Saturday, January 15, 2022

සරසවියක් සිරගෙදරක් කළ උම්මන්තකයෙකුගේ පැටිකිරිය


සරසවියක් සිරගෙදරක් කළ උම්මන්තකයෙකුගේ පැටිකිරිය

රුහුණ විශ්වවිද්‍යාලය අද වෙද්දි තවදුරටත් විශ්වවිද්‍යාලයක් නෙමෙයි. ඒක හිර ගෙදරක්. ශිෂ්‍යයන්ගෙ, ආචාර්යවරුන්ගෙ, අනධ්‍යයන සේවකයන්ගෙ ශිෂ්‍යභාවය, රැකියාව ඇපයට අරගෙන තමන්ගේ උවමනා එපාකම් ඉටු කරගන්න මන්ද මානසික උපකුලපතියෙක් මීට අවුරුදු තුනකට කලින් රුහුණට පත් වෙලා ආවා. ඒ පහුගිය යහපාලන ආණ්ඩුවේ ඉත්තෙක් විදිහට. දැන් වත්මන් ආණ්ඩුවත් මේ උම්මන්තකයා නැවත වතාවක් උපකුලපති පුටුවේ ඉන්ඳවන්න කුමන්ත්‍රණයක් දියත් කරනවා. සමස්ත සරසවි ප්‍රජාවක් විරුද්ධ වෙද්දි ආණ්ඩුවේ ආශීර්වාදයෙන් ආයෙත් උපකුලපති පුටුව ඩැහැගන්න දත නියවන උම්මන්තක උපකුලපතිගේ පැටිකිරිය පහුගිය දවසක අන්තරේ කැඳවුම්කරු සහෝදරයා මාධ්‍ය හමුවක් පවත්වමින් රටටම එළි කරා.

රුහුණට අපහාස කළ කොන්ඩම් බාල්දි කාගෙද?

කොන්ඩම් හොයාගත්ත කියන කාමරය ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ සිසුන්ගෙ ස්ටඩි රූම් එකක්. මේ කාමරය 2018 නොවැම්බර් පරිපාලනය විසින් සීල් කරල පවරාගැනීමක් කරනවා. ඒ පවරගත්තු කාමරෙන් තමයි 2019 මැයි මාසෙ කොන්ඩම් බාල්දි දෙකක් හොයාගන්නෙ. එතකොට මේ කාමරය පරිපාලනය භාරයට අරන් මාස හයක්. එහෙනම් කොන්ඩම් අයිති පරිපාලනයට.
කොන්ඩම් ආවෙ කොහොමද කියන ප්‍රශ්නෙට නිශ්චිත උත්තර හම්බවෙලා ඉවරයි. උපකුලපති සූජීව අමරසේනගේ සහ නියෝජ්‍ය උපකුලපති සමන් චන්දනගේ මෙහෙයවීම මත කඩේට ගිහින් කොන්ඩම් අරන් එන්නෙ ආරක්ෂක පරීක්ෂක කේ.කේ. ජගත්, ආරක්ෂක නියාමක ප්‍රසන්න, සහ ආරක්ෂක නියාමක චමින්ද කියන තුන්දෙනා. කොන්ඩම් ගෙනල්ලා ඒවා පාවිච්චි කරා කියල ඇඟවෙන විදිහට සීල් කඩලා කෙල ගහලා බකට් දෙකක් පුරවන්නේ මේ කල්ලිය එකතු වෙලා. සිදුවීම ඇසින් දුටු සාක්ෂි සහිතයි.

දර්ශ උදයංගගේ වැටමාර පොල්ල

කොන්ඩම් සිදුවීමෙන් පස්සෙ විශ්වවිද්‍යාල ඉතිහාසයේ සිදුවෙච්ච නින්දාසහගතම සිදුවීම වෙනවා. ඒ දර්ශ උදයංගගෙ මහා පාවාදීම. නැත්තං වැටමාර පොල්ලේ සිදුවීම. දර්ශ උදයංග පහරදීමක් සම්බන්ධයෙන් නියෝජ්‍ය උපකුලපති සමන් චන්දනට පැමිණිල්ලක් කරනවා. මේ පැමිණිල්ලෙ කොතනකවත් ලිංගික හිංසන ගැන සඳහන් නෑ. නමුත් ටික දවසකින් සුජීව අමරසේනගේ මෙහෙයවීම මත නියෝජ්‍ය උපකුලපතිවරයා විසින් ආරක්ෂක පරීක්ෂක කේ.කේ ජගත් විශ්වවිද්‍යාලයේ ආරක්ෂක අංශයට අයත් 1535 දරන යතුරුපැදියෙන් හක්මන පිහිටි දර්ශ උදයංගගේ කුලී නිවසට යවනවා. ආරක්ෂක අංශයට අයත් මේ යතුරුපැදිය මේ කියන දවසෙ හක්මන ගියා කියල විශ්වවිද්‍යාල ආරක්ෂක අංශයේ ලොග් සටහන් පොතේ සටහන් වෙලා තියෙනවා. කේ.කේ. ජගත් දර්ශ උදයංගව බයික් එකේ දාගෙන මාතර පොලීසියට ගිහින් ඔහු ලවා පැමිණිල්ලක් ලියවනවා තමන් ලිංගික නවකවදයට ලක්වුණා කියලා. පොලීසිය මාතර උසාවියේ නඩුවක් ගොනු කරනවා. මාතර අධිකරණ වෛද්‍යවරයා විසින් දර්ශ උදයංගව වෛද්‍ය පරීක්ෂණයකට ලක් කරනවා. ඒකෙන් හෙළි වෙනවා ඔහු කිසිඳු ආකාරයක ලිංගික හෝ වෙනත් ශාරීරික හිංසනයකට ලක්වෙලා නෑ කියලා. නමුත් ඒ වෙද්දිත් මේ සිදුවීමට අදාළව ශාස්ත්‍ර පීඨයේ සිසුන් 19 දෙනෙක් මාස තුනකට වැඩි කාලයක් රිමාන්ඩ් බන්ධනාගාරයේ ගත කරල ඉවරයි. උපකුලපති සුජීව අමරසේන ඒ ඔවුන්ගෙ ශිෂ්‍යභාවය අහෝසි කරලත් ඉවරයි. තමන්ගෙ පුතා සිරගත කරා කියන ප්‍රවෘත්තිය අහලා එක සිසුවෙකුගෙ පියා හාර්ට් ඇටෑක් එකක් හැදිලා මිය ගිහිල්ලත් ඉවරයි.

දර්ශ උදයංග පැමිණිල්ල ඉදිරිපත් කරන්නෙ දෙවැනි වසර ශිෂ්‍යයෙක්ව සිටියදී. ඒ බව ඔහුගේ අත් අකුරින් සමන් චන්දනට දීපු ලිපියෙ සටහන් කරල තියෙනවා. නවකවද සිදුවීමකට දෙවැනි වසර සිසුවෙක් මුහුණ දුන්නා කියන එකම අභව්‍යයක්. දර්ශ මාධ්‍ය හමුව කැඳවන්නෙත් උපකුලපතිගෙ කාර්යාලයේ ඉඳන්. වැටමාර පොල්ලේ සිදුවීමත් ඉතා පැහැදිලිවම සුජීව අමරසේන, සමන් චන්දන ඇතුළු තක්කඩි පරිපාලනය විසින් රඟදැක්වුණු තවත් නාටකයක් විතරයි.

උපකුලපති හෙංචයියන්ගේ ලිංගික හිංසන

වෛද්‍ය පීඨයේ ආරක්ෂක අංශයේ ඉන්න ඩොනල්ඩ් කියන පුද්ගලයා සුජීව අමරසේනගේ ළඟම හිතවතෙක්. ඔහු වෛද්‍ය පීඨයේ ආරක්ෂක අංශයට අදාළව සේවයේ නියුතු කාන්තාවන්ට ලිංගික බලහත්කාරකම් රාශියක් සිදු කරලා තියෙනවා. කාන්තාවන් හය දෙනෙක් මේ පිළිබඳව ලිඛිතව පැමිණිලි ඉදිරිපත් කරලා සේවයෙන් ඉල්ලා අස්වෙලා තියෙනවා. පොලීසියේ කරපු පැමිණිලි කීපයකුත් තියෙනවා. නමුත් ඩොනල්ඩ්ට අද වෙනකම් විනය පරීක්ෂණයක් නෑ. ඩොනල්ඩ් සේවයෙන් පහ කරල හරි දඩුවම් පමුණුවලා හරි නෑ.

මිලියන ගණන් සල්ලි හොරා කාලා

ඉදිවෙමින් පවතින සමසෞඛ්‍ය පීඨයේ පීඨ ගොඩනැගිල්ලේ කොන්ත්‍රාත් එක දෙන්නෙ ‘සතුට’ කියන උපකුලපතිගෙ සහ රුහුණෙ මූල්‍යාධිකාරීගෙ මිතුරෙකුට අයිති සමාගමකට. පහුගිය දවසක මේ සමාගමේ වැඩ ඉංජිනේරුවරයා රුපියල් 4576000 ක් වටින වානේ කම්බිවල බිලක් අරගෙන ඇවිල්ලා එම ස්ථානයේ ඉන්න ආරක්ෂක අංශ නිලධාරියාට කියනවා කම්බි ඇතුළට ගෙනිච්ච බව තහවුරු කරන්න අත්සන් කරන්න කියලා. නමුත් කම්බි ගෙනිච්චෙ නැති නිසා ආරක්ෂක නිලධාරියා අත්සන් කිරීම ප්‍රතික්ෂේප කරනවා. සුජීව අමරසේන කරන්නෙ ඔහුව එදිනම වැඩ තහනමකට ලක් කරලා අලුත් නිලධාරියෙක් පත් කරන එක. ඔහුත් අර බිලට අත්සන් තැබීම ප්‍රතික්‍ෂේප කරනවා. ඒ නිලධාරියාවත් වැඩ තහනමට ලක් කරනවා. දැනටත් ආරක්ෂක අංශය සතු ලොග් පොතේ ලක්ෂ 45 ක කම්බි ඇතුළට ගෙනාවා කියල සටහනක් නෑ. නමුත් ඉදිකරපු ගොඩනැගිල්ලක් තියෙනවා. මේව ගැන බලධාරීන්ගෙ ඇස් ඇරෙන්නෙ කම්බි නැතිව ඉදි කරපු ගොඩනැගිල්ල දවසක ශිෂ්‍යයන්ගෙ ඔලුවට කඩාගෙන වැටුණට පස්සෙද?

අවස්ථා දෙකකදි ආරක්ෂක අංශවලට සහ අනධ්‍යයන සේවකයන්ට අවශ්‍ය සපත්තු ගෙන්වන ටෙන්ඩරයකින් ගසාකාපු තොරතුරුත් එලි වෙලා තියෙනවා. විශ්වවිද්‍යාලයේ තාක්ෂණ කමිටුව විසින් නිර්දේශ කරපු සපත්තු වෙනුවට සුජීව අමරසේනගේ උවමනාවට ඉහළ බිල් දාගෙන බාල සපත්තු ගෙනල්ලා. එතනත් ලක්ෂ ගණනක වංචාවක්.

නියෝජ්‍ය උපකුලපති සමන් චන්දනගෙ නෝනා පුබුදු මල්ලවආරච්චි විශ්වවිද්‍යාලය ඇතුළෙ කොළකැඳ සහ හතු ව්‍යාපාරයක් කරනවා. කොළකැඳ හදන්න, හතු වගා කරන්න ශිෂ්‍යයෝ, අනධ්‍යයන සේවකයො බලහත්කාරයෙන් සේවයේ යොදවගන්නවා. විශ්වවිද්‍යාල භූමිය, විදුලිය, ජලය, ගොඩනැගිලි පාවිච්චි කරනවා. කොළකැඳ සහ හතු විකිණීම භාරදීල තියෙන්නෙත් ආරක්ෂක අංශයට. මේකෙන් එන මුදල් විශ්වවිද්‍යාලයට එන්නෙ නෑ. ඒව යන්නෙ සමන් චන්දනගෙ නෝනගෙ සාක්කුවට.

සිසුන්ට, ආචාර්යවරුන්ට, සේවකයන්ට මර්දනය

සිසුන් 250 ට අධික සංඛ්‍යාවක් මේ වගේ විවිධ හේතු හදලා විනය ක්‍රියාමාර්ගවලට ලක් කරල තියෙනවා. ජීවිතාන්තය දක්වා ශිෂ්‍යභාවය අහෝසි කිරීම්, තාවකාලික ශිෂ්‍යභාවය අහෝසි කිරීම්, පංති තහනම්, නේවාසිකාගාර තහනම්, උපාධි ප්‍රධානෝත්සව තහනම් විශාල ප්‍රමාණයක් තියෙනවා. සුජීව අමරසේනගෙ පදේට නටන්න අකමැති වීම නිසා ශාස්ත්‍ර පීඨයේ සිංහල අධ්‍යනාංශයේ මහාචාර්ය අමරසේකර බලහත්කාරයෙන් විශ්‍රාම ගන්වනවා. ඒකට විරුද්ධව එතුමා ශ්‍රේෂ්ටාධිකරණයේ ගොනු කරපු මූලික අයිතිවාසිකම් නඩුවෙන් (ීක්‍/ත්‍ඍ/308/17) නැවත ඔහුව සේවයෙ පිහිටුවන්නත් ඔහුට ලක්ෂ 60 ක වන්දි මුදලක් ගෙවන්නත් විශ්වවිද්‍යාලයට නියම කරනවා. රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යනාංශයේ සේවය කරපු ඉන්දි අකුරගොඩ අචාර්වරිය ඔන්ලයින් දේශන කරන එකට විරුද්ධ වුණා කියලා සේවය අත්හිටුවනවා. එම කාලයට අදාළව වැටුප් කප්පාදු කරනවා. ඉංජිනේරු පීඨයේ විදුරගෝමි විතාන කියන ආචාර්යවරයත් මේ විදියටම මර්දනය කරනවා. ඒ වගේම අනධ්‍යයන සේවකයෝ විශාල ප්‍රමාණයක් ඉතාම අසාධාරණ ලෙස ඉවත් කිරීම සහ ස්ථාන මාරුකිරීම් සිදුකරනවා. එකම හේතුව උපකුලපතිගේ උවමනා එපාකම් ඉටුනොකිරීම.

මේ කිව්වෙ මූලික තොරතුරු කිහිපයක් විතරයි. සුජීව අමරසේනගෙ පැටිකිරිය දැනගන්න මේ ටික හොඳටම ඇති. රුහුණ සරසවිය ඛේදවාචකයක් වුණේ කොහොමද කියන එක හරිම පැහැදිලියි. සුජීව අමරසේන, සමන් චන්දන, මූල්‍යාධිකාරී, විනයාධිකාරී, කේ.කේ. ජගත්, ප්‍රසන්න - චමින්ද ආරක්ෂක නියාමකවරු, සමන් චන්දනගෙ නෝනා, ඩොනල්ඩ් මේ තක්කඩි හරිනම් මේ වෙද්දි ඉන්න ඕනි හිර ගෙදර. ආණ්ඩුව හදන්නෙ මේ උම්මන්තක උපකුලපති ආයෙත් රුහුණෙ උපකුලපති විදිහට පත් කරන්න. වහාම ඒ කුමන්ත්‍රණය නවත්වන්න ඕනි. රුහුණට අදාළව ස්වාධීන කොමිෂමක් පත් කරල මේ තක්කඩිකම් ගැන හොයන්න ඕනි. රුහුණ ආයෙත් සරසවියක් කරන්න අපි හැමෝම එකතු වෙච්ච අරගලයක් කරන්න ඕනි.

0 comments:

Post a Comment