Sunday, August 11, 2013

වහළුන්ට වෙන්දේසි වටිනාකම් ලබා දීම උදෙසා නව තාක්ෂණ විෂය ධාරාව


උසස් පෙළට හඳුන්වාදීමට නියමිත තාක්ෂණ විෂය ධාරාව සම්බන්ධව සැලකිය යුතු තරම් කතිකාවක් රට තුළ නිර්මාණය වී ඇත. උසස් පෙළ හදාරණ සිසුන් තුළ යම් බලාපොරොත්තුවක් ගොඩනැන්වීමටත් අධ්‍යාපනය සම්බන්ධ අපකීර්තිමත් තතු අකා මකා දැමීමටත් එම ව්‍යාපෘතියට හැකියාව ලැබේද? 
බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයාට අනුව තාක්ෂණ විෂය ධාරාව නිසා සිසුන්ට ජීවිතය මුණගැසෙනු ඇත. කලා විෂයයන් හදාරා තවත් ජීවිත කාලකන්නි කර ගත යුතු නැති අතර හඳුන්වාදී ඇති තාක්ෂණ විෂය ධාරව හරහා ඒ සියල්ලටම විසඳුම් ලැබෙනු ඇත.
මෙය අධ්‍යාපනයේ මහා හැරවුමක් යැයිද කියනු ලැබේ. මෙකී අදහස් උදහස් මැද මේ ‘‘ආශ්චර්යයමත් අධ්‍යාපනික විප්ලවය’’ එනම් නව තාක්ෂණික විෂය ධාරව, රටේ අධ්‍යාපනයත් සිසුන්ගේ අනාගතයත් ගෙන යනු ඇත්තේ කෙබඳු අන්තයක් කරා ද යන්න විමසා බැලීම වටී.
වාර විභාග ප‍්‍රශ්න පත‍්‍රයක් වත් හරි හැටි මුද්‍රණය කරගත නොහැකි අඥාන පාලකයන්ට හදිසියේ මෙවැනි ඥානයක් පහළ වූයේ කෙසේදැයි යන්න පසෙක තබා මේ නව විෂය ධාරාව කුමක්ද සහ එහි හැඩහුරුකම් කෙසේද යන්න පිළිබඳව මුලින්ම සොයා බැලිය යුතුය.
මෙම විෂය ධාරාව හඳුන්වාදීමේ මූලික අරමුණ වී ඇත්තේ රැකියා වෙළෙඳපොළ ඉලක්ක මානව සම්පත් බිහි කරගැනීමයි. කලා විෂය ධාරාවන්ගෙන් උසස් පෙළ හදාරණ ප‍්‍රතිශතය ඉහළ යාමත් එම විෂය ධාරාවන්ගෙන් බිහිවන උපාධිධාරීන් රැකියා වෙළඳපොළ සඳහා අවශ්‍ය සුදුසුකම් සැපිරීමට අසමත් වීමත් මේ නව ප‍්‍රතිසංස්කරණ සඳහා බලපා ඇති බව ද කියනු ලැබේ.
මෙම විෂය ධාරාවට අදාල ප‍්‍රධාන විෂයයන් තුන වන්නේ ඉංජිනේරු තාක්ෂණවේදය හෝ ජෛව පද්ධති තාක්ෂණවේදය යන විෂයයන් අතරින් එකක්, තාක්ෂණ වේදය සඳහා විද්‍යාව, වාණිජ හා කලා විෂය ධාරාවන්ට අයත් විෂයයන්  දහයකින් තෝරාගනු ලබන එක් විෂයක් යන විෂයන් වේ.
ඉංජිනේරු තාක්ෂණ වේදය විෂයයට සිවිල් ඉංජිනේරු, යාන්ත‍්‍රික ඉංජිනේරු හා විදුලි ඉංජිනේරු යන විෂයයන්ද, ජෛව පද්ධති තාක්ෂණ විෂය යටතට කෘෂිකර්මය, පශු තාක්ෂණය, ආහාර තාක්ෂණය, පසු අස්වනු තාක්ෂණය  යනාදී විෂයයන්ද අන්තර්ගත වේ.
තාක්ෂණවේදය සඳහා විද්‍යාව යන විෂය යටතට ක්ෂුද්‍ර ජීව විද්‍යාව, ජීව රසායන විද්‍යාව, අමුද්‍රව්‍ය හා කර්මාන්ත, ප්ලාස්ටික ප‍්‍රතිචක‍්‍රීකරණ ක‍්‍රියාවලිය, සෙරමික්, වීදුරු හා නැනෝ තාක්ෂණය හැඳින්වීම, කාර්මික රසායන විද්‍යාව හා ශ‍්‍රී ලංකාවේ රසායනික කර්මාන්ත, මූලික ගණිත සිද්ධාන්ත පුනරීක්ෂණ, ත‍්‍රිකෝණමිතිය, ජ්‍යාමිතිය, මූලික කලනය, විස්තරාත්මක සංඛ්‍යානය, දෛශික හැඳින්වීම, බලය, දෘඩ වස්තුවල සමතුලිතය, ව්‍යාවර්තනය, පීඩනය, නිව්ටන්ගේ නියම, ගුරුත්වාකර්ෂණය, භ‍්‍රමණ චලිතය, පරිගණක මෘදුකාංග යෙදවුම්, අන්තර් ජාල, ඊ-මේල්, දෘඩාංග පිළිබඳ මූලධර්ම, මූලික මෙහෙයුම් පද්ධතිය හා මෙහෙයවීම, අමුද්‍රව්‍යවල ගුණ, තරල ගුණ, ඉලෙක්ට්‍රොනික විද්‍යාව, විද්‍යුත් චුම්බකත්වය, තාපය, තරංග යන විෂයයන් අයත් වන අතර මෙම විෂය හැදෑරීම අනිවාර්යය වේ. කලා හා වාණිජ විෂය ධාරාවන්ට අයත් තෝරාගත යුතු විෂය ලැයිස්තුව වන්නේ ආර්ථික විද්‍යාව, භූගෝල විද්‍යාව, ගෘහ ආර්ථික විද්‍යාව, ඉංග‍්‍රීසි, සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය, චිත‍්‍ර කලා, කෘෂි විද්‍යාව, ගිණුම්කරණය, ව්‍යාපාර අධ්‍යයනය යන විෂයන්ය.
මෙම විෂය ධාරාවන්ට අදාළව විශ්වවිද්‍යාල තුළ පාඨමාලා 40ක් ආරම්භ කරන බවට කියවෙන අතර වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ පාඨමාලා හැදෑරීමේ අවස්ථා ලැබෙන බව ද කියති.
ද්විතීයීක පාසල් 244 ක මෙම නව විෂය ධාරාව හඳුන්වාදීමට කටයුතු කරන බව පැවසෙන අතර එම පාසල් මැතිවරණ කොට්ඨාශයකට එක බැගින් තෝරාගන්නා බව කියති. දැනට උසස් පෙළ විෂය ධාරාවන් හදාරණු ලබන සංයුතියෙහි විශාල වෙනසක් මේ තුළින් අපේක්ෂා කරනු ලබන අතර රැුකියා වෙළෙඳපොළ සඳහා නොවැදගත් යැයි පාලකයන් විසින් තක්සේරු කරනු ලබන කලා විෂයයන් හැදෑරීමේ ප‍්‍රතිශතය 52% සිට 25% දක්වා අඩු කිරීම මූලික ඉලක්කය වී තිබේ. විද්‍යා, ගණිත හා තාක්ෂණ විෂය ධාරාවන් 40% දක්වා ද වාණිජ විෂය ධාරාව 35% දක්වා ද ඉහළ නැංවීමට ද මෙයින් බලාපොරොත්තු වේ.
පසුගිය වසර කිහිපයක කාලපරිච්ෙඡ්දය තුළ අධ්‍යාපනයට අදාළව කෙරුණු ප‍්‍රතිසංස්කරණ කොතෙක්ද යන්නත් ඒවා තුළින් අපේක්ෂා කරන්නේ යැයි කියා අල්ලේ මවා පෑ සිහින කොතරම් සොඳුරු ද යන්නත් අපි දනිමු. එහෙත් මේ කිසිවක් යථාර්ථයක් නොවූ බව අත්දැකීම් විසින් සනාථ කර ඇත.
මේ කිසිඳු ප‍්‍රතිසංස්කරණයක් එය විසින් පුරෝකථනය කළ අපේක්ෂිත ඉලක්ක කරා ලඟා වී නැතුවා පමණක් නොව ඒවා සාධනයෙහි ලා බලධාරීන් කිසිඳු මෙහෙයවීමක් ද කර නැත. සිදුවී ඇත්තේ අධ්‍යාපන පද්ධතිය දිනෙන් දින පරිහානියට යමින් බෙලහීනත්වයට පත්ව සමාජ අපේක්ෂා බිඳ දැමීම පමණි.
එහිදී සිදුවූ එක් දෙයක් පමණක් අපි දනිමු. එනම් ඒ ප‍්‍රතිසංස්කරණ පිටුපස සැඟව ගත් පාලක පංතියේ ආර්ථික අවශ්‍යතා වෙනුවෙන් අධ්‍යාපන පද්ධතිය තුළ පැවතිය යුතුම සාරය අහිමි කර දැමීමයි. එනම් විචාරශීලීත්වය, නිර්මාණශීලී චින්තනය, ශිෂ්‍යා තුළ තමා සමාජයේ හා සොබාදහමේ සමාන කොටස්කරුවකු යැයි වන හැඟීම, වාර්ගික හා ජාතික සීමාවන්ගෙන් ඔබ්බට ජාත්‍යන්තර පුරවැසියකු ලෙස කල්පනා කිරීමේ හැකියාව, තමාද අයත් මිනිස් සමාජය වඩා යහපත් තැනක් බවට පරිවර්තනය කරගැනීම වෙනුවෙන් ලෝකය තේරුම්ගැනීමට හා එය වෙනස් කිරීමට අවශ්‍ය දැනුම සොයායාමේ හා ඒ වෙනුවෙන් හැදෑරීමේ පිපාසාව, ලෝකය වඩාත් නිර්මාණශීලී ලෙස ප‍්‍රතිනිර්මාණය කිරීමේ වගවීම යනාදී ගුණාංග සිසුවා තුළ වගා කිරීම මෙයින් මඟ හැරී ගියේය.
උක්ත සියලූ වටිනාකම් හා ශිෂ්‍යා තුළ අනිවාර්යයෙන් වර්ධනය කළ යුතු සක්‍යතාවයන් අත හැර දමා රැුකියාවක් සඳහා සහතිකයක් ලබාගැනීම (එයද තම අභිමතයට හා රචිකත්වයට ගැලපෙන හා තෘප්තියෙන් කළ හැකි හා මානව සමාජයට හොඳින් සේවය කළ හැකි රැුකියා-වක් නොව අනෙකාට වඩා රුපියලක් හෝ වැඩියෙන් ඉපැයිය හැකි හා ධනේශ්වර වෙළෙද පොල විසින් උත්කර්ශයට නගන ලද ව්‍යාජ වටිනාකම් අත්පත් කර ගත හැකි     රැකියාවක් වේ) දක්වා පිරිහෙලන ලදි. මේ නව තාක්ෂණ විෂය ධාරාව හඳුන්වාදීමේ අරමුණ ද එය මිස අන් යමක් නොවේ.
ඒ අනුව නව තාක්ෂණ විෂය ධාරාව හඳුන්වාදීම කොහෙත්ම ලංකාවේ අධ්‍යාපන බලධාරීන්ගේ මොලේ පෑදීමේ ප‍්‍රතිඵලයක් හෝ විරැුකියාවෙන් පීඩා විඳන කලා උපාධිධාරීන් දැක උපන් සානුකම්පාව නිසා සිදුවූවක් නොවේ. අද එය වත්මන් සමාජ ආර්ථික ක‍්‍රමයට අදාළව ගෙවා දමමින් සිටින නිශ්චිත ඓතිහාසික මොහොතෙහි අධ්‍යාපනය පිළිබඳ ලෝක දෘෂ්ටිය තුළින් ජනිත වන්නකි. නවලිබරල් ආර්ථික අවශ්‍යතා තුළින් ඒවා සංයුක්ත වේ.
ලංකාවේ මුග්ධ පාලකයන්ට හෝ වන්දි බට්ට අධ්‍යාපන බලධාරීන්ට වගේ වගක් නැතත් ලෝකයේ බොහෝ රටවල ප‍්‍රගතිශීලී බුද්ධිමත්හු හා අධ්‍යාපනවේදීහු වෙළෙඳපොළ ලාභ අරමුණු කේන්ද්‍රගත මේ ප‍්‍රතිසංස්කරණ දැක බොහෝ සේ කම්පාවට පත්ව සිටිති. ඒ තුළින් ජනිත වන අනාගත ශිෂ්ඨාචාරමය හා මානුශ අර්බුදය දැක ඔවුහු මේවා බැහැර කරති. අධ්‍යාපනය පිළිබඳ වඩාත් පළල් හා පුළුල් නිර්වචන ඇතත් හා සමාජයේ පොදු යහපත අපේක්ෂා කරතත් යථාර්ථයේ දී එයින් සිදුවන්නේ එකී අධ්‍යාපන ක‍්‍රියාවලිය අයත් නිශ්චිත සමාජ ආර්ථික ක‍්‍රමයට මිනිසුන් අවනත කර ගැනීම පමණකි. මෙය ඇරිස්ටෝටල් නැමති දාර්ශනිකයාගේ වචනවලින් කිවතොත්, රාජ්‍යයෙහි හා එහි සුබසිද්ධියට බාදාකාරී නොවන පුද්ගලයෙකු ශික්ෂණය කර ගැනීම පංති සමාජය තුළ අධ්‍යාපනයෙන් සිදු වේ.
ඒ අනුව පැහැදිලි වන්නේ අධ්‍යාපනය තුළින් පවත්නා නිෂ්පාදනීය හා සමාජ සබඳකම් ප‍්‍රශ්න නොකරන හා ඒවා හිස්මුදුනින් පිළිගන්නා මිනිසකු (දෘෂ්ඨිමය වහලෙකු) නිර්මාණය කිරීම පන්ති සමාජය තුළ අධ්‍යාපයේ ඉලක්කය වී ඇති බවයි. එය ඓතිහාසික සත්‍යයක් වන අතර වත්මන් නවලිබරල් ධනවාදයට අදාළවද යථාර්ථය එයයි. අද සිදුවන අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ සිදුවන්නේ ඒ අනුවය.
ශාස්ත‍්‍රීය අධ්‍යාපනයෙහි කප්පාදුවීමත් වෙළඳපොළ ඉලක්ක කළ ලාභ අරමුණු කර ගත් විෂයයන් කෙරෙහි වැඩි ආකර්ෂණයක් ඇති වීමත් එහි ප‍්‍රතිඵලයකි. අද මෙය ලෝක පරිමාණයෙන්ම වේගවත්ව සිදුවන්නක් වන අතර එය විසින් සමාජමය වශයෙන් නිර්මාණය කරනුයේ බලවත් අනතුරකි.
එනම් මෙකී ප‍්‍රතිසංස්කරණ තුළ මානව සමාජයේ යහ පැවැත්ම සඳහා වන මානුෂීය ලක්ෂණ හා මිනිස් සාරයන් සිසුවා තුළින් මුලිනුපුටා දමන බැවිණි. මිනිසකු වඩා පරිපූර්ණත්වයට පත්වීම සඳහා අවැසි සක්‍යතාවන් වර්ධනය කිරීමට කලා විෂයයන් හැදෑරීම තුළින් ලැබෙන පිටුවහල අතිමහත්ය. එයින් විතැන්වීම තුළ සිදුවන ඇත්තේ සජීවී මිනිස් පෞරුෂයන් නිර්මාණය වීම වෙනුවට මිනිසා යාන්ත‍්‍රිකත්වයට පත්වීමයි. ලෝකයේ බොහෝ රටවල් කරන ලද අවිචාරවත් ප‍්‍රතිසංස්කරණ හේතුවෙන් සිදුව ඇති විනාශය පිළිබඳව උදාහරණ අනන්තවත් ඇත. එහෙත් අද ලංකාව තුළ ඒවා ඒ ආකාරයෙන්ම සිදුකරමින් ඒ විනාශකාරී ප‍්‍රතිසංස්කරණ ඊනියා ප‍්‍රචාරයන් හරහා සුජාතකරණය කිරීම දැකගත හැකිය. තාක්ෂණ විෂය ධාරාව හරහා සිදුකරනු ලබන්නේ ද එයම පමණි. කලා විෂයයන් හැදෑරීම කරුමයක් හෝ ජීවිතය වරද්දා ගැනීමක් ලෙස සිතීම නවලිබරල් ධනවාදී සන්දර්භයක් තුළ පුදුමයට කරුණක් නොවෙතත් මෙම විෂයයන් කප්පාදු කර දැමීම තුළ හා ඒවා කෙරෙහි වන උනන්දුව සමාජයෙන් වියැකී යාම තුළ සිදුවන විනාශය සුළු පටු නැත. ලාභ පිපාසාවෙන් පෙළෙන පාලකයන්ට ඒ පිළිබඳ අවබොධයක් හෝ සංවේදීතාවක් නැත. එය වත්මන් නව ලිබරල් ධනවාදය තුළ පොදු යථාර්ථයයි. එයින් මගහැරී යනු ඇත්තේ ශිෂ්ඨාචාරමය හා රැුකගත යුතුම උසස් මානව පරමාදර්ශයන් වීම කණගාටුවට කරුණකි.
විචාර බුද්ධියත්, තාර්කික මිනිස් ක‍්‍රියාකාරීත්වයත් සංකීර්ණ හා වඩා සංවේදී මිනිස් සබඳතා සඳහා අවැසි අනෝන්‍ය අවබෝධයත් මිනිසා එකිනෙකාට සහ මානව සමාජයට වග වන උදාර මිනිස් ගුණාංගත් මානව ශාස්ත‍්‍ර හා සමාජ විද්‍යා විෂයයන්, එනම් කලා විෂයන් තුළින් සිසුන් තුළ ප‍්‍රගුණ කෙරෙන බව නොදන්නා හා එවැනි ගුණයන් සිසුන් තුළ වර්ධනය කිරීම මානව සමාජයේ ඉදිරි යහ පැවැත්ම වෙනුවෙන් අත්‍යාවශ්‍ය වන බවත් නොදන්නා පාලකයන් ලාභ උපරිම කර ගැනීමේ වියරු ආශාවෙන් සිදුකරනු ලබන මෙවන් ප‍්‍රතිසංස්කරණ මානව සමාජය තුළ සුවිසල් ඛේදවාචකයක් නිර්මාණය කරන බව අප තේරුම් ගත යුතු අතර එම අනතුර පරාජය කිරීම සඳහා සවිඥානිකව මැදිහත්විය යුතුය.
අධ්‍යාපනයේ මුඛ්‍ය අරමුණ විය යුත්තේ අනාගත ආර්ථික සුරක්ෂිතතාව පමණක් නොවන අතර පුද්ගලයා තුළ මානුශ සංවර්ධනය එහිදී මූලික විය යුතුය. හෙගලියානු අදහසට අනුව කියවෙන ස්වයං ශික්ෂණය උදෙසා හැදෑරීම අවැසි වන්නේ එකී පුද්ගල සංවර්ධන අභිමතාර්ථයන් සාධනය සඳහායි. අධ්‍යාපනය තුළ පාලකයන් විසින් අවධාරණය කරනු ලබන ශික්ෂණය හෝ අනාගත ආර්ථික සුරක්ෂිතතාව පිළිබඳ මිත්‍යාව (රැුකියාවක් සඳහා සූදානම් කිරීම* මිනිස් ජීවිත සතුටුදායක පරිසමාප්තියක් කරා රැුගෙන යන්නේ නැත. ආර්ථික සුරක්ෂිතතාව ලෙස අවිචාරවත් වහල් ශ‍්‍රමිකයන් සිය ලාභය උදෙසා ශ‍්‍රම සූරාකෑම පහසු කර ගැනීම වෙනුවෙන් බිහි කරගැනීමත් ධනේශ්වර අධ්‍යාපනික ශික්ෂණය තුළ එකී සූරාකෑම හා වහල්භාවය සඳහා වන මානසික සුදානම සිසුන් තුළ ඇති කිරීමත් සිදු කෙරේ.
ජීවිතයේ සැබෑ විමුක්තිය දිනා ගත හැක්කේ බන්දුල ඇමතිවරයාගේ වචනවලින් කිවහොත් දරුවන්ට ජීවිතය මුණගැසෙනු ඇත්තේ ස්වයං ශික්ෂණය උදෙසා හැදෑරීම සඳහා සුදුසු වටපිටාවක දී මිස එයින් විනිර්මුක්ත පරිසරයක දී නොවේ. මෙහි දී ගොඩ නැගෙන ශික්ෂණය යනු හුදු පාලක පන්තියට අවනත වීම හෝ පවත්නා යථාර්ථය වැලඳ ගැනීම හෝ නොවේ. යථාර්ථය තේරුම් ගැනීම තුළ හා තමාගේ තැන හා තමා සමාජයේ ස්ථාපිත විය යුතු තැන නිවැරදිව වටහා ගැනීම තුළ ලබන ශික්ෂණයකි. එම ශික්ෂණය ගොඩ නැගෙනු- යේ අනෝන්‍ය වහල්භාවය මත නොව අනෝන්‍ය අවබෝධය මතයි. එවැනි ශික්ෂිතයෝ පවත්නා ඊනියා සංස්ථාපිතයන් බිඳ දැමීමට කටයුතු කරනු ඇති අතර සැබෑ ආර්ථික ජීවිතයක් හා මිනිස් සාරයන් සොයා අරගල බිමට ප‍්‍රවේශ වනු ඇත. මිනිස් සමාජයට හා මානව වර්ගයාට අසීමිතව පේ‍්‍රම කරන ඔවුහු සමාජයේ මිනිස් ජීවිත යහපත් කරගැනීම වෙනුවෙන් ඊනියා සංස්ථාපිතයන් බිඳ දමනු ඇත.
එය පවත්නා සමාජ ආරථික ක‍්‍රමයේ පැවැත්මට මාරාන්තික වනු ඇති අතර වත්මන් අධ්‍යාපන ක‍්‍රියාවලිය තුළ එවැනි ශික්ෂණයකට කොහෙත්ම ඉඩ නැත. ඒ වෙනුවට සිදුවන්නේ පාලක පංතියේ පහත් ලාභ අපේක්ෂා වෙනුවෙන් අධ්‍යාපන පද්ධති තවතවත් බාල්දු කරමින් කප්පාදු කර දැමීමයි. මෙම තාක්ෂණ විෂය ධාරාවන් හඳුන්වාදීම ද තේරුම් ගැනීමට සිදුවන්නේ එකී සංදර්භය තුළ වන අතර මේ තුළින් සිදුවනු ඇත්තේ මවාපාන කිසිවක් නොව ඊට හාත්පසින් ප‍්‍රතිවිරුද්ධයයි. එසේම මෙම විෂය ධාරාව හඳුන්වාදීමෙන් වුවද සිදුවන ප‍්‍රගතියක් නැත යන්න පවත්නා යථාර්ථය තුළ වුවද තේරුම්ගත හැකිය. මන්ද යත් ගණිත විද්‍යා විෂය ධාරාවන් හැදෑරූ සිසුන් ද අද කොතෙකුත් අනාථව සිටිති. එම විෂයන්ට අදාළව ද ශාස්ත‍්‍රීය පැත්තට වඩා වැඩි අවධානයක් ඇත්තේ වෘත්තිමය පාර්ශ්වයට පමණි. එය විශ්වවිද්‍යාලවල වෛද්‍ය හා ඉංජිනේරු පිඨවලට අධික ඉල්ලූමක් පැවතීමත් විද්‍යා පීඨ හා කෘෂි පීඨ පුරප්පාඩුවලින් පිරී තිබීමත් තුළ තේරුම් ගත හැකිය.
විශ්වවිද්‍යාලවල විද්‍යා පීඨවල බොහෝ පුරප්පාඩු ඇතත් ඒවාට පැමිණීමට සිසුහු උනන්දුවක් නොදක්වති. පාලකයන් ද ඒ පිළිබඳව අවධානය යොමු කරන්නේ නැත. එවැනි තත්ත්වයක් තුළ විද්‍යා, ගණිත හා තාක්ෂණ විෂයයන් හැදෑරූ පමණින් විමුක්තිය උදා වේ යැයි කීම ජනතාව ගොනාට ඇන්දවීමේ උත්සහයක් නොවන්නේ නම් නොදන්නා කම ප‍්‍රදර්ශනය කිරීමක් පමණි. අවසානයේ දී සිදුවනු ඇත්තේ සිසුන්ට ජීවිතය මුනගැසීම නොව මෙවැනි ප‍්‍රතිසංස්කරණ හරහා කලා විෂයන්  කප්පාදු කිරීමේ ප‍්‍රතිඵලයක් ලෙස විචාරශීලී හා නිර්මාණශීලී නොවන හා වහල් ශ‍්‍රමිකයන් බිහිවීමේ ප‍්‍රතිඵලයක් ලෙස රටක් සමාජයක් ලෙස ශිෂ්ටාචාරමය අර්බුදයකට යාමත් සමාජය එක තැන පල් වීම හා වහල්භාවය කරා ගමන් කිරීමත්ය. එය තේරුම් ගැනීමත්, වෙනස් කිරීම සඳහා වන දැනුවත් ප‍්‍රවේශයක් ගැනීමත් මෙහිදී අතිශය වැදගත් වේ.

0 comments:

Post a Comment