Thursday, August 25, 2016

කප්පාදුව ,අරගලය සහා මර්දනය







කතුවැකිය

ධනපති පංතිය නව ලිබරල් ආර්ථික ප‍්‍රතිපත්තිය වේගයෙන් ක‍්‍රියාත්මක කරනවා. ඒ ලාබ උපරිම කිරීම සඳහයි. නමුත් මේ ලාභ උපරිම කිරීමේ ක‍්‍රියාවලිය ස්වාභාවික සිදු වන්නේ නෑ. ඒ සඳහා ඔවුන් දැනටමත් සිය ආධිපත්‍යට යට නොවු වෙළඳපොළවල් අල්ලා ගැනීමත්, එසේම වෙළඳ පොළ අරමුණු වෙනුවෙන් පවත්වාගෙන නොයන ඇතැම් ක්‍ෂේත‍්‍ර වෙළදපොළ අරමුණු වෙනුවෙන් වෙළඳපොළකරණය කිරීමත් සිදු කරනවා. එසේම අනෙක් පසින් සිය වෙළඳ නිෂ්පාදනවල පිරිවැය අඩු කරගැනීමත් සිදු කරනවා.

 

ඒ නිසා තමයි අධ්‍යාපනය, සෞඛ්‍ය වැනි සුභසාධන සේවාවන් පෞද්ගලීකරණය කිරීම හා මෙතෙක් මිලක් නියමව නොතිබූ ජලය, රුධිරය හා ශරීර අවයව වැනි දේවල් සදහා මිලනියම කිරීමත්, විදෙස් ආයෝජන නමින් බහුජාතික සමාගම් විසින් තවදුරටත් ලාංකේය වෙළදපොළ තුළ සිය ආධිපත්‍ය තහවුරු කරගැනීම සදහා උත්සහ කරන්නෙත්.
 එසේම නිෂ්පාදනවල පිරිවැය අඩු කරගනිමින් විශාල ලාභයක් සහතික කරගැනීම සඳහාවන අභිලාෂයට අනුව යමින් වැටුප් මට්ටම් පහත හෙළීමත්, ප‍්‍රමිතිගත නොවන පාරිසරික හා සමාජීය වශයෙන් බාල නිෂ්පාදන වෙළදපොළට ඉදිරිපත්කිරීමත්, මෙන්ම දිනෙන් දින සමාගම් විසින් පාරිසරික හානි සිදුකරනු ලබන්නෙත්.
 සියලූ රාජ්‍ය ව්‍යවසායන් පෞද්ගලික අංශය සඳහා මුදාහැරීම නවලිබරල් ධනවාදයේ ආරම්භයේ පටන්ම සිදුවෙමින් පවතින අතර අද වන විට පොදු හිමිකාරත්වය යටතේ ඇත්තේ ඉතාමත් සීමිත සේවාවන් කිහිපයක් පමණිකි. මෙහි ප‍්‍රතිඵලයක් වශයෙන් රාජ්‍ය සතු ආදායම් දිගින් දිගටම අඩුවී ඇති අතර රාජ්‍යයේ අවම වියදම් අවශ්‍යතා සපුරාගැනීමටවත් එකී ආදායම් සෑහීමකට පත්නොවීම දැවැන්ත අර්බුධයක් බවටද පත්වී ඇත. දිගුකාලීන වශයෙන් පවතින අයවැය හිගය හා ගෙවුම්ශේෂ අර්බුධය මෙන්ම ණය අර්බුධයද මෙහිම ප‍්‍රතිඵලයකි. 
එකී අර්බුධය සමනය කිරීම සදහායැයි කියමින් ඉදිරිපත් කරනු ලබන යෝජනාද පෙරලා යළි යළිත් අර්බුධය දෙසටම තල්ලූ කරයි. අයවැය පරතරය අඩුකරගැනීම සදහා රාජ්‍ය වියදම් අඩුකර ගැනීමටත් ආදායම් වැඩිකර ගැනීමට ජනතාව මත බදුබර පැටවීම මෙහි විසදුම් වේ. ඒ සඳහා පොහොර සහනාධාරය, විශ‍්‍රාම පැටුප් කප්පාදු  ඇතුළු සහනධාර කප්පාදු කිරීමත් සෞඛ්‍ය, අධයාපනය වැනි සුබසාධන සේවාවන් කප්පාදු කිරීමත් සිදු කරමින් පවතී.
අද මේ සියලූම ප‍්‍රතිසංස්කරණ හරහා සිදුවනුයේ ධනපති සමාගම්වල ලාභ තරකිරීම හා පීඩිත පංතික ජන කොටස් නග්න සූරාකෑමේ යාන්ත‍්‍රණය තුළ තව තවත් සිර කිරීමයි. මෙහි ප‍්‍රතිඵලය වන්නේ සියලූ ජනතා අයිතීන් කප්පාදු වීම මිස අන් යමක් නොවේ. මෙකී ප‍්‍රතිසංස්කරණ හරහා ජනතා අයිතීන් කප්පාදුවන විට ජනතාව තුළ පීඩනය වැඩිවීමත් ඊට එරෙහිව ජනතාව කැරලිගැසීමත් සරල සිද්ධාන්තයයි.
පාලකයින්ට මෙවැනි ජනතා අරගල මැඩපවත්වාගැනීම අවශ්‍ය වේ. එහිදී ඔවුන්ට ඇත්තේ විකල්ප දෙකකි. පළමු විකල්පය වන්නේ ජනතාව මෙවැනි ප‍්‍රතිසංස්කරණ සඳහා එකග කරගැනීමයි. ඒ සඳහා ඇත්තේ දෘෂ්ඨිමය මැදිහත් වීමකි. නමුත් මෙය තාවකාලික වන අතර ජනතාව තුළ පීඩනය වැඩිවන විට ජනතා සටන් ඇතිවීම වැළැක්විය නොහැක. එහිදී මෙකී අරගල මර්දනය කිරීම සිදු කරයි.  ඒ සඳහා ඔවුන් අද කල් තියා මර්දන උපකරණ මුවහත් කිරීම සිදු කරයි.  දැන් දැන් සම්මත වෙමින් තිබෙන මර්දන අනපනත් වූ කලි එහි ප‍්‍රකාශනයකි.
ශිෂ්‍ය උද්ඝෝෂණවලට පහරදීම, අරගල මැඞීමට ගෙන එන වාරණ නියෝග, ආරක්ෂක අංශ කරන ලූහුබැදීම්, නිවෙස්වලට කරන බලපෑම්, බඳගිරිය ජලය ඉල්ලූ ජනතාවට, පැල්වෙහෙර බීජ ගොවිපළ විකිණීමට එරෙහිවූ ගොවීන්ට, දෙහි අත්තකන්ඩිය ගොවි උද්ඝෝෂණවලට කළ පොලිස් ප‍්‍රහාර මර්දනයේ ආරම්භයයි.  අද එය මෙතකින් අවසන්ව නොමැති අතර තව තවත් මර්දනය තිව‍්‍රර වන සලකුණු පෙනේ.
එසේම අරගලය තුළ ජයග‍්‍රහණය නම් සාමුහිකවීමේ ගුණය බවද පාලකයෝ දනිති. එකී සාමුහික ගුණය වැනසීම කෙරෙහිද ඔවුන් අවධානය යොමු කරනු ඇති අතර ඒ සඳහා යළි යළිත් ජාතිවාදය ආගම්වාදය වර්ගවාදය වපුරනුු ඇත. එහිදී ඔවුන් අපට කියනු ඇත්තේ අපට ඇති ප‍්‍රශ්නය අප සතු සියලූ අයිතීන් උදුරාගන්නා ආර්ථික ප‍්‍රතිසංස්කරණ නොව වාර්ගික අනිකා හෝ ආගමික අනෙකා බවයි. 
එබැවින් නව ලිබරල් ධනවාදය තුළ ත‍්‍රිව වෙමින් එන කප්පාදු කිරීම් වැඩ පිලිවෙල තුළ සටන් කිරීමත් සටන් කිරීමට එරෙහිව එන මර්දනය සහා ජාතිවාදයත් අප කල් තියා හදුනා ගත යුතුය. ඒ සඳහා සූදානම් වී සටන් කිරීම හැර අප ඉදිරියේ වෙන යම් වූ විකල්පයක් නොමැත.


0 comments:

Post a Comment