හේමාකට් නැගිටීම
අවුරුදු 126 කට පෙර එසේ එල්ලා මරන ලද්දේ ඇමෙරිකානු කම්කරු සටන්කරුවන් සිවු දෙනෙක්වය. 1886 මැයි මස පලමු දින එක්සත් ජනපදය සිසාරා දේශව්‍යාප්ත වැඩවර්ජනයක් හටගත්තේය. කම්හල් 1200 ක් පමණ වසාදමමින් රට පුරා කම්කරුවෝ 350 000 කට අධික පිරිසක් මේ වැඩවර්ජනයට සම්බන්ධ වූහ. චිකාගෝවේ ද මෙවැනි විරෝධතා පැවැති අතර වැඩවර්ජනයේ ඉල්ලීම වූයේ දවසක වැඩ මුරය පැය 8 කට සීමා කරනු යන්නයි. ඒ යුගයේ දිනෙක වැඩ දිනය සදහා නීත්‍යනුකූල සීමාවක් තිබුණේ නැත. ඇතැම් කම්හල්වල පැය 10 - 14 පමණ කාලයක් තිස්සේ කම්කරුවන්ගෙන් වැඩ ගන්නා ලදී. පැය අටේ වැඩ දිනය පිළිබද සටන් පාඨය කම්කරුවන් අතරින් මතු වූයේ මෙම අයහපත් සේවා තත්වයට එරෙහිවය. ලොව පුරා වැඩකරන ජනතාව අතර මේ යුගය වනවිට සටන්කාමී විප්ලවවාදී අදහස් දලූලමින් පැතිරී යමින් තිබූ අතර කොමියුනිස්ට්වාදය තවදුරටත් 1848 දී කාල් මාක්ස් ලියූවාක් මෙන් හුදු ‘‘අවතාරයක්‘‘ නොවීය. එය ලෙයින් මසින් සැදි ජීවමාන බලවේගයක් බවට කම්කරු ව්‍යාපාරය තුළ පත්වී තිබුණි.
1886 මැයි 03 දින චිකාගෝවේ වැඩවර්ජිත කම්කරුවන් 6000 ක් පමණ සහභාගී වූ රැස්වීමකට පොලිසිය වෙඩි තැබීය. එහිදී කම්කරුවෝ සිවුදෙනෙක් තුවාල වූහ. ඊට පසුදින එම ඝාතනයට විරෝධය පලකරමින් චිකාගෝවේ හේමාකට් නමැති ස්ථානයේදී කම්කරුවන් විසින් කැදවූ රැුලියට ද පොලිසිය පහර දුන් අතර එහිදී කම්කරුවෝ ද පෙරලා පහර දුන්හ. ගැටුම් වලින් එකොලොස් දෙනෙක් මිය ගිය අතර සිය ගණනක් තුවාල ලැබූහ. මහජන සාමය කඩ කිරීමේ ‘‘ වරදට ‘‘ ඕගස්ට් ස්පයිස් ඇතුලූ කම්කරු නායකයින් එකොලොස් දෙනෙක්ට එරෙහිව නඩු පැවරිණි. ජූරි සභාව ඇමතූ රජයේ අභිචෝදක තෙමේ මෙසේ පැවැසීය. ‘‘ අපගේ ආයතන බේරා ගන්න උදවු කරන්න. මේ මිනිසුන්ට දඩුවම් කරන්න. මොවුන්ව එල්ලා දමා සෙස්සන්ට ආදර්ශයක් දෙන්න.’’
මේ අනුව තීන්දුව නිකුත් විය. එක් අයෙක්ව වසර පහලොවක සිරදඩුවමකට යටත් කල උසාවිය සෙසු කම්කරු නායකයින්ව එල්ලා මැරීමට තීන්දු කලේය. 21 හැවිරිදි ලූවිස් ලින්ග් නමැති කම්කරුවා ජූරි සභාව අමතා මෙම තීන්දුවට ප‍්‍රතිචාර දැක්වූයේ පහත වචන වලිනි ‘‘ මම දැනට පවතින ක‍්‍රමයේ සතුරෙක්මි. මම එය නැවතත් කීමට මැලි නොවෙමි. මගේ මුලූ ශක්තිය යොදා, මා තුල හුස්ම පවතින තුරු - මම ඊට එරෙහිව සටන් කරමි. ඔබේ නීති, ඔබේ විධාන, ඔබේ බලාධිකාරය - මේ සියල්ල මම ප‍්‍රතික්ෂේප කරමි. අවශ්‍ය නම් මා එල්ලා දමනු ’’
පසුකාලීනව හේමාකට් සිදුවීම යනුවෙන් ලොව පුරා පතල වූයේ ඉහත සංසිද්ධියයි. 1889 ජූලි මාසයේ දී ෆෙඞ්රික් එංගලස්ගේ මූලිකත්වයෙන් දෙවන ජාත්‍යන්තරයේ පළමු සම්මේලනය පැරිසියේ දී කැදවුණු අතර එහිදී හේමාකට් හිදී ජීවිත පූජා කල කම්කරුවන් වෙනුවෙන් මැයි පළමු දින සැමරුම් දිනයක් ලෙස නම් කල යුතු බවට සම්මත විය. ඒ අනුව 1890 මැයි පළමු දින ලෝකය පුරා කම්කරුවෝ හේමාකට් සිදුවීම අනුස්මරණය කරමින් සැමරුම් පැවැත්වීම සදහා එක්රැස් වූවෝය. එදා සිට අද දක්වා වසර 124 ක් තිස්සේ ලොව පුරා වැඩ කරන ජනතාව තමන්ගේ සටන්කාමීත්වයේ දිනය ලෙස මැයි පළමු දින සමරත්.
ශ‍්‍රමයේ මහිමය
මැයි දිනය යනු ජාති, ආගම්, දේශසීමා යනාදී සකල විධ භේද ඉක්මවා ලොව පුරා ශ‍්‍රමය හෙලන ජනතාව එකට එක්වන අවස්ථාවකි. අද ලෝකය පුරා තහවුරු වී තිබෙන්නේ ධනවාදී සමාජ ක‍්‍රමයයි. ධනවාදය එය ජය ලබන සෑම තැනකදීම සමාජ සැකැස්ම වෙනස් කරයි. නිෂ්පාදන මාධ්‍ය, දේපළ යනාදිය හිමි ධනපති පංතියක් බිහි කරන එය අනෙත් අතින් ශ‍්‍රමය පමණක් හිමි, දේපළ අහිමි වැටුප් ශ‍්‍රමික පංතියක් බිහි කරයි. සිය කය හා මනස වෙහෙසමින් වැටුප් සදහා වැඩ කරන මේ නිර්ධන පංතිය හෙලන ශ‍්‍රමය සමකාලීන ලෝකයේ සෑම ධනයකම උල්පත වේ. ඇගලූම් කම්හල් වල, නාගරික සාප්පු වල, කන්තෝරුවල, ප‍්‍රාදේශීයව තිබෙන විවිධ කම්හල් වැඩපොලවල්වල, තේ වතුවල වැඩ කරන වැටුප් ශ‍්‍රමිකයන් නොවන්නට කර්මාන්ත හිමියෝ, ව්‍යාපාර හිමියෝ සහ ධනපතීහු ලාභ උපයන්නේ නැත. ඕනෑම කර්මාන්තයකින්, ව්‍යවසායකින්, සාප්පුවකින්, කන්තෝරුවකින් නිර්ධන පංතියේ ශ‍්‍රමය ඉවත් කරන්න. ඒ ශ‍්‍රමය රහිතව එක රුපියලක්වත් ලාභය ලෙස නොඋපදී.
මේ නිසා ලෝකයේ නිර්මාණය වන සෑම ධනයකම සැබෑ උරුමකරුවන් වන්නේ සිය බුද්ධිය හා කය වෙහෙසන වැඩ කරන ජනතාවයි. ඒත් ධනවාදී සමාජ ක‍්‍රමය යටතේ නිෂ්පාදනයට හා හුවමාරුවට යොදාගන්නා මාධ්‍යයයන් ගේ අයිතිය රැුදී තිබෙන්නේ එක් එක් ධනපතීන් අතේය. ඇගලූම් කම්හල්වල කම්කරු සහෝදරියන් දිවා ? වෙහෙස වී වැඩ කරති. ඩොලර් කෝටි ගණනක් වටිනා නිමි ඇදුම් නිපදවති. එහෙත් ඒවා නිපදවීමට යොදාගන්නා යන්ත‍්‍ර - කර්මාන්තශාලා යනාදිය අයිති ඇදුම් නිපදවීමට කිසිදු මහන්සියක් නොගන්නා ප‍්‍රාග්ධන හිමියෙන්ටය. ඒ නිසා අවසානයේ ශ‍්‍රමය විසින් නිපදවෙන කෝටි ගණනක නව වටිනාකම අයිති වන්නේ එම ධනපතියාටය. එලෙස උපයන අති මහත් ලාභයෙන් සොච්චම් කොටසක් ප‍්‍රාග්ධන හිිමියෝ වැටුප් ලෙස ශ‍්‍රමය වගුරන ශ‍්‍රමිකයන්ට පිරිනමති.
විද්‍යාව හා තාක්ෂණය මේ තරම් දියුණු වූ ලෝකයක දී වුව ඇති අය හා නැති අය අතර අති දැවැන්ත පරතරයක් ඇති වී තිබෙන්නේ මෙන්න මේ හේතුව නිසාවෙනි. එක් පසෙක අවීචි මහා නරකාදියය. තමන්ට ලැබෙන වැටුපෙන් ජීවිතය ගැට ගසා ගැනීමට නිර්ධනීහු පොර බදිති. විදුලි බිල ඉහල නගී. බස් ගාස්තු ඉහල නගී. පාසල් වලට අධ්‍යාපනයට මුදල් අය කෙරේ. ණය බර හට ගනී. ගෙවල් කුලී ගෙවන්නට සිදුවේ. අඩුපාඩු හිගකම් ගැන දරුවෝ කන්කෙදිරි ගාති. ජීවිතය පීඩාවකි. විවේකයක් නැත. එලිමහනට ගොස් නාට්‍යයයක් බලන්නට, ජිවිතය විදින්නට නෑදෑ හිතමිතුරන් හා විවේකීව දවසැරීමට වෙලාවක් නැත. ජීවිතයේ සතුටක් නැත. වසර එකසිය විස්සකට පෙර හේමාකට්හි කම්කරුවෝ වැඩ වැරුවේ පැය අටකට වැඩ දිනය සීමාකරන්ට ඉල්ලමිනි. අද ආයතනවල ශ‍්‍රමිකයෝ ඉල්ල ඉල්ලා අතිකාල සේවාවේ යෙදෙති. පසුගිය සියසක කාලය තුළ තාක්ෂණය කෙතරම් දියුණු වී තිබේද? තාක්ෂණය දියුණු වීමත් සමග හරි නම් සිදුවිය යුත්තේ වැඩ කාලය අඩුවීමය. ජීවිතයේ විවේකය වැඩි වීමය. එහෙත් සිදුව තිබෙන්නේ කුමක්ද? විද්‍යාව හා තාක්ෂණය ජය පිට ජය ලැබුවත් ඒ මිනිස් ජයග‍්‍රහණයන්ගේ ප‍්‍රතිලාභ වැඩකරන පංතියේ මිනිසාට - නිර්ධනයාට හිමි වී නැත. අධික ලෙස වැඩ කලත් ලැබෙන අඩු ආදායම් සමග ජීවිතය සමග පොරබදිමින් ඔවුහු අවීචි මහා නරකාදියක දවසරිති.
අනෙත් පසින් සුර ලොවය. එය සමාගම් හිමියන්ගේ, ධනපතීනගේ සහ ඔවුන්ගේ නෑදෑ හිත මිත‍්‍රාදීන්ගේ ලෝකයයි. මහ මැදුරු, නාන තටාක සහිත නිවාස, ජාත්‍යන්තර පාසල්, කැසිනෝ ශාලා සහ ගොල්ෆ් තරග වලින් අලංකෘත වූ මනෝරම්‍ය ජීවිතයක් ඔවුහු ගතකරති.
ශ‍්‍රමයේ අභියෝගය
සිය ජීවිතය තුළ නිර්ධනයා මුහුණ දෙන සැබෑ ප‍්‍රශ්න, සැබෑ පීඩාව යට ගැසීමට ධනපති සමාජය විවිධ මෝහනීය උපක‍්‍රම ක‍්‍රියාවට නංවයි. සිය ජනමාධ්‍ය, විනෝදාස්වාද කර්මාන්තය, ආගම යනාදිය පාවිච්චි කරමින් ඔවුහු නිර්ධනීන් විසිතුරු ලෝකයක රදවති. පීඩිත පංතියේ සැබෑ ප‍්‍රශ්න විසදීමට අසමත් නිසා ඔබද ලක්ෂපති මමද ලක්ෂපති, සුපර් ස්ටාර් යනාදී සංදර්ශන හරහා පීඩිත පංතියේ එක් එක් අහඹු වාසනාවන්තයින් ‘‘තෝරා‘‘ ඔවුන්ට යාන වාහන, ගෙවල් දොරවල් තනාදී සාර්ථකත්වය යනු එය යැයි සෙසු පීඩිතයින්ටත් ඔවුහු පවසති. එමතු ද නොවේ. ධනේශ්වර පාලකයෝ තරගයට මෙන් ජාතිවාද හා ආගම් වාද අවුලති.වපුරති. නිර්ධනීන් පංතියක් ලෙස එක්සත් වීම වැලැක්වීම සදහා ඔවුන් ජාති ආගම් පදනම් වලින් බෙදාවෙන්කිරීමට ඔවුහු නිරන්තරයෙන් උත්සාහ කරති. හලාල් ප‍්‍රශ්න, කුරගල ප‍්‍රශ්න යනාදී ලෙස අනවශ්‍ය ගැටලූ පාලකයින්ගේ වියදමින් රට තුළ මතුකරමින් සිංහල හා මුස්ලිම් පීඩිත ජනතාව උනුන් කෙටවීමට මේ දිනවල දැරෙන ප‍්‍රයන්තනය මේ සදහා කදිම නිදසුනකි.
මේ නිසා සියවසකට එපිටදී යහපත් ජීවිතයක් වෙනුවෙන් චිකාගෝ කම්කරුවන් ඉදිරියේ තිබූ අභියෝගය අදද ලංකාවේත් ලෝකය පුරාත් වැඩකරන පංතියේ ජනයා අභිමුව අභියෝගයක් ලෙස එලෙසමැ පවතී. 2013 මැයි දිනය එලැඹෙන්නේ ලෝක ධනවාදය දැවැන්ත අර්බුදයක් තුලට ඇතුලූ වී සිටින මොහොතකය. මාක්ස් හෙලිදරවු කළ පරිදි ලාභ අරමුණ මත පදනම් වූ ධනවාදී ආර්ථික ක‍්‍රමය අර්බුදයන්ට ලක්වීමේ අනිවාර්යය ස්වභාවය දරා සිටින්නේය. ආර්ථික අර්බුදය දරුණු ලෙස බලපාන්නේ වැඩ කරන පංතියේ ජනතාවටය. යුරෝපයේ ආර්ථික අර්බුදය නිසා රැුකියා අහිමි වූ, නිවාස අහිමි වූ, දුර්දශාවට ගොදුරුව සිටින ජනතාව මේ මොහොතේ ලක්ෂ ගණනින් වීදි බැස සිටිති. වැඩවර්ජන පිට වැඩවර්ජන කැදවමින් ග‍්‍රීසියේ,ස්පාඥ්ඥයේ, පෘතුගාලයේ කම්කරු පංති ජනතාව එරට ආණ්ඩු සමග සෘජුව ඝට්ටනය වෙමින් සිටිති. මෙම වසර ආරම්භයේදී අසල්වැසි ඉන්දියාවේ දැවැන්ත වැඩවර්ජනයක් පුපුරා ගිය අතර ලක්ෂ සංඛ්‍යාත ඉන්දීය නිර්ධනීහු තමා පෙලන පීඩාකාරී ජීවන තතු කෙරෙහි විරෝධය පාමින් එහිදී මහමග විරෝධතා දැක්වූහ.
ලෝකය පුරා ධනවාදයේ අර්බුදය විසින් ඇවිලවූ පංති සටන් රැුල්ලක් හමා යන මේ මොහොතේ , මේ මැයි දිනයේ ලාංකීය වැඩකරන පංතියේ ජනතාව ඉදිරියේ ඇත්තේ අභියෝගයකි. පාලක පංතියේ දෘෂ්ටිවාද වලට මෝහනය වී, සිය ජීවිතයේ පීඩාව විදදරාගෙන නිහඩව සිටිමින් ක‍්‍රමය ඉදිරියේ යටත් වීම හෝ ක‍්‍රමයට එරෙහිව සටන් වදිමින් ලොව පුරා වැඩකරන ජනයා අරඹා තිබෙන අරගල මාලාවේ කොටස්කරුවෙක් බවට පත්වීම. මේ විකල්ප දෙකෙන් එකක් තෝරාගත යුතුව ඇත. 1886 හේමාකට්හි දිවි පිදූ කම්කරුවන්ගේ රුධිරයෙන් රතු පැහැ ගැන්වුණු නිර්ධන පංති සටන්කාමීත්වයේ ධජය සිය මැයි දින පණිවුඩය ලෙස රණකාමීව අපට හඩගා කියන්නේ ඉන් දෙවැනි විකල්පය තෝරාගන්නා ලෙසයි. යටත් වීම වෙනුවට සටන් කිරීම තෝරාගන්නා ලෙසයි.
0 comments:
Post a Comment