Friday, April 5, 2013

71 වසන්තය ශ්‍රේෂ්ඨ පරාජයක් ලෙස

 අඳුරු කටු සිමෙන්ති පොළොවක මුනින් තලා වැතිර දඟ කුටියේ කුඩා විවරයකින් ගැයුණු මේ පබැදුම ලාංකීය ධරණීතලය මත නැගුණු පළමු අසම්මුතිකාමීන්ගේ සුසුම ය; පැතුම ය. එනම් මීට හතළිස් දෙවසරකට පෙර සමාජවාදී සමාජයක් උදෙසා සටන් කළ විප්ලවවාදීන් ගේ හඬ ය; විමුක්තිකාමීන්ගේ පැතුම ය. අරගලයේ ශ්‍රේෂ්ඨ පරාජයෙන් ඉක්බිතිව අඳුරු කුටියේ කුඩා විවරයකින් තම සොයුරු කැළගේ සවන් මත ඉතා වෙහෙසකරව පතිත කරවෙයි”  
වහල්භාවයේ පීඩිතභාවයේ ගිලී සිටි ලාංකීය ජන සමාජය තුළ පීඩිත භාවය හමුවේ පීඩක පන්තියට එරෙහි වූ නැගීසිටීමක් පෙර සමාජ අත්දැකීම්හි නොවන කල ලාංකීය ඉතිහාසයේ පීඩක පන්තියට එරෙහිව නැගුණු පළමු අරගලය ලෙස ශ්‍රේෂ්ඨ වූ සලකුණ තබන්නේ 71 අරගලය යි.
මින් කවර දාකවත් නොවූවිරූ ලෙස පීඩක පන්තිය ඉදිරියේ වීරත්වයේ, ජීවිත පරිත්‍යාගයේ සලකුණු තැබුවේ එනම් පීඩිත පන්තිය කෙරේ නව ව්‍යවහාරයක් (ජීවන විලාසයක්* තැබුවේ ඔවුහු ය. පුරුෂ මූලික විය ගස තුළ මුළුතැන් ගෙයිහි බැඳ තැබූ නග්න වූ සූරාකෑමට ගොදුරු වූ ස්ත‍්‍රියත්, වැඩ බිමේත් ගොවි බිමේත් සූරාකෑමෙන් මිරිකුණු පීඩිත පුරුෂයාත් එක ම සටන් බිමක එක ම අයිතියක් උදෙසා සටන් කරන්නට වන්හ. එනම් නව සමාජවාදී සමාජයක් උදෙසා සටන් කිරීමට වන්හ. සම්මුතිකාමීත්වය හමුවේ අසම්මුතිකාමීව නැගෙද්දී සරසවිය සිපිරි ගෙයක් වූ පළමු ඉතිහාසය තුළ සිපිරි ගෙය සරසවියක් කෙරෙන්නේ ඔවුන් සමාජයක් මත ඉතිරි කළ නව ව්‍යවහාරයක් ලෙස ය. විද්‍යාවේදීන්, භාෂාවේදීන්, කලාවේදීන් බිහි කළ සරසවියක් සිපිරි ගෙය තුළ නිර්මාණය කළා වූ ඉතිහාසයේ පළමු අයිතිකරුවෝ ඔවුහු ය. එහෙයින් එක් පසෙකින් එය වසන්තයක්ම ය. ජෙයපාලන් පැවසූ ලෙස 71 වසන්තයක් ම ය. 1905 පරාජයෙන් අනතරුව එ් පිළිබඳව ලෙනින් ගේ වචනයෙන් පැවසූ පරිදි ම ශ්‍රේෂඨ වූ පරාජයකි. 
1871 ලොව පළමු නිර්ධන පාන්තික රාජ්‍යය පිහිටවූ පැරිස් කොමියුනයේ පරාජයත් එම පැරිස් කම්කරුවන්ගේ නැගීසිටීමත් ලෝක නිර්ධන පන්ති අරගලය කෙරේ නව අත්දැකීමක් මගපෙන්වීමක් ලබා දුන්නා සේ ම එදිනින් සියවසකට පසු  ලාංකීය මහපොළොව මත එලෙස ම ආලෝකයේ් සලකුණු තබන්නේ 1971යි. පැරිස් කම්කරුවන්ගේ පරාජය සම්බන්ධයෙන් මාක්ස් කරන කතාබහේ දී විප්ලවීය අරමුණු ඉටු නොවුණත් අතිශයින් වැදගත් ඓතිහාසික අත්දැකීමක් ලෙස එය සලකුණු කරයි. ලෝක නිර්ධන පන්ති ව්‍යාපාරයේ ඉදිරි ගමන උදෙසා වැඩපිළිවෙළවල් සිය ගණනකට වඩා වැදගත් වූ එක් ප‍්‍රායෝගික පියවරක් ලෙසත් අත්දැකීමක් ලෙසත් විප්ලවවාදී ව්‍යාපාරයන්ට භාවිතාව හා න්‍යායන් පිළිබඳව පරීක්ෂා කර බැලීමට වූ අවස්ථාවක් ලෙසත් ඔහු විසින් එය අර්ථගන්වා ඇත. මෙවැනි පරාජයක් විප්ලවවාදී ව්‍යාපාරයට හොඳ පුහුණුවීමක් වෙයි. ජයග‍්‍රහනයේ සාර්ථකත්වය ලබාගත ලබාගත හැකි වෙන්නේ සෑම පරාජයක ම අත්දැකීම් හා පාඩම් තුළින් ය. 1917 ඔක්තෝම්බර් සෝවියට් සමාජවාදී විප්ලවයේ ජයග‍්‍රහනයට පෙර 1905 දී සිදු වූ විප්ලවයේ පරාජය සම්බන්ධයෙන් කෙරෙන කතාබහේ දී එය ශ්‍රේෂ්ඨ වූ පරාජයක් ලෙස ලෙනින් විසින් අර්ථගන්වන්නේ එ් නිසා ය. 
‘‘1905 වර්ෂයේ මෙම  ‘පුරුදුවීම’ නොමැති වී නම්, 1917 ඔක්තෝම්බර් විප්ලවයේ ජයග‍්‍රහනය කිසිසේත් නොලැබෙන්නට තිබුණි.’’
 71 යනු, අරගල කිරීමේ කලාව, විද්‍යාව සම්බන්ධයෙන් අත්දැකීම්, පාඩම් ගොන්නක් අප හමුවේ තබන්නකි. අඩුපාඩු අත්වැරදීම් කෙතෙක් තිබුණත් විප්ලවය සම්බන්ධයෙන් වූ විශ්වාසයත්, අරගලය තුළ වූ කැපකිරීම්, පරිත්‍යාගයන් යන මේ සියල්ල අන් හැමකටත් ම වඩා ඉදිරියෙන් තිබූවක් ලෙෂ එය හදුන්වන්න පුලූවන්. එහිදී සම්මුතිකාමීත්වය හමුවේ අසම්මුතිකාමී වීමත්, පාවාදීම වෙනුවට සටන් වැදීම තෝරාගැනීමත්, ඔවුන් සමාජය හමුවේ තැබූ පළමු ආදර්ශය වෙනව. එතෙක් ඉතිහාසය වෙනස් කරමින් සමාජවාදය දිනේවා යනුවෙන් වෙඩි උණ්ඩයට පපුව පාන්නට හැකි, සමාජවාදයේ ජයග‍්‍රහනයේ නාමයෙන් තම අවසන් හුස්ම වාතලයට මුසුකළ පළමු ආදර්ශය ලෙස ඔවුන් අපගේ හදවත් පතුලේ ගැඹුරු ම සටහනක් තබනව. සැබවින් ම ඔවුන්ට එලෙස කිරීමට හැකි වූයේ කෙලෙස ද? ඒ වෙනකක් නිසා නොව විප්ලවය පිළිබඳ ඔවුන් තුළ වූ පැහැදිලි විශ්වාසය නිසා ය. සමාජයේ පවතින සූරාකෑමේ පීඩාවට පිළිතුර ඇත්තේ ප‍්‍රතිසංස්කරණ තුළ නොව සමාජවාදය තුළ බවත් එ් සඳහා රාජ්‍ය බලය ලබාගත යුතු බවත් ඔවුන් දැන සිටි නිසා ය. සත්‍ය වශයෙන් ම ඔවුන් පවසන පරිදිම ‘විප්ලවය නාසය ඉදිරියෙන් තබාගෙන’ සටන් කරන්නට ශක්තිය ධෛර්ය එ් නිසා නිසාය. එහෙයින් 71 අරගලය ග‍්‍රාමීය ගොවි තරුණයාගේ පීඩිත භාවයට එරෙහිව වූ අදේශපාලනික නැගී සිටීමක් හෝ විප්ලවීය ව්‍යාපාරයක් විසින් කළ කලබලකාරී උසිගැන්වීමක් ලෙසත් හැඳින්වීම වැරදිසහගත වන අතර එය සමාජවාදය අරමුණු කරගනිමින් රාජ්‍ය බලය ලබා ගැනීම සඳහා වූ සංවිධානය වූ සන්නද්ධ නැගිටීමක් වෙනව. 
කෙසේ වෙතත් රාජ්‍ය බලය ලබා ගන්නේ කෙසේද යන කාරණයේ දී ඔවුනට අතහැරුණු මගහැරීගිය කාරණා ගණනාවක් වෙනව. රජ්‍ය සම්බන්ධයෙන් ඔවුන් තුළ වූ දුර්වල අවබෝධයත්, රාජ්‍ය බලය සම්බන්ධව වූ අවතක්සේරුවත් අරගලයේ පරාජය සම්බන්ධයෙන් බාධාකාරීව නැගී සිටි ප‍්‍රධාන කාරණයක් වෙනව. රාජ්‍ය බලය ලබා ගැනීමේ දී ඔවුන් තුළින් ප‍්‍රධාන වශයෙන් අවධානයට ලක් කෙරෙන්නේ පොලීසියට පහරදීම යි. ඇත්තෙන් ම අරගලයට සම්බන්ධ වූ බොහෝ දෙනෙකුගේ හැඟීම වූයේ පොලිසිවලට පහර දීමෙන් රාජ්‍ය බලය ලබාගත හැකි බවයි. නමුත් පොලිසිය යනු රාජ්‍යය තුළ වූ එක් උපකරණයක් පමණක් වන අතර රාජ්‍ය යනු නීතිය, අධිකරණය, හමුදා, සිරගෙවල්, මාධ්‍ය, සදාචාරය, සංස්කෘතිය, අධ්‍යාපනය, ආගම, විධායකය, ව්‍යවස්ථාදායකය වැනි මේ ආකාරයේ සියලූ දෘෂ්ටිවාදී හා මර්ධන උපකරණයන්ගේ පුලූල් එකතුවක් වෙනව. විප්ලවීය ජයග‍්‍රහනයක් ලබාගත හැකි වන්නේ මේ ආදී සියලූම ක්ෂේත‍්‍රයන් තුළ කෙරෙන එක හා සමාන අනවරත අරගලයකින් පමණි. එසේ නම් රාජ්‍ය සම්බන්ධයෙන් ඔවුන් තුළ වූ කියවීමේ තිබුණු ප‍්‍රමාණවත් නොවන බව මෙහිදී පැහැදිලි යි. එසේ ම බලය ලබා ගැනීම සම්බන්ධ කාරණයේ දී කුඩා කණ්ඩායමක් එක්ව එකවර කරන පහරදීමකින් කරන බලය ලබා ගැනීමක් කෙරේ කියුබානු අරගලය තුළ වූ ආභාසයන් ද, අරගලය තුළ තිබිය යුතු විද්‍යාත්මක ස්වභාවය ඔවුන් තුළින් අතහැරී යන ප‍්‍රධාන කාරණාවක් ලෙස තිබෙනව.
එසේ ම අරගලයේ නැගී සිටීම විප්ලවවාදී ව්‍යාපාරයක නැගීසිටීමක් නොවිය යුතු අතර එය නිර්ධන පාන්තික ජනතාවගේ නැගීසිටීමක් විය යුතු වෙනව. එමෙන්ම එම ජනතාව නැගී සිටින්නේ කුමකට ද? කෙලෙස ද ? යන්න ජනතාවට වඩාත් හොඳින් අවබෝධ වී තිබිය යුතු වෙනව. එහෙත් 71 සම්බන්ධ කතාබහේ දී අරගලය සම්බන්ධයෙන් සමාජයට පුලූල් අදහසක් තිබීනැහැ. සමහරුන් අරගලය සම්බන්ධයෙන් දැනගනු ලබන්නේ ද පසුවදා පුවත්පත් මගිනි. එ් හමුවේ ඔවුන් ත‍්‍රස්තවාදීන් ලෙස හංවඩු ගසන්නට හැකිවීමත්, ව්‍යාපාරය මර්දනයට විශේෂයෙන් එවකට සමාජවාදී රාජ්‍ය ලෙස පැවති රුසියාවේ හා චීනයේ යුධ උපකාර පවා ලබා ගැනීමට දේශීය ධනේෂ්වර පන්තියට හැකියාවත් ලැබෙනව” එසේනම් මේ සියල්ල තුළින් අවබෝධයට ගත යුතු වන්නේ විප්ලවවාදී ව්‍යාපාරයට ජනතාව (පන්තිය* සමඟ ඇති සම්බන්ධයේ වැදගත්කමයි. පන්ති අරගලය සාර්ථක වනු ලබන්නේ ජනතාව (පන්තිය* විප්ලවය කෙරේ සිදු කෙරෙන මැදිහත් වීම මත ය. විශේෂයෙන් 71 තුළ දී ව්‍යාපාරය හා පන්තිය අතර තිබූ දුරස් භාවයත් අරගලය තුළ වූ පන්තියේ කාර්යභාරය ව්‍යාපාරය විසින් පවරා ගැනීමත් තුළ වූ දේශපාලන වරද, අරගලය පරාජය කෙරෙහි බලපෑම් සහගත ප‍්‍රධාන කාරනයක්. 
එසේ ම වඩාත් සංවිධානාත්මක බලවේගයක් ලෙස සිටි නාගරික කම්කරු ප‍්‍රජාව එවකට පැරණි වමේ නායකත්වය හමුවේ සභාගවාදය තුළ ගිලී සිටීම තුළ ග‍්‍රාමීය හා අර්ධ නාගරික ප‍්‍රදේශයන්හි වූ උගත් රැුකියා විරහිත තරුණයා හා ශිෂ්‍යයා වැඩි වශයෙන් පක්ෂය  වටා එකතුවීමත්, ඔවුන් ව්‍යාපාරයේ නායකත්වයට පත්වීමත් හමු වේ. සුළු ධනේෂ්වර ප‍්‍රජාවක් ලෙසින් වන ඔවුන්ගේ පන්තිමය ස්වභාවයන් 71 අරගලයේ පරාජය හා සබැඳි මගහැර යා නොහැකි ඓතිහාසික තත්වයක් වෙනව. විශේෂයෙන් ම සුළු ධනේෂ්වර ප‍්‍රජාව තුළ පවතින කෙටි ක‍්‍රමවලින් විසඳුම් සෙවීමේ ස්වභාවය, පහසු ක‍්‍රම සෙවීමේ ස්වභාවය සහ ඔවුන් තුළ වන අති ධාවනකාරී එනම් වේගවත් නැගීසිටීම ව්‍යාපාරයට තේරුම්ගැනීමට නොහැකි වීමත් එය වඩාත් හොඳින් කළමනාකරණය කර ගැනීමට නොහැකි වීමත්, දේශපාලනික වශයෙන් තෙරුම් ගත යුතු  අනෙක් කාරනය  වෙනව
මෙලෙස වූ සියලූ වටපිටාවන් තුළත් අනෙක් පසින් විප්ලවවාදී ව්‍යාපාරයේ වූ ග‍්‍රාම්‍ය ස්වභාවයත් ලිහී විසිරුණු ස්වභාවයත්, අසංවිධානාත්මක බවත් ලාංකීය සමාජය තුළ උත්තරාරෝපිත ධනවාදය තුළ වූ නිර්ධන පන්තිය තුළ වූ ආසියාතික අගතීන් හා පසුගාමී භාවයන් යන කරුණු සලකා බලා 71 අරගලයේ පරාජය සම්බන්ධයෙන් වූ සංයුක්ත වූ කියවීමක් සහිතව” අඳුරෙහි ගිලූණු සමාජය හමුවේ නව සමාජවාදී ජීවිතයක් ලබා දීම උදෙසා සටන් වැදුණු අසම්මුතිකාමීන්ගේ ජීවිත කුසුම් 20,000 කට අධික ප‍්‍රමාණයක් රාජ්‍ය මර්දන යාන්ත‍්‍රණය විසින් උදුරාගනු ලබද්දී, ඔවුන්ගේ ජීවිතවලට විමුක්තිය ඉටු කිරීම උදෙසා නව සමාජවාදී ජීවිතයක් ඉල්ලා සිටිමින් මෙලෙස ඔවුන් අප හදවත් තුළ ගැඹුරු ම සටහනක් තබනව.
අධිරාජ්‍යවාදයට විනාශය ! සමාජවාදයට ජයග‍්‍රහනය ! නිර්ධන පන්තියට විජයග‍්‍රහනය !

0 comments:

Post a Comment