Friday, August 26, 2016

අධ්‍යාපනය කියලා කියන්නේ සමාජ අයිතියක් - සංජීව බණ්ඩාර




















01. වීලවවාදි ශිෂ්‍ය සංගමය අධ්‍යාපනය සම්බන්ධයෙන් දරණ ප‍්‍රතිපත්තිය කුමක්ද?

අධ්‍යාපනය කියලා කියන්නෙ සමාජ අයිතියක්. ඒ අයිතිය කිසිම සීමාකිරීමකින් තොරව හැමෝටම හිමිවිය යුතුයි. ජාතිය, ආගම, කුලය, ස්ත‍්‍රී පුරුෂභාවය, පංතිය මේ කිසිවක් අධ්‍යාපනය ලැබීමට බාධාවක් වෙන්න බෑ. උපතේදී හිමිවන තත්ත්වයන් නොසළකා  කෙනෙක්ට තමන් කැමති විෂයක්, තමන් කැමති දුරකට, තමන් කැමති මාධ්‍යකින් ඉගෙනගන්න අවස්ථාව හිමිවිය යුතුයි. මෙතනදි සාපෙළ හෝ උසස්පෙළ සමත්ද අසමත්ද කියන කාරණය පවා නොසළකා කිසියම් පුද්ගලයෙක්ට කිසියම් විෂයක් ඉගෙනීමේ අවශ්‍යතාවය තියෙනවනම් ඒ සඳහා පහසුකම් තිබිය යුතුයි. ඒක කවදාවත් මුදල මත තීරණය වන අධ්‍යාපන ක‍්‍රමයක් තුළ ඇති කරන්න බෑ. අපි හිතුවොත් කෙනෙක්ට අවුරුදු හැටේදී අවශ්‍ය වෙනවා වෛද්‍ය විද්‍යාව ඉගෙන ගන්න. වෛද්‍යවරයෙක් විදිහට වැඩකරන්න නෙවෙයි, හැබැයි වෛද්‍ය විද්‍යාව ඉගෙන ගන්න එවැනි වයසකදී උනත් ඉඩකඩ තිබිය යුතුයි. ඒ සඳහා වියදමක් දරන්න වෙනව නම් ඒක රටට පාඩුවක් නෙවෙයි. ඒක ආයෝජනයක්.   නිදහස් අධ්‍යාපන ක‍්‍රමය හරහා යම් පමණකට මේ තත්ත්වය හිමිවෙලා තියෙනවා. හැබැයි ඒ මුළුමනින්ම නෙවෙයි. නිදසුනක් විදිහට 2015 උසස්පෙළට පෙනීසිටි සිසුන් 131,137 ක් උසස් අධ්‍යාපනය ලබන්න සුදුසුකම් ලබලා තියෙනවා. හැබැයි සරසවිවලට ගන්නේ 25,000 කටත් වඩා අඩු පිරිසක්. පාසල් පද්ධතිය තුළ තියෙන විෂමතාවය හැම පැත්තකින්ම අධ්‍යාපනයට ලොකු බාධාවක්. විවාදයක් නෑ මේ තත්ත්වය වෙනස් විය යුතුයි. හැබැයි එහෙම කියලා ඒකට උත්තරය අධ්‍යාපනය විකුණන එක නෙවෙයි. හුඟක් අය හිතනවා රජයේ විශ්වවිද්‍යාලවලට යන්න බැරි අයට මේ අරින උපාධි කඩවලට යන්න පුළුවන් කියලා. මේක හරිම විහිළුවක්. මොකද මේවගෙ අයකරන මිල ගණන් ගෙවන්න පුළුවන් කාටද? අනික උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් නොවීම නැමති ප‍්‍රශ්නයට උපාධි කඩ දැමීම කියන්නෙ මිනිස්සු කන්න බොන්න නැතුව හාමතේ මියදෙද්දි, හන්දියක් හන්දියක් ගානේ තරුපහේ හෝටල් ඇරලා අන්න අපි රටේ බඩගින්න නැතිකරා කියනව වගේ වැඩක්. ලාභය නම් මුල්වෙන්නේ එතනදි අධ්‍යාපනය අයිතියක් වෙන්නෙ නෑ.  

 

02. එතකොට අධ්‍යාපනයේ නිදහස කියන්නේ මොකද්ද? ශිෂ්‍ය ව්‍යාපාරයේ ප‍්‍රධාන සටන්පාඨය වෙන්නෙත් නිදහස් අධ්‍යාපනයත්, අධ්‍යාපනයේ නිදහසත් දිනාගනිමු කියන එක. 

අධ්‍යාපනයේ නිදහස කියල කියද්දී මේ සාකච්ඡුාව මතුවෙන දෘෂ්ඨිකෝණ දෙකක් තියෙනවා. එකක් තමයි ලිබරල් දෘෂ්ඨිකෝණය. ඒකට අනුව අධ්‍යාපනයේ නිදහස කියන්නෙ සල්ලි තියෙන අයට සල්ලි දීල අධ්‍යාපනය ගන්න තියෙන නිදහස. හැබැයි මේ නිදහස තියෙන්නෙ සමාජයේ ධනය හිමි අතලොස්සකට විතරයි. දැන් නිදසුනක් විදිහට මාලඹේ සයිටම් හොර උපාධිකඩෙන්  ඕනම කෙනෙක්ට වෛද්‍ය උපාධිය ගන්න පුළුවන් කිසිම බාධාවක් නෑ. හැබැයි අපි අහනවා හැමෝටම ගන්න පුළුවන්ද? බෑ. පුළුවන් ලක්ෂ 120 ක් ගෙවන්න පුළුවන් කීපදෙනෙක්ට විතරයි. මේක තමයි අධ්‍යාපනය සම්බන්ධයෙන් ලිබරල්වාදීන් කියන නිදහස. හැබැයි වම කියන නිදහස, ඒ කියන්නෙ අපි කියන නිදහස මේක නෙවෙයි. අපි කියන්නෙ හැකියාවයි අවශ්‍යතාවයයි තියෙනව නම්  ඕනම කෙනෙක්ට තමන් කැමති දෙයක් ඉගෙනීමේ හැකියාව තිබිය යුතුයි කියලා. එතනදි සීමා පනවන්න බෑ. නිදහස් අධ්‍යාපනයත්, අධ්‍යාපනයේ නිදහසත් කියද්දි මේක නිකම්ම සටන්පාඨ දෙක පැත්ත මාරු කරලා තියෙනවා නෙවෙයි. නිදහස් අධ්‍යාපනය කියද්දී ප‍්‍රමාණාත්මක පාර්ශවය ඒ කියන්නෙ හැමට අධ්‍යාපනය කියන එකත්, අධ්‍යාපනයේ නිදහස කියද්දී ඒකේ ගුණාත්මක පාර්ශවය ඒ කියන්නෙ ඒ ලබාදෙන අධ්‍යාපනය කොයිවගේ අධ්‍යාපනයක් විය යුතුද කියන අදහසත් නියෝජනය වෙනවා. දැන් අපි දන්නවා අධ්‍යාපනය තුළ සමාන අවස්ථා ලැබෙන්නෙත් නෑ, ලැබෙන අධ්‍යාපනය ගුණාත්මකත් නෑ. දැන් උගන්වන්නෙ පාලකයෝ තමන්ට අවශ්‍ය පරිදි කප්පාදු කරන ලද සහ විකෘති කරපු විෂය කරුණු. ඒ කියන්නෙ තමන්ගේ පැවැත්මට බාධාකාරී නොවන මිනිහෙක් හදන්න පුළුවන් විෂය කරුණු ප‍්‍රමාණයක් විතරයි. ඒකෙන් අධ්‍යාපනය තුළින් බලාපොරොත්තුවෙන පුද්ගල සංවර්ධනයවත්, සමාජ සංවර්ධනයවත් සිද්ධවෙන්නෙ නෑ. පාලකයන්ට අවශ්‍ය ඔවුන්ගේ කම්හල්වල වැඩකරන්න, වහල් ශ‍්‍රමිකයෝ පිරිසක් හදාගන්න විතරයි. අධ්‍යාපනයේ නිදහස කියලා අපි කියන්නෙ මෙන්න මේ කප්පාදු කරපු විකෘති කරපු අධ්‍යාපනය වෙනුවට මිනිස් ඉතිහාසය විසින් උපදවල තියෙන සියලූම විෂයන් විචාරශීලීව හදාරන, ඒ සියලූ විෂයන් මානව සමාජයේ උන්නතිය වෙනුවෙන් දියුණු කරන්න පුළුවන් අධ්‍යාපනක් කියන එකයි. 
අපි වෛද්‍ය විද්‍යාව ඉගෙන ගන්න  ඕන වෛද්‍යවරයෙක් වෙලා හම්බකරන්න නෙවෙයි. මිනිස් සමාජය මුහුණ දෙන සෞඛ්‍ය අභියෝගවලට උත්තර හොයන්න. සෞඛ්‍ය සම්පන්න සමාජයක්  හදන්න. නීතිය ඉගෙන ගන්න  ඕන අද නීතිඥයෙක්ගෙ කැපිල්ල දැකල නෙවෙයි. යුක්තිගරුක සමාජයක් හදන්න. අපි කළමනාකරුවෝ වෙන්න  ඕන ශ‍්‍රමිකයෝ මරවල පුළුවන් තරම් වැඩගන්න නෙවෙයි, සොබාවික සම්පත්, මානව සම්පත් යොදාගෙන හොඳම දේ සමාජයට දෙන්න. වැඩි වැඩියෙන් මිනිසුන්ට නිදහස විවේකය ඉතිරිකරල දෙන්න. හැබැයි අද කළමනාකරණය කියන්නෙ මිනිසාගේ නිදහස උදුරගන්න එක. වහලූන් බවට පත්කරන එක. දේශපාලනය ඉගෙන ගන්න  ඕන හොඳ දේශපාලන සංස්කෘතියක් හදන්න. ආර්ථිකය ඉගෙන ගන්න  ඕන, මිනිසුන්ගෙ ආර්ථික ජීවිතය යහපත් කරන්න පුළුවන් ආර්ථික විකල්ප හොයන්න. හැබැයි අද වෙන්නේ මේක නෙවෙයි. අපි අධ්‍යාපනයෙ නිදහස කියලා කියන්නෙ අන්න ඒවගේ අධ්‍යාපනයකට මිසක් මාර්කට් එකේ ලාබෙට විකිණෙන අධ්‍යාපනයකට නෙවෙයි. 

03. පාලකයෝ දියුණුවන ලොකය තුලට ප‍්‍රවේෂ විමට නම් අධ්‍යාපනය විකිණිය යුතු බව කියනවා මෙහි සත්‍යතාවයක් තියෙනවාද?

දියුණුව කියන්නෙ මිලියන ගණනක් වියදම් කරන්න පුළුවන් අතලොස්සක් විතරක් අධ්‍යාපනය ලබන එකනම්, අධ්‍යාපනය තුළත් ධනපතියො කීපදෙනෙක් කෝටි ගණන් දිනපතා උපයන ක‍්‍රමවේදයක් නම් අධ්‍යාපනය විකුණුවට කමක් නෑ. දියුණුව කියන්නෙ හැම පුරවැසියෙක්ගෙම ජීවිතවල භෞතික හා අධ්‍යාත්මික දියුණුව නම් අධ්‍යාපනය විකුණල ඒක කරන්න බෑ. මාලඹේ සයිටම් හොර උපාධි කඩය හරහාත් ඔය කියන විදියට රට දියුණුවෙන්න එපැයි. රට කෙසේ වෙතත් නෙවිල් ප‍්‍රනාන්දු නම් බලාගෙන ඉද්දි දියුණුවෙනවට සැකයක් නෑ. 2014 නෙවිල්ගෙ හොර උපාධි කඩයේ ලාභය මිලියන 1265 යි. හැබැයි මේකෙන් එළියට එන වෛද්‍යවරු හොරු. කෝටි දෙකක් වෙච්ච මුළු ජනගහනයටම නෙවිල්ගෙ මේ ලාභ වෙනුවෙන් වන්දි ගෙවන්න වෙයි. ඩෙංගු හැදිල මේ රෝහලට ඇතුළු කරපු කවීෂ මැරුණා. ඒ වැරදි ප‍්‍රතිකාර නිසා. සෝභිත හාමුදුරුවන්ගෙ මරණය ගැන සැකයි. මේක තමයි පෞද්ගලීකරණය තුළින් ලබාගන්න පුළුවන් දියුණුව. මෙවැනි දියුණුවක් ද අපි බලාපොරොත්තු වෙන්නෙ. 

04. මාලමේ සයිටම් උපාධි කඩයට හොර උපාධි කඩය ලෙස ආමන්ත‍්‍රණය කරන්නේ ඇයි

මේ කඬේ ඇරපු දවසෙ ඉඳන්ම කරපු කියපු දේවල් දැක්කනම් ඔබට ඒක වැටහෙයි. පටන්ගත්තෙ BIO ව්‍යාපෘතියක් විදියට කළමනාකරණ උපාධි දෙන ආයතනයක් ලෙස ලියාපදිංචි කරලා. වෛද්‍ය පීඨයක් කියලා නෙවෙයි. හැබැයි ආරම්භ කරන්නෙ වෛද්‍ය පීඨයක්. ඒ තමයි පළවෙනි එක. පත්තරවල ඇඞ් දැම්මා ලංකාවේ විතරක් නෙවෙයි, බි‍්‍රතාන්‍යයේ වෛද්‍ය සභාවෙත් පිළිගත් ආයතනයක් කියලා ඇඟවෙන විදියට, හැබැයි අදත් වෛද්‍ය සභාව මේක පිළිගෙන නෑ. මේ දෙවනි එක. රුසියාවේ නිෂ්නිනොව්ගොරොද් සරසවියට අනුබද්ධයි කිව්වා. ඒකත් බොරු. අපි නෙවෙයි ඒක කියන්නෙ මේ කියන රුසියන් විශ්වවිද්‍යාලයේ උපකුලපති, රුසියානු තානාපති කාර්යාලය. ඊළඟට මේ ආයතනයෙම ලියාපදිංචි ශිෂ්‍යයො තමන් රැුවැට්ටුවා කියලා නඩුවක් දැම්මා කඩුවෙල උසාවියේ. නෙවිල් ප‍්‍රනාන්දු උසාවියට කිව්වා මේක සෞඛ්‍ය අමාත්‍යාංශය පිළිගත්ත ආයතනයක් කියලා. හැබැයි සෞඛ්‍ය අමාත්‍යාංශය එහෙම අනුමැතියක් දීලා නෑ. පහුගියදා අන්තිම විභාගයත් තිබ්බා. උපාධියත් දුන්නා. හැබැයි මේ විභාග තිබ්බේ කවුද? දෙමව්පියො, ගුරුවරු, සුබපතන්නො එකතුවෙලා හදාගත්ත විභාග මණ්ඩලයකින්. මේක සදාචාර විරෝධීයි. මොවුන් කියනවා විභාගය හොඳට කරාලූ. ශිෂ්‍යයො දක්ෂයිලූ. අපි පිළිගන්න  ඕනද? මේක හොර උපාධි කඩයක් කියන්න තව  ඕන තරම් කරුණු කියන්න පුළුවන්. 

05. සයිටම් ආයතනය ගුණාත්මකභාවයෙන් යුත් ආයතනයක් කළහොත් රටට හොද වෛද්‍යවරු වාගේම විදෙස රටට වලට ගලාගෙන යන මුදල් රටේ ඉතිරිවෙනවා නේද?

මේක ගුණාත්මක, ප‍්‍රමිතිගත ආයතනයක් කරන්න බෑ. මොකද මේක කඩයක්. ලාභ අරමුණින් පටන්ගත්ත ආයතනයක්. ලාභය මුල් වෙච්ච කොතනකවත් ප‍්‍රමිතිය තියෙන්න විදියක් නෑ. ඒ නිසා මේ ආයතනයේ තියෙන මේ වංචනිකත්වය, හොරකම මේ ආයතනයට විතරක් සීමාවෙච්ච එකක් නෙවෙයි. ලාභය මුල්වෙච්ච කොතනටත් පොදු දෙයක්. සයිටම් වගේ ආයතනවල ප‍්‍රමිතිය හදන්න පුළුවන් කියන අයට කියන්න තියෙන්නෙ එක දෙයයි. ඊට කලින් අපට කියන්න වෙළඳපොළ ලාභ මුල්වෙච්ච කොතනක හරි ප‍්‍රමිතිය තියෙනවද කියලා. කෘෂිකර්මාන්තය අද ලාභ අරමුණින් පවත්වාගෙන යනවා. ප‍්‍රමිතිය තියෙනවද? අපි කන හැමදේම වසවිස  නෙවෙයිද? වකුගඩු ප‍්‍රශ්නය මෙන්න මේ ප‍්‍රමිතිය ගැන හොඳ නිදසුනක්. ප‍්‍රවාහනය පෞද්ගලීකරණය කරා. දැන් ප‍්‍රමිතිගතද? වවුල්ලූ වගේ එල්ලිලා යන්නවෙලා තියෙන්නෙ, කොන්දොස්තරලගෙන් බලූ බැනුම් අහන්න වෙලා තියෙන්නෙ ප‍්‍රමිතිය හොඳ හින්දද? ඉදිකිරීම් ක්ෂේත‍්‍රය පෞද්ගලිකයි. දැන් හදන පාරවල්, පාලම්, ගෙවල් මාරම ප‍්‍රමිතිගතයි නේද? රතුපස්වල, හංවැල්ලෙ, කර්මාන්ත ශාලාවල පාරිසරික ප‍්‍රශ්න, කොකාකෝලා එක කැලණි ගඟට රසායනික අපද්‍රව්‍ය දැම්මේ, මුළු රටේම වතුර බොන්න බැරි, සමහර රටවල්වල හුස්ම පොදට පවා ගෙවන්න වෙලා තියෙන්නේ ප‍්‍රමිතිය නිසාද? පහුගිය කාලේ රූපවාහිනී නාලිකාවල හෙළිදරව් කළා, රට පුරා විවිධ වෙළඳ ව්‍යාපාරවල ප‍්‍රමිතියෙන් තොර ආහාර නිෂ්පාදන අලෙවි කරන හැටි. මෙවැනි නිෂ්පාදන පරිභෝජනය තමයි අද බොහෝ ලෙඩ රෝගවලට හේතුවෙලා තියෙන්නෙ. ඒ නිසා හරි පැහැදිලියි ලාභය නම් අරමුණ ඒ කොහෙවත් ප‍්‍රමිතිය නෑ. මාලඹේ සයිටම් එකේ තියෙන්න විදියකුත් නෑ. හොර කමයි, වෙළඳාමයි කියන්නේ දෙකක් නෙවෙයි, එකක්. මේක අද පිළිගන්න අකමැති වුණාට පුරාණ ග‍්‍රීකයෝ හොඳින් අදුනගෙන හිටියා. ඒ නිසා තමයි ඔවුන් හොරකමටයි, වෙළඳාමටයි එක දෙවියෙක් නම් කරන්න ඇත්තෙ. 

ඉන්දියාවේ අත්දැකීම තරම් අධ්‍යාපනය විකිණීමේ ප‍්‍රතිඵල දැනගන්න වෙන අත්දැකීම් නෑ. ඉන්දියාවේ තියෙනවා වෛද්‍ය විද්‍යාල විශේෂයක් ඒවට කියන්නේ භූත වෙද්‍ය විද්‍යාල කියලා. මොකද මේවා පියවි ඇහැට පේන්නෑ. හැබැයි මේ වෛද්‍ය පීඨවලින් උපාධිගත්ත වෛද්‍යවරු ඉන්නවා. ඔවුන් බෙහෙත් කඩ දාගෙන ප‍්‍රතිකාර කරනවා. ඒ කියන්නෙ මොකද්ද, ඉන්දියාවේ වෛද්‍ය පීඨ තියෙනවා හොරට වෛද්‍ය සභාවේ ලියාපදිංචි කරපු, ඒවට තියෙන්නෙ නමක් විතරයි. සල්ලි දෙන  ඕන කෙනෙක්ට උපාධි සහතිකයක් දෙනවා. ඉතින් මෙහෙම හොර දොස්තරලගෙන් බෙහෙත් ගන්න අයට දෙයියන්ගෙම පිහිටයි. අපි හිතන්න  ඕන ලක්ෂ 120 ක් දීල උපාධි ගන්න පුළුවන් සුළු පිරිසක් ගැනද? නැත්නම් එහෙම උපාධි ගන්න හොර දොස්තරලගෙන් ප‍්‍රතිකාර කරගෙන මියදෙන්න නියමිත කෝටි දෙකකට ආසන්න සමාජය ගැනද? 
විදේශ විනිමය ඉතිරි කරන්න උපාධි කඩ අරින්න  ඕන කියන අයගෙන් අපට අහන්න තියෙන්නෙ එක දෙයයි. දැන් 2015 හාල්වලට රු.මි. 19,681.19ක්, සීනි සහ රසකැවිලි නිෂ්පාදනවලට රු.මි. 37,060.66ක්, කිරි නිෂ්පාදනවලට ඩො.මි. 36,550.78ක්, ආදී වශයෙන් රු.මි. 93,292.23 ක්, ලංකාවේ නිපදවන්න පුළුවන් මේ නිෂ්පාදන ආනයනය කරන්න වියදම් කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි ටින්මාළු, කරවල, මිරිස්, අල මේවා ආනයනය කරන්න ගියපු වියදමත් බැලූවම ආනයන වියදම කෝටි 100කට වැඩියි. අපි අහන්නෙ මේවා ආනයනය කරද්දි යන්නෙ විදෙස් විනිමය නෙවෙයිද? විදෙස් විනිමය ඉතිරිකර ගන්න මේ  ඕනතරම් ක්ෂේත‍්‍ර තියෙද්දි ඇයි අධ්‍යාපනය බිලිදෙන්න හදන්නෙ.

06. ඔබ ප‍්‍රකාශ කරන පිරිදි සයිටම් පෞද්ගලික ආයතනයකට මුදල් ගලායාම වැරදි නම් එය රජයට පවරාගෙන මුදල් ගත්තම තිබෙන වැරැුද්ද මොකක්ද?

අපි කියන්නෙ මුදල් ගලාගෙන යාම පිළිබඳ ප‍්‍රශ්නයක් නෙවෙයි. මුදලට අධ්‍යාපනය තීරණය කරන එක වැරදියි කියන එක විතරයි. රජය කළත් පෞද්ගලික අංශය කළත් අධ්‍යාපනය විකිණීමෙන් වෙන්නෙ අධ්‍යාපනය වරප‍්‍රසාදයක් වෙන එක. ඒ නිසා මේ ආයතනය රජයට පවරගෙන උපාධි විකුණනවට අපි එකඟ නෑ. අනික විරෝධතා නිසා අද පවරගෙන පස්සේ මේක විකුණා නොදමයි කියන්න කාටද පුළුවන්. මේ සඳහා දියයුතු විසඳුම උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය පීඨයට කලා වගේ රජයට පවරගෙන නොමිලේ අධ්‍යාපනය ලබාදෙන ආයතනයක් කිරීම පමණයි. ඒ හැර කිසිම විකල්පයකට එකඟ නොවිය යුතුයි.  

07. දැන් ලංකාව යම් දියුණුවක් අත්පත් කරගෙන තිබෙන බවත් ඒක පුද්ගල ආදායමට අනුව දැන් පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කිරීමට සුදුසු බවට මතයක් නිර්මාණයකර තිබෙනවා මෙහි ඇති වැරැුද්ද මොකක්ද?

 මොකද්ද ඔය කියන දියුණුව. දියුණුව කියන්නෙ පොත්වල සංඛ්‍යාලේඛන විජ්ජාවක් නෙවෙයි. ඒක මිනිස්සුන්ට ඇඟට දැනෙන දෙයක් විය යුතුයි. අනික ඒක පුද්ගල ආදායම හදන්නෙ ජාතික ආදායම ජනගහනයෙන් බෙදලා, හැබැයි ජාතික ආදායම සමානව බෙදිලා යන්නෙ නෑ. අද ඒක පුද්ගල ආදායම ඩොලර් 3500යි. හැබැයි අපි අහනවා කීයෙන් කී දෙනෙක්ද මෙවැනි ආදායමක් ලබන්නෙ. මේක රැවටිල්ලක් විතරයි. පාසලට ගාස්තු ගෙවන්න දරුවන්ට පොල් හොරකම් කරන්න සිද්ධවෙන රටක දියුණුව ගැන අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑ. මේවා අධ්‍යාපනයත් විකුණන්න කරන බොරු මවාපෑම් විතරයි. 

08. එතකොට සයිටම් පෞද්ගලික උපාධ් ආයතනය සුදුසු නොවන බව කියන ඔබ එය අහෝසි කිරීමෙන් පමණක් අධ්‍යාපනයේ තිබෙන ප‍්‍රශ්නවලට විසදුම් ලබා ගත හැකිද? මේ වනවිට පාසල් වලත්, කොතලාවල, භීඊභ ආයතනය,

නෑ. සයිටම් අහෝසි කිරීම තුළින් විතරක් ප‍්‍රශ්නය විසඳෙන්නෙ නෑ. සයිටම් අහෝසි කිරීම කියන්නෙ සමස්තයක් වශයෙන් අධ්‍යාපනය විකුණන ප‍්‍රතිපත්තිය පරාජය කරන අරගලයේ එක් සන්ධිස්ථානයක් විතරයි. සයිටම් පරාජය කිරීමෙන් එහාට අධ්‍යාපනය විකුණන ප‍්‍රතිපත්තිය පරාජය කිරීම දක්වා මේ අරගලය ගෙන නොගියොත්, අද වහන සයිටම් එක හෙට වෙන නමකින් පටන් ගනියි. එදා අපි 80 දශකයේ උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය පරාජය කළා. හැබැයි පෞද්ගලීකරණය පරදවන්න බැරිවුණා. ඒ නිසා තමයි අපට අද නැවත සයිටම් විරෝධී අරගලයක් කරන්න වෙලා තියෙන්නෙ. ඒ නිසා මේ අරගලය පුළුල් වශයෙන් අධ්‍යාපනය විකිණීමට එරෙහි අරගලයක් දක්වා බලවේග පෙළගස්වන, සමාජ මතයක් ගොඩනගන අරගලයක් කළ යුතුයි. 

09. ජනතා විමුක්ති පෙරමුණ මාළඹේ සයිටම් ආයතනයට විරෝධය පල කරමින් ඔවුන්ගේ වෘත්තිය සමිති එකතු කරගනිමින් පෙරමුණක් ගොඩනගා තිබෙනවා. එය මිට පොර දකින්නට නොලැබුණු දෙයකත් ඔවුන් සත්‍යවශයෙන්ම පෙනි සිටින්නේ මාළඹේ සයිටම් උපාධි ආයතනය වසා දැමීම සදහාමද?

අපි ඒ ගැන පුදුම වෙන්නෙ නෑ. මොකද ජවිපෙට අද ප‍්‍රතිපත්තියක් නෑ. ඔවුන්ගෙ ප‍්‍රතිපත්තිය තමයි බලය වෙනුවෙන්  ඕනෑම දෙයක් කිරීම. පහුගිය ජනාධිපතිවරණ, මහමැතිවරණ කාලයේ ඔවුන් හිටියේ වැඩි පිරිසක් පාර්ලිමේන්තු යවන සිහිනයක. ඒ සඳහා මැදපාංතික ඡුන්ද පදනම දිනාගැනීම ඔවුන්ගෙ උපක‍්‍රමයක් වුණා. ඒ නිසා මැද පංතියේ ආසාව තමයි ඔවුන්ගෙ ප‍්‍රතිපත්තිය වුණේ. අධ්‍යාපනය විකිණීමට ඔවුන් විරුද්ධ වුනේ නෑ. හඳුන්නෙත්ති සහෝදරයා පුවත්පතකට කිව්වා පෞද්ගලික අධ්‍යාපනය, සෞඛ්‍ය තිබුණට කමක් නෑ කියලා. ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනවලට පවා මේවා ඇතුළත් කළා. පාර්ලිමේන්තුවේ වෛද්‍ය විද්‍යාල පනත් කෙටුම්පත සම්මත වෙද්දි වචනයට විතරක් විරුද්ධ වුණාට විරුද්ධව ඡුන්දය දුන්නෙ නෑ. සාගර විශ්වවිද්‍යාල පනත ගෙනෙද්දී සාගර විද්‍යා උපාධිය විකුණන්න, ඒකට විරුද්ධ වුනේ නෑ. ගිරය වැඩසටහනේදී ජවිපෙ අපේක්ෂක ලාල් කුමාරප්පේලි සහෝදරයා කිව්වේ අපි පෞද්ගලීකරණයට විරුද්ධ නෑ කියලා. ඒ විතරක් නෙවෙයි අපි දුප්පතුන් විතරක් වෙනුවෙන් පෙනී ඉන්න පටු ව්‍යාපාරයක් නෙවෙයි කියමින් ඔවුන් තවදුරටත් නිර්ධන පංති ව්‍යාපාරයක් නෙවෙයි කියන එක පවා ඔප්පු කරලා ඉවරයි. ජවිපෙ නායකයා රූපවාහිනී වැඩසටහනකදි කිව්වා ව්‍යාපාරිකයෝ කරන්නෙ  සමාජ කාර්යයක්, ඒක අපි අගය කරනවා කියලා. ප‍්‍රාග්ධන හිමියන් විසින් කරන සූරාකෑම සමාජ කාර්යයක් කියන ජාතියෙ වමේ නායකයො ඉන්නවද? ඉතින් හරි පැහැදිලියි ජවිපෙ තවදුරටත් නිර්ධන පංති ව්‍යාපාරයක් නෙවෙයි. ඒ නිසා පහුගිය කාලේ නිහ`ඩතාවය ගැන පුදුම වෙන්න දෙයක් නෑ. මොකද ඔවුන් ප‍්‍රතිපත්තිමය වශයෙන් පෞද්ගලීකරණයට විරුද්ධ නෑ. මේක පහුගිය කාලය තුළ රටේ පොදු ජනතාවට එරෙහි අණපනත් සම්මත වෙන සෑම අවස්ථාවකදීම අපි දක්කා. ඒ නිසා මොවුන්ගෙ විරෝධය පෞද්ගලීකරණ විරෝධී එකක් නෙවෙයි. ඊළග මැතිවරණයේදී මේක ආයෙත් වෙනස් වෙයි. 

10. මේ වනවිට අන්තර් විශ්වවිදාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයට පළල් බහුජන පෙරමුණක් ගොඩනැගිමට හැකියාව ලැබි තිබෙනවා  එම ව්‍යාපාරයට පමණක් සයිටම් ආයතනය වසා දැමිමට හැකිද?

අධ්‍යාපනය විකිණීම ආණ්ඩුවේ ප‍්‍රතිපත්තිය. ඒක ඔවුන් ලේසියෙන් අකුළගනියි කියලා හිතන්න බෑ. මෙතනදි මාලඹේ සයිටම් උපාධි කඩය ඔවුන්ගෙ පැත්තෙන් තීරණාත්මකයි. මොකද මෙතනදි පරදින්නේ නෙවිල් විතරක් නෙවෙයි. ආණ්ඩුවේ අධ්‍යාපනය විකුණන ප‍්‍රතිපත්තියත් එකවිට පරදිනවා. ඒ පරාජය අධ්‍යාපන ක්ෂේත‍්‍රයට ආයෝජකයො එන එක අධෛර්යමත් කරන්න බලපානවා. ඒ නිසා තමයි මේ හොර උපාධි කඩය වෙනුවෙන් ආණ්ඩුව මේ තරම් පෙනී ඉන්නෙ. ඒ වගේම තමයි මේ අරගලය පරාජය කිරීම වෙනුවෙන් ධනපතියො මුදල් විසිකරන්න පසුබට වෙන්නෙ නෑ. මොකද අධ්‍යාපනය කියන්නෙ බිලියන ගණනින් ලාභ ඉපයිය හැකි ක්ෂේත‍්‍රයක්. ඒ නිසා සියලූම ධනපතියො මෙතනදි අත්වැල් බැඳගන්න එක, සියලූම යාන්ත‍්‍රණ අධ්‍යාපනය විකිණීමට පක්ෂව යොදාගන්න එක වළක්වන්න බෑ. ඒ නිසා මේක පරාජය කරන්න නම් දැවැන්ත අරගලයක් අවශ්‍යයි. සියලූ සමාජ බලවේග එක්කර ගැනීම අවශ්‍යයි. අපි හිතනවා අන්තරේට ඒ හැකියාව තියෙනවා. දැනටමත් ඔවුන් ඒ සඳහා මූලික අඩිතාලම දමමිනුයි ඉන්නෙ. අපි දැක්කා ඔවුන් මෙතෙක් අරගලයකදී ගොඩනගන ලද පුළුල්ම වේදිකාව ගොඩනගමින් ඉන්න හැටි. අපි හිතනවා ඔවුන් දැන් මේ තබපු පියවර තව ඉදිරියට ගෙන යා යුතුයි. සියලූ බලවේග එක් කොටගත් පුළුල් අරගලයක් සඳහා අවශ්‍ය සමාජ මතය ගොඩනැගිය යුතුයි. අපි කාගෙත් වගකීම අපි හිතනවා ඒ අරගලයට සහය දීම මිසක්, කකුළෙන් ඇදීම නෙවෙයි. 

0 comments:

Post a Comment