලෙස යෝජනා කිරීමම ධනවාදී මුහුණ දී ඇති අර්බුදයේ ස්වභාවය පැහැදිලි කරයි. ණය ගැනීම හරහා සිදුවන්නේ තවදුරටත් දුරටත් ණය උගුලේ හිර වීම පමණි. නමුත් විකල්ප වැඩපිළිවෙළක් නොමැති පාලකයින්ට ගැනීමට වෙනත් තීරණයක්ද නොමැත. එම නිසා ආණ්ඩුවේ යම් පිරිසක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාමට එරෙහි වුවද එම තීරණය ක්‍රියාත්මක කිරීමට වැඩි කලක් ගනු නොලබනූ ඇත. එවිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසිවලට යටත්වීමට සිදු වේ. මූල්‍ය අරමුදලේ ණය කොන්දේසි අප හොඳින් දනී. රාජ්‍ය ආයතන විකිණීම, විශ්‍රාම වැටුප් කප්පාදුව, රාජ්‍ය සේවය පුළුල් නොකිරීම, අධ්‍යාපනය සෞඛ්‍ය ඇතුළු සමාජ සුබසාධන පෞද්ගලීකරණය ඇතුළු කොන්දේසි ගණනාවක් ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුවට සිදුවනු ඇත.

කෙසේ නමුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාමටත් පෙරාතුවම මෙරට රාජ්‍ය ව්‍යවසායන් ඇතුළු රාජ්‍ය දේපල ඉඩම් බොහොමයක් විදේශීය සමාගම්වලට කුණු කොල්ලයට විකුණමින් ඇත. විදෙස් සංචිත සොයාගැනීම සඳහා ආණ්ඩුව තීරණය කර ඇති ඊළඟ විසඳුම වී ඇත්තේ මෙම රාජ්‍ය දේපල විකුණා දැමීමයි. බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා මම අය වැය අවසාන කතාව තුළ සඳහන් කරන ලද්දේ ද රාජ්‍ය ව්‍යවසායන් 300ක් පමණ වාණිජකරණය කිරීම අවශ්‍ය බවයි. ඒවා ආර්ථිකයට බරක් බව පැවැසූ මුදල් අමාත්‍යවරයා බහු ආංශික උපදේශන කමිටුවක් හරහා එම රාජ්‍ය ව්‍යවසායන් සඳහා මූලෝපායික ඉදිරි මාවතක් සකස් කරන බව පැවසීය. ඒ අන් කවරක්වත් නොව රාජ්‍ය ආයතන සියල්ල පෞද්ගලීකරණය සඳහා සැලසුම් සකස් කරන බවයි.

පවතින ධනේශ්වර පාලන තන්ත්‍රයට ආර්ථිකය අර්බුදය විසඳීම සඳහා පෙනෙන මානයන් සියල්ල මිරිඟුවක්  වැනිය. එම විසඳුම් සොයා යන ආණ්ඩුවට සිදුවන්නේ තව තවත් හෙම්බත් වීමටයි. සත්‍ය වශයෙන්ම මෙම ආර්ථික අර්බුදයේ මූලය අප සොයා ගත යුතුය. ඒකාධිකාර සමාගම් මත පදනම් වූ ජනතාව සූරා කන ආර්ථිකයක මීට වැඩි යමක් ජනතාවට බලාපොරොත්තු විය නොහැක. මේ තරම් ආර්ථික අර්බුදයකට රට මුහුණ දී තිබුණද මෙරට මහා පරිමාණ සමාගම් තම ලාභය බිලියන ගණනින් වැඩිකර ගනිමින් ඇත. එනම් ආර්ථික අර්බුදයට මුහුණ දී ඇත්තේ මෙරට සාමාන්‍ය පන්තියේ ජනතාව වන අතර ධනේශ්වර පන්තියට එම ආර්ථික අර්බුදය එතරම් අදාළ වී නැත.

2022 අයවැය විමර්ශනය කිරීමේ දී පවා දක්නට ලැබුණු නිරීක්ෂණ වන්නේ මෙරට සමස්ත ජාතික නිෂ්පාදනයෙන් 87% පමණ ම රඳා පවතින්නේ බදු මත බවයි. එසේම එම බදු ආදායමෙන් සියයට 75%ක් පමණ ම දරන්නේ මෙරට සාමාන්‍ය ජනතාවයි. එනම් භාණ්ඩ ආනයන සහ ණය පොලී වාරික ගෙවීම් සඳහා මුදල් හොයනු ලබන්නේ මෙරට පහළ පංතික ජනතාවයි. එසේම මෙම නව ලිබරල් ආර්ථිකය තුළ මෙරට සිටින බිලියනපතියන් නඩත්තු කරන්නේ ද මෙරට සාමාන්‍ය ජනතාවයි. මෙරට බිලියනපතියන්ට අති විශාල ප්‍රාග්ධනයක් ගොඩගසා දෙන්නේ ද මෙරට සාමාන්‍ය ජනතාවයි. මෙරට දූෂිත, අකාර්යක්ෂම දේශපාලන යාන්ත්‍රණය ද නඩත්තු කරනු ලබන්නේ මෙරට සාමාන්‍ය ජනතාවයි. සාමාන්‍ය තත්ත්වයකදී මෙම ක්‍රියාවලිය පවත්වාගෙන ගියද මෙවැනි වසංගත තත්ත්වයක් තුළ මෙරට ජනතාවට බිලියනපතියන්ට ප්‍රාග්ධනය ගොඩගසා දීමටත්, විනාශකාරී

දේශපාලන යාන්ත්‍රණය නඩත්තු කිරීමටත්, භාණ්ඩ ආනයනය කිරීමටත් සහ ණය පොලී වාරික ගෙවීමටත් යන සියල්ලටම ශ්‍රමය වැගිරීමට නොහැකි වී ඇත. එම නිසා දැන් ගොඩනැගිය යුත්තේ ධනපතීන්ට ප්‍රාග්ධනය ගොඩගසා නොදෙන ආර්ථිකයකි. බිලියන ගණනින් ජනතා මුදල් ගසා කන දූෂිත අකාර්යක්ෂම දේශපාලන යාන්ත්‍රණයක් නඩත්තු නොකල යුතු ආර්ථික ක්‍රමවේදයක් ගොඩ නැගිය යුතුය. ණයට නොකන ආනයනය කළ යුතු අත්‍යවශ්‍ය භාණ්ඩ පමණක් ආනයනය කරන මහා පරිමාණ නිෂ්පාදන පෙරළියක් සහිත ආර්ථිකයක් ගොඩනැගිය යුතුය. එයට ප්‍රවේශ වන්නේ කෙසේද?

මේ වන විට ලංකාව ඇතුළු පරිවාරයේ රටවල ආර්ථිකය අධිරාජ්‍යවාදී මූල්‍ය සංවිධාන වල ණය උගුලකට හසුවී ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව විසින් පනවනු ලබන කොන්දේසි හරහා මෙරට ආර්ථික ක්‍රමවේද ජනතාවට තවදුරටත් පීඩාකාරී තත්ත්වයක් නිර්මාණය කර ඇත. එසේම ලෝක වෙළඳ සංවිධානය වැනි අධිරාජ්‍යවාදී සංවිධාන ජාත්‍යන්තර වෙළඳාම ගෝලීය ප්‍රාග්ධන උවමනාවන්ට සහ ඒකාධිකාරවල ලාභ අරමුණු වලට අනුව මෙහෙයවයි. ආර්ථිකය ගොඩනැංවීමේ ප්‍රධාන කර්තව්‍යයක් වන්නේ මෙම විය ගසෙන් ආර්ථිකය මුදා ගැනීමයි. මෙම අයුක්ති සහගත ආර්ථික ක්‍රමය සාධාරණීකරණය කරනු ලබන්නේ ගෝලීයකරණයේ නාමයෙනි. නමුත් අප ජාතිකවාදී පටු සීමාවන්ට හිර නොවී අධිරාජ්‍යවාදී උවමනාවන්ට යට නොවී ආර්ථිකය ගොඩ නැගිය යුතුය. ඒ අනුව අධිරාජ්‍යවාදී ලෝක පද්ධතිය මගින් අසාධාරණ කොන්දේසි මත පදනම් කරගෙන ඇති ජාත්‍යන්තර වෙළදාම සාධාරණ සහ සමානාත්මතා පදනමකට ගෙන ඒම සඳහා ලෝක පරිමාණයෙන් ප්‍රගතිශීලී රාජ්‍යයන් සහ ලෝකය පුරා සුලු නිෂ්පාදකයන්ගේ සාමූහික යනු එක් කරගත් නව ආර්ථික සහයෝගීතා ව්‍යාපාරයක් අවශ්‍යව ඇත. එවිට ආර්ථිකය අධිරාජ්‍යවාදයේ මූල්‍ය ආයතනවල ග්‍රහණයෙන් සහ දැවැන්ත බහුජාතික සමාගම්වල ග්‍රහණයෙන් මුදා ගත හැකි වෙයි.

එසේම වත්මන් ධනේශ්වර උපායමාර්ගය එසේම තිබියදී වංචා දූෂණ නැති කර හොඳ ආර්ථිකයක් හැදිය හැකි 


බවට ජනතා විමුක්ති පෙරමුණ යෝජනා කරයි. නමුත් ඒ විහිළුවකි. මෙම ආර්ථික අභියෝගයට මුහුණ දීමට නම් කොල්ලකාරී නව ලිබරල් ආර්ථිකය වෙනුවට විප්ලවීය වෙනසකට ආර්ථික පදනම්වල සිටම ආර්ථිකය ගෙන යා යුතුය. එහිදී නිෂ්පාදනයේ ඵල සාධාරණ ලෙස බෙදාහැරීම වැඩකරන ජනතාව තීන්දු ගැනීමේ ක්‍රියාවලියට සහභාගී කරගැනීම මූල්‍ය සේවාවන් වෙනුවට සැබෑ වටිනාකම් උත්පාදන ක්ෂේත්‍රයේ වර්ධනය කරගැනීම අධිරාජ්‍යවාදී ග්‍රහණයෙන් ආර්ථික නිදහස් කරගැනීම සැලසුම් සහගත බව ලාභය වෙනුවට සමාජ අවශ්‍යතාවලට ප්‍රමුඛතාවය ලබාදීම වැනි කරුණු මත පදනම්ව ආර්ථිකය මුළුමනින්ම ව්‍යුහාත්මක වෙනසකට ගෙන යා යුතුය.

එසේ නොමැතිව මෙම ආර්ථික අර්බුදයට ක්ෂණික විසඳුම් ලබාදිය නොහැක. නමුත් ආන්ඩුවේ සැලසුම වී ඇත්තේ විදේශ විනිමය නැති බවට බිල්ලෙක් මවමින් පහළ පාන්තික ජනතාවගේ බඩට ගැසීමයි. අධ්‍යාපනය, සෞඛ්‍යය, ප්‍රවාහනය ඇතුළු සමාජ සුබසාධන කප්පාදුව එහි ප්‍රධාන සැලසුමකි. එසේම විශ්‍රාම වැටුප් කප්පාදුව, කම්කරු නීති සංශෝධනය එහි තවත් පියවරකි. රජය ආර්ථික කටයුතුවලින් ඉවත්ව රාජ්‍ය ව්‍යවසායන් සියල්ල විකුණා දැමීම එහි තවත් බරපතළ සැලසුමකි. රාජ්‍ය විවසායන් පමණක් නොව රජය සතු ඉඩකඩම් සියල්ල බහුජාතික සමාගම්වලට විකිණීමට ආණ්ඩුව සැලසුම් කර ඇත. සෙලන්දිවා සමාගම හරහා පෞරාණික වැදගත්කමක් සහිත සහ ආර්ථික මර්මස්ථාන විශාල ප්‍රමාණයක් විකිණීම සඳහා ආණ්ඩුව කටයුතු කරමින් ඇත. කොළඹ වරායේ බටහිර ජැටිය, ත්‍රිකුණාමලය තෙල් ටැංකි, යුගදනවි බලාගාරය ආණ්ඩුව මේ වන විටත් විකුණා දමා ඇත. එසේම ඉන්දියාවේ අදානි සමාගමට විදුලි බල ව්‍යාපෘතියක් සඳහා කල්පිටියේ දූපත් කිහිපයක් විකිණීමට සැලසුමක් ඇත. කෝමාරිකා වගාව සඳහා අනුරාධපුරයේ ඉඩම් අක්කර දහස් ගණනක් බහුජාතික සමාගම්වලට ලබා දී ඇත. එසේම මොණරාගල, අම්පාර වැනි ප්‍රදේශවල ඉඩම් විශාල වශයෙන් බහුජාතික සමාගම්වලට ලබා දෙමින් ඇත. මම නිසා වත්මන් ආණ්ඩුව යනු ඉඩම් හා රාජ්‍ය විවසාය වේගයෙන්ම පුද්ගලීකරණය සඳහා කටයුතු කරන ලද ආණ්ඩුව බවට පත්ව ඇත. දේශීයත්වය, ජාතික ආර්ථිකයක් ගැන පම්පෝරි ගැසුවද අවසානයේ ආණ්ඩුවේ ශේෂ පත්‍රයේ බවට පත්ව ඇත්තේ විකිණීම, ණය ගැනීම, මුදල් අච්චු ගැසීම පමණි. එම නිසා මෙයට එරෙහි දැවැන්ත මහජන ව්‍යාපාරයක අවශ්‍යතාවය මේ මොහොතේ වැඩි වශයෙන් සමාජයට දැනෙමින් ඇත. ඒ සඳහා කඩිනම් මැදිහත්වීමක් සිදු කිරීම මේ මොහොතේ වාමාංශික ව්‍යාපාරය සතු වගකීමක් බවද අප අවධාරණය කළ යුතුය.

 

0 comments:

Post a Comment