Wednesday, February 2, 2022

අර්බූදයට උත්තරය කතිර සෙල්ලම නෙමෙයි!


පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් සේනාධීර ගුණතිලක සහෝදරයා සමඟ ගිනිසිළුව පුවත්පත සිදු කළ සම්මුඛ සාකච්ඡාවකි. මෙය ජනවාරි පුවත්පතේ පල කරන ලදී.

බඩු බර බඩු මිල දවසින් දවස වැඩි වෙනවා. මිනිස්සුන්ට ජීවත් වෙන එක තමයි ලොකුමප්‍රශ්නය වෙලා තියෙන්නේ. පොදුවේ පේන්න තියෙන කාරණයක් තමයි රට විශාල ආර්ථික දේශපාලන අර්බූදයක ගිලිලා තියෙන එක. මේ පවතින අර්බූදය පෙරටුගාමී සමාජවාදී පක්ෂය විදිහට කියවගන්නේ කොහොමද ?

මේ වෙලාවේ අපේ රටේ ජන ජීවිතය ගත්තොත් එදිනෙදා අපිට මග අරින්න බැරි ප්‍රශ්න ගණනාවක් එකවර ඇවිල්ල තියෙනවා. කුස්සියේදි, කන බත් පිඟාන අතට ගනිද්දි, තේ එකක් බොන්න කඩේකට ගොඩවෙද්දි, එළවළු ටිකක් ගනිද්දි අපට බරපතළ ප්‍රශ්නයක් තමයි බඩුමිල. ඒක මෑත කාලයේ මේ ගෙවෙන දවස්වල දරා ගන්න බැරි මට්ටමකට අපේ ගාවට ඇවිල්ල තියෙනවා.

මේ ධනවාදය ඇතුලේ කවදටත් බඩුමිල වැඩිවුණා. වැඩි කළා. නමුත් ජීවන බර මෑත කාලයේ දරා ගන්න බැරි මට්ටමකට ඇවිල්ල තියෙනවා. එක් පැත්තකින් හොද්දක් බතක් හදාගන්නේ කොහොමද කියල හිතන අතරේ අනිත් පැත්තෙන් තියෙන දෙයක් උයාගන්නත් බෑ. කොයි වෙලාවෙ ගෑස් එකක් පුපුරලා යයිද කියන බයෙන් තමයි ඉන්න වෙලා තියෙන්නේ. ඒ නිසා විදුලි උදුන් සොයාගෙන යන්න වෙලා.

තවත් අතකින් කඩේකට ගිහිල්ලා ගිනි ගණන් දීලා හොයන දේවල් ගන්න නෑ. දේශපාලන බල අධිකාරිය පිළිගන්නවා කන්ටේනර් 1500කට වැඩිය වරායේ හිරවෙලා කියල. මේවයේ  කිරිපිටි වගේ අත්‍යවශ්‍ය ආහාර වර්ග තියෙනවා. හිඟය හැමතැනම. රට ඇතුළට ගන්න ආණ්ඩුවට ඩොලර් නෑ. ගොවිතැනත් එක්ක ජීවිතය ගෙවපු හැම කෙනෙක්ම වල්මත් වෙලා ඉවරයි. අපේ පරම්පරා කීපයක අත්දැකීම වුණේ රසායනික  තෙල් - පොහොර එක්ක ගොවිතැනක්. හිටිහැටියෙම කාබනික පොහොර අනිවාර්ය කෙරුණා. දැන් පොහොරත් නෑ. වගාවේ බලාපොරොත්තුව අස්වැන්නත් නෑ. වගාවක් හරියට විශ්වාසයෙන් ගොවියන්ට කරගන්න බැරිවුණා. අනෙක් පැත්තෙන් කොහොමෙන් හරි තිබුණු පොහොර සහනාධාරයත් උදුරගත්තා. වෙළඳපොලේ 1500ට තිබුණු පොහොර මිටිය අද 9000ක් 12000ක් දීලා ගන්නත් නෑ.

ආණ්ඩුව පසුගිය දශක ගණනාවෙම වෙහෙසුනේ උපයනවට වඩා ණය ගන්න. මුලදි රාජ්‍ය රාජ්‍ය අතර ඒ වගේම ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව වගේ ආයතන එක්ක. දැන් අපේ ණය පංගුවෙන් සියයට 40%ක්ම වාණිජ වෙළඳපොලෙන් ගත්තු ණය. ජනවාරි මාසෙ පටන් ගන්නෙම ඩොලර් මිලියන 500 ක ණයක් ගෙවාගෙන. මේ අවුරුද්ද විතරක් නෙමේ 2030 වෙනකම් අවුරුද්දකට ඩොලර් මිලියන 4-5 ක් ගෙවන්න නියමිතයි. පැහැදිලිවම මේ ණය කන්දරාව ගෙවාගන්න පුළුවන් තැනක නෙමේ අපේ ආර්ථිකය තියෙන්නෙ. ඒ නිසා තමයි මේව ගණනය කරන ආයතනයක් වෙච්ච බිච් රේටිංග්ස් ආයතනය අපිව ණය ගෙවාගන්න බැරි රටවල් ගොන්නට ඇතුළත් කරල තියෙන්නෙ. මේ ණය කෙරුවාව හරහා මතුවෙන තීරණාත්මක අනතුරක් තමයි වහල්භාවය. නිශ්චිත උදාහරණයක් හම්බන්තොට වරාය. එය චීනයේ ආර්ථික මූලෝපායට අයත් වූවක් වගේම රාජපක්ෂලාගේ ශ්‍රී විභූතිය වෙනුවෙන් ඉදිකෙරුණක්. අපි ණය කන්ද ඉස්සරහ හිරවෙද්දි යහපාලන ආණ්ඩුව හම්බන්තොට වරාය ණයවලට හිලව් කළා.

ආණ්ඩුව ණය හොයන්න රට රටවල ඇවිදිනවා. ණය ගන්නේ කොහෙන්ද කියලා වාද විවාද යනවා.ආනයන සීමා කරනවා. දේශීය ආර්ථිකයක් ගැන කියනවා.මේවාගෙන් අර්බූදයට උත්තරයක් හම්බවෙයිද?  

පහුගිය දවස්වල ඩොලර් සංචිතය බිලියන 1-6 කටත් වඩා පහළට බැස්සා. කන්න දෙන්න වත්කම් තියෙන්නෙ මාසයකට කියලත් කිව්ව. මේ ආපු විදිහට ඉස්සරහට යන්න බෑ කියන එක දැන් පැහැදිලියි. ඩොලර් එන ක්‍රමවේද හිරවෙලා. ඒවට උත්තර විදිහට කොළඹ කේන්ද්‍රීය වාණිජ ඉඩම් වෙන්දේසියේ පටන් චීනය, ඉන්දියාව, ජපානය මැද පෙරදිග වගේ රටවල් එක්ක විවිධ කොන්දේසි යටතේ ණය ආධාර ගන්න ආණ්ඩුව වලිකනවා. එහෙම තමයි දෙසැම්බර් අන්තිමේ කබ්රාල් උන්නැහේ කීවේ බිලියන 03.1ක් සොයා ගත්ත කියල. ඒ වුණාට ජනවාරි ඉඳන් ඉදිරියට එන්න නියමිත ගෙවීම් දිහා බලද්දි ආර්ථික වශයෙන් පරණ පුරුදු පාරෙන් ඇවිත් ගොඩගන්න බෑ කියන එක හරිම පැහැදිලි කරුණක්.

මේ අර්බුදය අතරේ කලාපීිය බලවතුන් ඔවුන්ගේ මූලෝපායික ආර්ථික මර්මස්ථාන අත්පත් කරගනිමින් ඉන්නවා. ඒක ඉතා පැහැදිලයි.  ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණයත් ඊටම යාබද භූමිභාගයත් තමන් සතුකර ගැනීමේ වැඩපිළිවෙලක ඉන්දියාව ඉන්නවා. මේ අය තම තමන්ගෙ වෙළඳ භාණ්ඩ අලෙවිය ණය ගුණ්ඩු හරහා වැඩි කරවා ගන්නවා වගේම මුලෝපායිකව වැදගත් ස්ථාන අත්කර ගන්නවා. එක්සත් ජනපද සමාගමක් මගින් ලංකාවේ එල්.එන්.ජී සැපයුමේ හැකියාව අත්පත් කරගත්තා වාගේම දැන් ඉන්දියාව තමන්ගේ අතට තෙල් ගෙන්වීම, බෙදාහැරීම අත්පත් කරගනිමින් ඉන්නවා. මේ විදිහට ආර්ථිකමය වශයෙන් අපව සම්පූර්ණයෙන් ගිලගැනෙන, වහල්භාවයට ඇද දැමෙන ක්‍රියාවලියක් බව ඉතා පැහැදිලියි.

මේ ආර්ථික දේශපාලන අර්බූදයට හේතුව කුමක්ද? ආණ්ඩුවේ අසමත්කමද? සර් ෆේල් හින්දද? නැතිනම් වසංගතය හින්දද?

නිතරම අපිට වෙලා තියෙන්නේ දීලා තියෙන මඟ සලකුණු ඔස්සේ මේ අර්බුදයට උත්තර හොයන්න. ඒ කියන්නෙ පාර්ලිමේන්තු ඡන්දය නැත්නම් කතිරය. ඒ හින්ද එක ආණ්ඩුවක් වෙනුවට අළුත් ආණ්ඩුවක්, එක මූණක් වෙනුවට අළුත් මූණක්. අපිට පුරුදු අකුරු සාස්තරේට. මේ රටේ ජනතාව වැඩි දෙනෙක් එකතු වෙලා තෝරගත්තු පුද්ගලයා ගෝඨාභය. ඇත්තටම මේ රටේ  දක්ෂිණාංශික දේශපාලනයේ එක්තරා අවසානයක් ගෝඨාභය. අද ගෝඨාභයත් ගෝඨාභයගේ ආණ්ඩුවත් ඔහු පසුපස තියෙන ආර්ථිකයත් අර්බුදයට වැටිලා. බලාපොරොත්තු එක්ක එන මේ පාලන තන්ත්‍ර එන සැණින් අර්බුදයට යාම පිටුපස තියෙන්නේ පුද්ගල දුර්වලතා, අසමත්කම්වලට වඩා අපි දක්කගෙන ආ ආර්ථික ක්‍රමවේදය. කොටින්ම එය තවදුරටත් අපේ මිනිස්සුන්ගේ ඇත්ත ප්‍රශ්න විසඳීමට සමත් නෑ. වසංගතය මේ තත්ත්වය වඩාත් සංකීර්ණ කළා. හැබැයි අපි තේරුම්ගන්න ඕන දේ තමයි නව ලිබරල් ආර්ථික කතාවෙ තර්කානුකූල අවසානයක් වෙත මේ ඇවිල්ල තියෙන්නෙ.

අපිට පේනවා විවිධ පාර්ශව විවිධ උත්තර යෝජනා කරනවා. එම වැඩපිළිවෙලවල් ගැන ඔබේ අදහස මොකද්ද? ඔබ යෝජනා කරන විසඳුම මොකද්ද?

මේ වෙලාවෙ විවිධ පාර්ශව විසඳුම් ගෙන එමින් ඉන්නවා. ඒක බැලූ බැල්මට හොඳ දෙයක්. හැබැයි මේ විසඳුම්වල ඇති පොදු සමානකම අපි තේරුම්ගන්න ඕන. පසුගිය මැතිවරණයේදි පොදුජන පෙරමුණ, සමඟි ජන බලවේගය, වාමාංශික නැඹුරුවක් තියෙන ජාතික ජන බලවේගය ගෙන ආ විසඳුම් යෝජනා හොඳින් නිරීක්ෂණය කළා නම් මේ බව තේරුම් යනවා. පක්ෂ, පාට වෙනස්කම් හැරුණාම මේ තත්ත්වය උඩුයටිකුරු කළ හැකි අළුත් යාන්ත්‍රණයක් ඒවායේ අඩංගුවුණේ නෑ.

හැමෝම මේ ආර්ථික රටාව ඇතුළෙන්ම ගන්නා නව ප්‍රවේශයක් ගැන තමයි කැරකුණේ. ඒ හින්ද මේ ආර්ථික මොඩලයටම නව මුහුණුවරක් දෙන කතාවෙන් එලියට එන පාරක් ඒවයේ නෑ. මේ තරම් ඔඩු දුවපු තත්ත්වයක් නැති වෙලාවක 1994 චන්ද්‍රිකා නෝනගේ ආගමනය මතක ඇති. ඒ වෙලාවේ මේ ආර්ථික මොඩලයට මානුෂීය මුහුණුවරක් ගැන සාකච්ඡාවක් ගෙන ආවා. අපි ඇත්තටම කවුරු කවුරුත් එකතුවෙලා මේ අත්හදා බැලීම් ඉවර කරල තියෙන්නෙ. දැන් තියෙන්නේ සාම්ප්‍රදායික උත්තර දක්කගෙන යන අවස්ථා යල් පැනගිය තත්ත්වයක්. ඒක තේරුම්ගන්න ඕන. ඒ හින්ද සමාජ ප්‍රජාතන්ත්‍රවාදී උත්තර, උත්තර වගේ පෙනුනාට අපිට ලැබෙන්නෙ පරණ උත්තරේම තමයි. අපිව චප්ප කරන වහල්භාවය වෙත ගෙන යන ආර්ථික මොඩලයකට මානුෂීය මුහුණුවරක් දෙන්න බෑ.

ඒ හින්ද ආර්ථිකය වාගෙම මුළු මහත් සමාජ ජීවිතයම ව්‍යූහාත්මක අර්බුදයකට ගිය වෙලාවක පැරණි පාරෙන්ම කතිරයෙන් පමණක් මේ ප්‍රශ්නය විසඳන්න බෑ. සමාජයේ වැඩ කරන අතෝරක් නැති ප්‍රශ්න එක්ක පොර බදන මිනිස්සුන්ගේ සක්‍රීය ක්‍රියාකාරීත්වය මගින් ගොඩනැගෙන පළල් මහජන ක්‍රියාකාරීත්වයක් මේ වෙලාවෙ ඕන කරනවා. දැන් ඕනෙ පොදු ජනයාගේ විසඳුමක්. ඒක ගොඩනැගෙන්නේ නෑ කතිරයක් වෙත මිනිස්සු සංවිධානය කිරීමෙන්. සුත්‍රය දැන් යල් පැනලා.

බහුජන ව්‍යාපාරයක් සාර්ථක වෙයි කියලා හිතන්නේ කොහොමද ? ඇයි අපි විස්වාස කරන්නේ ඕනේ මේ අර්බූදයට උත්තර හොයන්න වෙන්නේ බහුජන ව්‍යාපාරයකින් කියලා ?

බහුජන ව්‍යාපාරයක් කිව්වම අපි කියන අදහස හරියට මතුවෙන්නේ නෑ. අපි පෙරටුගාමී සමාජවාදී පක්ෂය මේ වෙලාවේ යෝජනා කරන්නේ පාර්ලිමේන්තු බලයට සීමා නොවුණු කොටින්ම ඉන් පිටත ගොඩනැගුණු සක්‍රීය මහජන ක්‍රියාකාරීත්වයක් විවිධ බලවේගවල සාමූහික දේශපාලන ක්‍රියාකාරීත්වයක්. මේ දේවල් තේරුම්ගන්න තව පැත්තක් මේ දවස්වල අපිට පෙන්නල දෙනව. ඒ තමයි මේ සම්ප්‍රදාය අරන් යන අය කියන දේවල්. අධිකරණ ඇමති කියනවා එයා ආයේ පාර්ලිමේන්තු එන්නේ නෑ පරණ රස්සාවට යනවා කියල. කැබිනෙට් එකේ ඉන්න ඇමතියෝ රොත්තක් නඩු යනවා එයාලට හොරෙන් ගිවිසුම් අත්සන් කළා කියල. මේව ඇහුවාම කෙනෙකුට හිතෙනවා මේකට හොඳ සෙට් එකක් යැව්වනම් හරි කියල. ඇත්ත දේ මේවයේ ඉන්න අයත් එක්කම නැව ගිලෙන්න යනවා අපි ඒක බලෙන් ඇදල නවත්වන්න හදනවා. මේ පාර්ලිමේන්තුව අපිට උත්තර ගේන්න කියල ගොඩ නගපු සම්ප්‍රදායන් පවා යාදෙන්නැති වෙලාවක ජනතාවගේ ඇත්ත ප්‍රශ්න විසඳන්න මැදිහත්වෙන්න ඕන ජනතාව මිසක් සාම්ප්‍රදායික ආයතන ආයෙත් පුරවලා නෙමෙයි. ඒ අයිතිය මහජනයා අතට ගැනීමෙන් තමයි මේකට උත්තර හොයන යතුර අතට ගන්න වෙන්නෙ. මොකද එයාලම අපිට බරටම කියල දුන්නු ජනතා පරමාධිපත්‍යය ඉටුකළ හැකි විභවයක් අද එතන නෑ. යල්පැන ගියා කියන්නේ යළි ගොඩනගන්න බෑ කියන එක. යල් පැන ගිය දෙයක් යළි රෙපයාර් කරන්න බෑ. දැන් ඒකට උත්තර සොයාගන්න වෙන්නෙ පොදු ජනතාවට. පොදු ජනතාවට ඒ සඳහා තියෙන එකම උත්තරය සාමූහික මහජන ක්‍රියාකාරිත්වයක් වෙනුවෙන් හැකි හෑම තැනකම ක්‍රියාකාරීවීම. උදාහරණයක් විදිහට ගත්තොත් අපේ ඇත්ත ප්‍රශ්න ගොවියට ඇත්තට බීජ අයිතිය හම්බවෙන, ගොවිකමේ අයිතිය වගේම ගොවිබිමේ අයිතිය හම්බවෙන, හාල් මාෆියාව වෙනුවට කන බොන අය වගේම හදන වඩන ගොවියාගෙත් ආර්ථිකය ගොඩනගන, ක්‍රියාකාරිත්වයක් වෙනුවෙන් සංවිධානය වෙන්න අපිට බලකරනවා. ඒ එකමුතුව ගොඩනගන්න බෑ හාල් මාෆියාව සතුටු කරන ගමන්. මොකද හාල් මාෆියාව බලවත් වෙන්නෙ නවලිබරල් කොල්ලය ඇතුලේ. එතනින් එළියට එනව කියන්නේ හාල් මාෆියාව සතුටු කිරීම නෙමේ. මොකද මහජන ව්‍යාපාරයක් පක්ෂපාතී වෙන්නෙ පොදු ජන අපේකෂාවන්ට මිසක් ප්‍රාග්ධන හිමිකාරීත්වයට නෙමෙයි.

අපි දැක්කා යම්කිසි ආකාරයක මහජන දායකත්වයක් සහිත ක්‍රියාකාරිත්වයක් ලංකාවේ වාගෙම ලෝකයේත්. ඉන්දියානු ගොවි අරගලය පංතිමය ඒ වගේම සමස්ත ඉන්දීය භාවිතාවක්. ඒ එක්කම ඉන්දීය කම්කරු ව්‍යාපාරයේ සක්‍රීය සහයෝගයක් ඊට පලවුණා. ලංකාවෙ මෑතකාලීන ගුරු අරගලයත් අපිට බැහැර කරන්නට බෑ. ඊටත් කලින් වසර ගණනාවක් ඇදී ගිය සයිටම් අරගලය. නිදහස් අධ්‍යාපන අයිතිය වගේම අධ්‍යාපනය වෙළඳ භාණ්ඩයක් කිරීමට එරෙහි ක්‍රියාකාරී බවක් එහි පැවතුනා.  

අපි කියන්නේ මේ අරගලවල සීමාවලින්ද එහාට යන ඒ වගේම පුළුල් බලවේගවල සාමූහික බවක් වගේම පුළුල් ජනතා අපේක්ෂා නියෝජනය කරන්නක්ද විය යුතු වෙනවා.

ඉතින් ඇත්ත ක්‍රියාකාරීත්වය උපදින්නේ අපි අතරින්. මේ මහපොළොව එක්ක පොරබදන මිනිස් භාවිතාවකින් නම් ඒ වෙනුවෙන් කෙලින් තීරණයක් ගන්න ඕන අපි. ඒක ඒ නිසාම විප්ලවීයයි. ඇත්තටම අපේ මිනිස්සු ඵෙතිහාසික ක්‍රියාවලියකට තමන්ම ඇතුළත්වෙමින් තමන්ගෙ ඉරණම සොයායන්න මේ එක්ක පටන් ගන්නවා. ඉතිහාසයේත් අර්බුදවලින් උත්තර හොයා ගත්තේ එහෙමයි.

0 comments:

Post a Comment