Wednesday, May 31, 2017

සයිටම් සටනේ සුලමුල



01. නව පෞද්ගලික විශ්විද්‍යාලයක් ආරම්භ කරන බවට ශිෂ්‍ය ව්‍යාපාරයට තොරතුරු ලැබෙමින් තිබිණි. මේ පිළිබඳව තොරතුරු සෙවීම සඳහා අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය කටයුතු ආරම්භ කරන අතර මේ වනවිටත් පෞද්ගලික විශ්වවිද්‍යාල ලෙස ආරම්භ කිරීමට උත්සාහ ගෙන තිබෙන ඇක්වායිනාස් SLIT ACBT කැම්පස් වැනි ආයතන වලට එරෙහි දැවැන්ත විරෝධයක් ගොඩනැගීම සඳහා කටයුතු කරමින් සිටියේය.

02. නිවැරදි තොරතුරු සොයාගත් පසු එහි තිබෙන අහිතකර තත්ත්වය පිළිබදව විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් දැනුවත් කිරීම සඳහා 2008 මැයි මාසයේ සිට පත‍්‍රිකා, පෝස්ටර්, කටවුට්, සම්මන්ත‍්‍රණ සංවිධානය කිරීමට අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය කටයුතු කරනු ලබයි.
03. ආණ්ඩුව 2008 වර්ෂය තුළ ශිෂ්‍ය ව්‍යාපාරයට දැවැත්ත මර්දනයක් ගෙන ඒම ආරම්භ කළ වර්ෂය විය. එහිදී එකී මර්දනයට එරෙහිවත් පෞද්ගිලක විශ්වවිද්‍යාල ආරම්භ කිරීමට එරෙහිවත් දැවැත්ත පාගමනක් අගොස්තු මාසයේ දී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ආරම්භ කෙරිණි. මේ වනවිට මාලඹේ උපාධි කඩය හා අනෙකුත් සියලුම උපාධි කඩ පරාජය කිරීම සඳහා වූ ක‍්‍රියාවලිය ඉදිරියට ගෙන යා  යුතු බව ශිෂ්‍ය ව්‍යාපාරයේ අදහස විය. සයිටම් හොර උපාධි කඩයෙන් වෛද්‍ය විද්‍යාව විකිණීම සඳහා අවසර ඉල්ලා 2008/5/21 දින ආයෝජන මණ්ඩලයට ලිපියක් යොමු කරනු ලබයි. මෙහිදි ඊට අවසර ලබා දෙන ලෙස ඉල්ලා වෛද්‍ය සභාවට හා විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම් සභාව වෙත යවන ලද ලිපිවල ඇමුණුම් ද ඒ සමග යොමුකර ඇත. මෙම ක‍්‍රියාවලියේදී විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම් සභාව දැනුම් දී තිබෙන්නේ 1978 අංක 16 දරණ විශ්වවිද්‍යාල පනතට අනුව විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමට මැදිහත් විය නොහැකි බවයි.

අන්තරේ ගත් ක‍්‍රියාමාර්ග මොනවාද?
01. සයිටම් ආයතනය අධ්‍යාපනය විකිණීම සඳහා ගෙන යන වැඩ පිළිවෙළ ඉදිරියට ගෙන යන බව අන්තරයට තොරතුරු ලැබී තිබිණි. මේ පිළිබදව මාධ්‍ය සාකච්චාවක් මගින් අධ්‍යාපනය විකුණන ආයතනයක් ගොඩනැගීමට ආණ්ඩුව කටයුතු කරන බව රටට හෙළි කරන ලදි.
02. ඒ සමගම අන්තරේ ගන්නා සියලුම ඉදිරි ක‍්‍රියාමාර්ගවලදී සටන් පාඨයක් ලෙස මාළඹේ හොර උපාධි කඩය අහෝසි කරනු යන සටන් පාඨය ගත යුතු බවට තීරණය කෙරිණි.
03. ඒ සමගම ආණ්ඩුව විශ්වවිද්‍යාල තුළට දැඩි මර්දනයක් දියත් කළ අතර මර්දනයට එරෙහිව සටන් කරන සෑම මොහොතකම අධ්‍යාපනය විකිණීමට එරෙහිව ගන්නා ආණ්ඩුවේ උත්සාහය හෙළි කිරීම සඳහා කටයුතු කරනු ලැබීය.

04. 2008 සිට මේ මොහොත වනතෙක් සෑම විශ්වවිද්‍යාලයකම පාහේ ආරම්භ කළ ප‍්‍රචාරණ ක‍්‍රියාවලිය නොකඩවාම අදට ද ක‍්‍රියාත්මක කරනු ලැබේ. එසේම අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය අධ්‍යාපන පෞද්ගලීකරණයට එරෙහිව ජනතා දැනුවත් කිරීම් වලදී මාළඹේ හොර උපාධි කඩය පිළිබදව වැඩි අවදානයකින් යුක්තව ජනතාව දැනුවත් කිරීම ආරම්භ කරන ලද්දේ 2008 සැප්තැම්බර්, ඔක්තොබර් මාස වල සිටය. මේ වන විට පෞද්ගලික අධ්‍යාපනය ලංකාවට අවශ්‍ය බවට වූ තර්ක පද්ධතියක් සමාජයට මුදා හැරීමට ආණ්ඩුව ව්‍යාපෘතියක් දියත් කළේය. ඊට රූපවාහිනිය, පුවත්පත්, ගුවන් විදුලිය උපයෝගිකොට ගත්තේය. අධ්‍යාපනය විකිණීම සාධාරණය කිරීම සඳහා මේ මොහොත වනවිට ආණ්ඩුවට කඬේ යන සමහර විශ්වවිද්‍යාල ආචාර්යවරු හා සිවිල් බුද්ධිමතුන් කිහිප දෙනෙක් ඊට මැදිහත් විය. එසේම එස්.බී දිසානායක වැනි ඇමතිවරු මේ සඳහා ඍජුවම තම දායකත්වය ලබාදුන්නේය.

අන්තරේ කළේ කුමක්ද?
01.මෙහිදී පෞද්ගලික අධ්‍යාපනය අවශ්‍ය බවට ගෙන ගිය දැවැන්ත ප‍්‍රචාරණය තුළ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් තුළ ද යම් දෙගිඩියාවක් නිර්මාණය වී තිබිණි. එහිදි ආණ්ඩුව ඒ සඳහා විශ්වවිද්‍යාල තුළ නිදහස් ශිෂ්‍ය සංගමය හරහා සක‍්‍රීය දායකත්වයක් ලබාදී තිබිණි. ශිෂ්‍ය ව්‍යාපාරයට මෙහිදී මතවාදී අරගලයකට මුල පිරීමට සිදුවිය. ඒ සඳහා අවශ්‍ය වන ප‍්‍රති තර්ක ගොඩ නගමින් විශ්වවිද්‍යාල මට්ටමින් මෙන්ම ජාතික මට්ටමින් ක‍්‍රියාමාර්ග ගැනීමට අන්තරේ කටයුතු කළේය. එහිදී වැඩමුලු සංවිධානය, සිසු හඩ පුවත්පත බෙදාහැරීම, සම්මන්ත‍්‍රණ පැවැත්වීම හරහා අධ්‍යාපනය විකිණීමට එරෙහි මතවාදය ගොඩ නැගීම ආරම්භ කළේය.
02. කෙසේ වෙතත් විශ්වවිද්‍යාල තුළ පෞද්ගිලක විශ්වවිද්‍යාල වසාදැමිය හැකිය යන මතය යම් ප‍්‍රමාණයකට දුර්වල වූ අවධියක් ලෙස මෙම අවධිය සැලකිය හැකිය. බොහෝ ආචාර්යවරු පවා මෙම අරගලය වැඩකට නැති දෙයක් බවට එළි පිට ප‍්‍රකාශ කරන්නට විය. එසේම බොහෝ දේශපාලන පක්ෂ යම් ප‍්‍රමාණයකට හෝ අධ්‍යාපනය විකිණීමට අවස්ථාව ලබාදිය යුතු බවට වූ ප‍්‍රකාශ නිකුත් කරන්නට විය. එහෙත් අන්තරේ ඉහළ පෙළ නායකත්වය හා මහා ශිෂ්‍ය සංගම්වල සිටි ශිෂ්‍ය නායකයින් ඊට අභියෝග කිරීම සඳහා තීරණය කළේය. මේ මොහොතේ අපට පැවරී තිබෙන මූලිකම කාර්යයන් අතර පෞද්ගලික විශ්වවිද්‍යාල වලට එරෙහි මතය සමාජගත කළ යුතුය යන්න පෙරමුණ ගෙන ක‍්‍රියා කරන්නට විය. මේ සඳහා ඔවුන් පුවත්පත් අළෙවි කරමින් ජනතාව දැනුවත් කිරීම සඳහා බස්වලට නගිමින් ජනතාව දැනුවත් කිරීමේ වැඩපිළිවෙලට එකතු විය.
03. ජනතා දැනුවත් කිරීමේ අද්දැකීම අතිශයෙන්ම කටුක හා අමිහිරි අද්දැකීමක් විය. එහිදි බොහෝ අවස්ථාවල බස්වලට නැග කතා කිරීමට පවා අවස්ථාව නොලැබුණු අතර ඊට බාධා කළ වුන් අතර බසයේ සිටි ජනතාව ද  විය. බසයට නැග කතාව ආරම්භ කළ වහාම ඊට එරෙහිව තවත් බොහෝ පිරිසක් පෞද්ගලික අධ්‍යාපනය රටට අවශ්‍ය බවට වූ මතය නියෝජනය කරමින් කතා කළේය. එය සරල හා පහසු දෙයක් නොවූයේ ඉන් පසුව මතුවන ගාලගෝට්ටියේ ප‍්‍රතිඵලයක් ලෙසට කොන්දෙස්තර මහතා පැමිණ ශිෂ්‍ය ක‍්‍රියාකාරීන්ගේ කමිසයෙන් ඇද බසයෙන් එළියට දැමීමට කටයුතු කිරීම නිසාය.
04. මේ සමගම ආණ්ඩුව බස්වලට නැග කැට මුදල් එකතු කිරීම, පොදු ස්ථානවලදී ජනතාව සමග කතා කිරීමට එරෙහිව ක‍්‍රියාමාර්ග ගත්තේය. බස්වලට නැගීමට ප‍්‍රථම ඒ සඳහා අවසර ගත යුතු බවත් එසේ නොකරන්නේ නම් බස්වලට නැගීමට අවසර නොදෙන ලදී. පිටකොටුව බස් නැවතුම් පල, බැස්ටියන් මාවතේ බස් නැවතුම් පල, පිට කොටුවේ ලංගම බස් නැවතුම් පොළ, ගුණසිංහ පුර බස් නැවතුම් පොළ විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්ට තහනම් කලාපයක් බවට පත් වුවේය. එහෙත් එකී අභියෝග මැද්දේ වුවද ජනතාව දැනුවත් කිරීම
අත් නොහළ ශිෂ්‍ය ව්‍යාපාරය එළඹෙන සෑම අවස්ථාවකින්ම ප‍්‍රයෝජනය ගෙන ජනතාව දැනුවත් කිරීම සඳහා ක‍්‍රියා කළේය. වෛද්‍ය සභාවේ අනුමැතියෙන් තොරව සයිටම් ආයතනය වෛද්‍ය ශිෂ්‍යයින් බඳවා ගැනේ, 2009/06/17 වන දින සිට සයිටම් ආයතනයට වෛද්‍ය අධ්‍යාපනය ලබාදීම ආරම්භ කරන බව එම ආයතනය මගින් වෛද්‍ය සභාවට දැනුම් දෙන ලදී. මෙහිදී මෙම දිනයට අධ්‍යාපනය ලබාදෙන බව සඳහන් කළත් ඊට පෙර සිටම ශිෂ්‍යයින් බඳවාගැනීම සිදුකර අධ්‍යාපන කටයුතු සිදුකර තිබේ. කෙසේ වෙතත් ඊට පූර්ණ අනුමැතියක් ලබාදීමට වෛද්‍ය සභාව කටයුතු කළේ නැත.

වෛද්‍ය පීඨ තුළ නොසන්සුන්තාවක්,
01. වෛද්‍ය උපාධිය මුදලට විකිණීම සඳහා නෙවිල් ප‍්‍රනාන්දු මහතා හා ආණ්ඩුව ගෙන යන ව්‍යාපෘතිය පිළිබදව මේ වනවිට වෛද්‍ය විද්‍යාල වල ශිෂ්‍යයින් දැනුවත් වෙමින් සිටියේය. එහිදී ඒ පිළිබදව වෛද්‍ය ශිෂ්‍යයින්ගේ විරෝධය ද ක‍්‍රමයෙන් වර්ධනය වූ අතර ඒ සඳහා අවශ්‍ය දැනුවත් කිරීම සඳහා වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක‍්‍රියාකාරී කමිටුව නොමසුරු දායකත්වයක් සැපයීය.
02. මුලින්ම මෙම සාකච්චාව වෛද්‍ය පීඨවලට පැමිණෙන්නේ තමන්ගේ වෛද්‍ය උපාධිය හා සමවන තවත් වෛද්‍යවරු බිහිවීම හරහා මතුවිය හැකි රැකියා ප‍්‍රශ්නය මූලික කර ගනිමින්ය. එහෙත් ඊට වඩා බරපතල අර්බුදයක් සමස්ත නිදහස් අධ්‍යාපනයට එල්ල වන බවට අන්තරය හා වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක‍්‍රියාකාරී කමිටුව අවධාරණය කරන්නට විය. සයිටම් ආයතනය නිශ්නි නොව්ගොරොද් ආයතනය සමග නිල සම්බන්ධය තිබෙන බවට වෛද්‍ය සභාව වෙත 2010.03.02 ඉදිරිපත් කළ ලිපිය නිවැරදි නොවන බවට 2010 අගොස්තු 09 වන දින සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් රවීන්ද්‍ර රුබේරු සඳහන් කළේය. එසේම මේ වනවිට ආයෝජන මණ්ඩලය විසින් පනවා තිබූ කොන්දේසියක් වූ වෛද්‍ය සභාවේ අනුමැතිය ලබාගත යුතුය යන්න ද සයිටම් ආයතනය කඩ කර තිබිණි. එසේම සයිටම් ආයතනයට ආචාර්ය මණ්ඩලය බඳවා ගැනීම සඳහා පුවත්පත් දැන්වීම් පළ කිරීම වැරදි බව සඳහන් කරමින් 2010.08.26 විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම් සභාව වෙත ලිපියක් මගින් දැනුම් දෙන ලදී. 2009.05.10 Sunday obsever පුවත්පතේ පළ කළ දැන්වීමක් මගින් සයිටම් ආයතනයට ශිෂ්‍යයින් බඳවාගැනීමේදි ඊට වෛද්‍ය සභාව මගින් අනුමැතිය ලබාදී ඇති බව හා එය වෛද්‍ය සභාව විසින් නිරීක්ෂණය කරන බව ද සඳහන් කොට තිබිණි. එය නිවැරදි නොවන බවට එම පුවත් පතේම 2010.08.29 දින වෛද්‍ය සභාව ද පුවත් පත් දැන්වීමක් පල කළේය.

වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක‍්‍රියාකාරී කමිටුව අරගලයට,
01. මෙහිදී අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය මෙන්ම වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක‍්‍රියාකාරී කමිටුව ද මාළඹේ සයිටම් හොර උපාධි කඩය ආණ්ඩුවේ අධ්‍යාපනය විකිණීමේ ක‍්‍රියාවලියේ නියමු ව්‍යාපෘතිය ලෙස හෙළිකර ගනියි. ඒ සමගම වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක‍්‍රියාකාරී උද්ඝෝෂණික ක‍්‍රියාමාර්ගවලට ප‍්‍රවිශ්ඨ වේ. 2010 ජුනි වන විට සෑම වෛද්‍ය පීඨයක් ම පාහේ උද්ඝෝෂණික ක‍්‍රියාමාර්ගවලට පැමිණ සිටියේය.
02. මේ මොහොත වනවිට රජරට විශ්වවිද්‍යාලයේ මාහාචාර්ය ඒකකය ඉදි නොකිරීම හේතුවෙන් රජරට වෛද්‍ය පීඨයේ සහෝදර සහෝදරියන් උපාධිය සම්පූර්ණ කරගත නොහැකිව සිටියේය. ඒ සඳහා වන අරගලය ද දිගින් දිගටම ඇදෙමින් පැවතියේය. එහෙත් ආණ්ඩුව මාලඹේ උපාධි කඩය ඉදිරියට ගෙනයාම සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කරමින් සිටියේය. එහිදී දැවැන්ත අරගල ගණනාවක් රජරට වෛද්‍ය පීඨයට මෙන්ම වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක‍්‍රියාකාරී කමිටුවට දියත් කිරීමට සිදුවිය.
03. මාලඹේ සයිටම් හොර උපාධි කඩයට එරෙහිව ශිෂ්‍ය ව්‍යාපාරය පත‍්‍රිකා බෙදීමේ ව්‍යාපාරය ඉදිරියට ඇදෙමින් තිබිණි. එහිදී රුහුණු විශ්වවිද්‍යාලයේ පති‍්‍රකා බෙදමින් සිටි ශිෂ්‍යයින් 04 දෙනෙක් මාතර නගරයේදී 2010 නොවැම්බර් 05 වන දින අත්අඩංගුවට ගනු ලැබීය. ඊට එරෙහිව හා මාලඹේ හොර උපාධි කඩයට එරෙහිව සියලුම විශ්වවිද්‍යාලවලදී නොවැම්බර් 6 සිට 10 දක්වා උද්ඝෝෂණ සිදු කරන ලදි.
04.වෛද්‍ය පීඨ තුළ අඛණ්ඩ පන්ති වර්ජනයක්, මෙම පන්ති වර්ජනය ආරම්භ කරන ලද්දේ 2010 මාසය තුළදීය. එය දින 20 පමණ ඉදිරියට ඇදී ගිය අතර ආණ්ඩුවේ දැඩි මර්දනය හමුවේ එකී පන්ති වර්ජනය අසාර්ථක වූවත් අන්තරය හා වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක‍්‍රියාකාරී කමිටුව නැවත ජනතාව අතරට ගොස් අධ්‍යාපනය විකිණීමට එරෙහි අරගලය දියත් කිරීමට සමත් විය.
05. මාළඹේ හොර උපාධි කඩයට එරෙහි රට පුරා පෙත්සම් අත්සන් කිරීම 2010 ජුනි මාසයේ සිට ආරම්භ කළ අතර එහිදී වැඩි අවධානයක් අධ්‍යාපනය විකිණීමට එරෙහිව මතවාදය ගොඩ නැගීමට, සංවාදයක් ඇති කිරීමට ශිෂ්‍ය ව්‍යාපාරයට හැකිවිය.
03. මාලඹේ සයිටම් හොර උපාධි කඩය අහෝසි කරන ලෙස බල කර රුහුණු විශ්වවිද්‍යාලයේ හා රාගම වෛද්‍ය පීඨයේ විරෝධතා 2010 නොවැම්බර් 12 රාගම වෛද්‍ය පීඨයේදී හා නොවැම්බර් 24 රුහුණු විශ්වවිද්‍යාලයේ දී ද පැවැත්විය.
04. මාලඹේ සයිටම් හොර උපාධි කඩයට ලංකා බැංකුවෙන් මිලියන 600 ක ණයක්.
මේ වනවිට රජරට වෛද්‍ය පීඨයේ මහාචාර්ය ඒකකයක් ස්ථාපිත කොට නොතිබිණි. ඊට එරෙහිව ශිෂ්‍යයින් අරගල කරමින් සිටින විට මාලඹේ හොර උපාධි කඩයට මෙවැනි ආකාරයේ රාජ්‍ය අනුග‍්‍රහයක් දැක්වීම ශිෂ්‍ය ව්‍යාපාරය පිළිකුලෙන් යුතුව හෙළා දැක්කේය. මාලඹේ හොර උපාධි කඩයට බඳවාගත් ශිෂ්‍යයින්ට සායනික පුහුණුව ලබාදීමට අවශ්‍ය රෝහල ඉදිකිරීම සඳහා මෙම මුදල ලබාදුන්නේය. මෙහිදී අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය හා වෛද්‍ය පිඨ ශිෂ්‍ය ක‍්‍රියාකාරී කමිටුව දැවැන්ත ක‍්‍රියාමාර්ගවල නිරත විය.
06.මාලඹේ හොර උපාධි කඩය නීති ගත කිරීම සඳහා වූ ක‍්‍රියාවලියට ආණ්ඩුව ලහිලහියේ මැදිහත් වෙමින් තිබිණි. එහිදී ඊට අවශ්‍ය පළමු ගැසට් පත‍්‍රය 2011/08/30 නිකුත් කරනු ලැබීය. එසේම දෙවන ගැසට් පත‍්‍රය 2013 සැප්තැම්බර් 26 වන දින නිකුත් කරන ලදී. 2012 පෙබරවාරි 22 වන දින උසස් අධ්‍යාපන ඇමතිවරයාට පැවරී තිබෙන බලතල අනුව උපාධි ප‍්‍රධානය කරන ආයතන වල කාර්ය පටිපාටිය පිළිබද බලධාරියා ලෙස උසස් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් පත් කළේය. 2013 ආගෝස්තු 22 නිකුත් කළ ගැසට් පත‍්‍රයට අනුව උසස් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් උපාධි ප‍්‍රධානය කරන ආයතන ලෙස රාජ්‍ය හා පෞද්ගලික අධ්‍යාපනය යන අංශ දෙකෙහිම වගකිව යුත්තා ලෙස පත් කරන ලදී.
ශිෂ්‍ය ව්‍යාපාරය දැවැන්ත අරගලයක,
01.මේ වනවිට රජරට විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයින් තම වෛද්‍ය පීඨයට අවශ්‍ය මාහාචාර්ය ඒකකයක් ලබා ගැනීම සඳහා මෙන්ම අධ්‍යාපනය විකිණීමට එරෙහිව අරගලයක නිරත වෙමින් සිටියේය. එහිදී 2011/02/14 වන දින කොළඹ පැවැති සමකාමී උද්ඝෝෂණයට පහර දෙන ලදී. ඉන් පසු එම පහරදීමට හා අධ්‍යාපනය විකිණීමට එරෙහිව සියලූ විශ්වවිද්‍යාල වල උද්ඝෝෂණ ක‍්‍රියාමාර්ග දියත් කළේය.
02. රුහුණේ කළුපටි විරෝධතාවය. මාළඹේ හොර උපාධි කඩයට මිලියන 600 ණය පහසුකම් ලබාදෙන විට රුහුණු විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ශිෂ්‍යයින්ට නේවාසිකාගාර පවා අහිමිව තිබිණි. එහිදි තම ගැටළු විසඳන ලෙසත් අධ්‍යාපනය විකිණීම නවතා දමන ලෙසත් බලකරමින් 2011 පෙබරවාරි 24 දින ශිෂ්‍යයින් කළු පටි බැඳීමේ විරෝධතාවයක නිරත විය.
03. මාලඹේ හොර උපාධි කඩයට අවසර දීමට එරෙහිව පේරාදෙණිය මහා ශිෂ්‍ය සංගමය 2011 සැප්තැම්බර් 07 වන දින ගලහ මංසන්ධියේදී දැවැන්ත උද්ඝෝෂණයක් සංවිධානය කළේය.
04. මාලඹේ හොර උපාධි කඩයට හා පසුගිය ආණ්ඩුව විසින් ගෙන ඒමට නියමිතව තිබූ පෞද්ගලික විශ්වවිද්‍යාල පනතට එරෙහිව කොළඹ වෛද්‍ය පීඨයෙන් දැවැත්ත පාගමනක් ආරම්භ කළ අතර ඊට ආණ්ඩුව පහර දෙන ලදී.
05.රාජපක්ෂ ආණ්ඩුව ගෙන ඒමට නියමිතව සිටි පෞද්ගලික විශ්වවිද්‍යාල පනතට එරෙහිව 2011 දෙසැම්බර් මාසය පුරා සටන් ඇවිලී ගියේය. පනත ගෙන ඒමට තිබුණේ ජනවාරි මාසයේදීය. එහිදී ඊට එරෙහිව පේරාදෙණියේ සිට කොළඹට පැමිණීමට නියමිතව තිබූ පාගමනට විශේෂ කාර්ය බලකාය යොදවා දැවැන්ත මර්දනයක් දියත් කළේය. මෙහිදී විශ්වවිද්‍යාලය වටකර කටුකම්බි ගසා ශිෂ්‍යයින්ට පැමිණීමට තිබූ මාර්ග අසුරා දැමූ අතර විශේෂ බලකායේ නිලධාරීන් විශ්වවිද්‍යාලය වටකොට සිටියේය. අවසානයේදී ආණ්ඩුවට පෞද්ගලික විශ්වවිද්‍යාල පනත හකුළා ගැනීමට සිදුවිය. සයිටම් සටනේ ඉතිහාසය සුන්දරත්වයෙන් යුතු පාරක ගමන් නොගත් බව ඔබට මෙහිදී දැක ගත හැකිය. එසේම මෙම කෙටි සටහන මගින් සිදුවූ සියල්ල විස්තර කර දීමට ද නොහැක. නමුත් ශිෂ්‍ය ව්‍යාපාරය තම ගමන් මග බොහෝ අසීරුතා මැද්දේ ඉදිරියට ගෙන ආවේය. එය හෙට දිනයේදි  ඕනෑම සටන් කරන බලවේගයක් ආදර්ශයට ගැනීමට හැකි බව ප‍්‍රකාශ කළ යුතුය. එම නිසා ලබන කලාපය තුළින් සයිටම් හොර උපාධි කඩයට
එරෙහි සටනට එල්ල වූ මර්දනය සමග ශිෂ්‍ය ව්‍යාපාරය ඉදිරියට පැමිණි ආකාරය සාකච්චා කිරීමට බලාපොරොත්තු වෙමු.

0 comments:

Post a Comment