Thursday, September 20, 2018

තාක්ෂණික විෂයන්. ශාස්ත්‍රිය අධ්‍යාපනය හා රැකියා වෙළඳපොළ




පන්ති සහිත සෑම සමාජයකම අධ්‍යාපනය අධිපති පන්තියේ වරප්‍රසාදයක් බවට පත්කරගෙන තිබුණි. වහල් සමාජයේ වහල් හිමියන්ට අධ්‍යාපනයේ නිදහසත් වහල්ලුන් හට වහල් හිමියාට අවශ්‍ය ශ්‍රමය හෙළිමට අවශ්‍ය දැනුමත් හිමි විය. වැඩවසම් සමාජයේ රඳළයින්ට අධ්‍යාපනයේ නිදහසත් ප්‍රවේණි දාසයාට පරම්පරාවෙන් උරුම වු කර්මාන්තයේ දැනුමත් ලබා දීම අධ්‍යාපනය බවට පත්විය.

අධ්‍යාපනය අයිතියක් බව හා සමාජ සංවර්ධනය සඳහා අධ්‍යාපනය තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන බව තහවුරු කිරීමට මිනිසුන් දැවැන්ත අරගලයක් කළ අතර මේ මොහොත වන විටත් අඛණ්ඩ අරගලයන් සිදු වෙමින් පවති.

නව ලිබරල් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන සමාජයක මිනිසුන්ගේ අධ්‍යාත්මය විනාස කරමින් අධ්‍යාපන ප්‍රතිපත්ති නිර්මාණය වීම සාමාන්‍ය සිදුවීමකි. අධ්‍යාපනයේ සැබෑ අරමුණ වන්නේ පවතින තත්ත්වයට වඩා යහපත් සමාජයක් නිර්මාණය කිරීම සඳහා දියුණු මානව සම්පතක් නිර්මාණය කිරීමයි. නමුත් නවලිබරල් අවශ්‍යතාව වන්නේ ධන කුවේරයන්ගේ ලාබ රේට්ටු තර කර ගැනීම සඳහා අවශ්‍ය මානව ප්‍රාග් ධනය නිර්මාණය කිරීමයි.

වර්තමාන අධ්‍යාපනය තුළ එක් පසකින් ශාස්ත්‍රිය විෂයන් කප්පාදු කිරීමත් තාක්ෂණික විෂයන් පුළුල් කිරීමත් සිදු වන්නේ මෙම අවශ්‍යතාව සඳහාය. ඒම අධ්‍යාපන ප්‍රතිසංස්කණ සඳහා හරි අපුරු තර්කයන්ද ඔවුන් ඉදිරිපත් කරමින් සිටි. රැකියා වෙළඳපොළ ඔවුන්ගේ අධ්‍යාපන සංහාරයේ ප්‍රධාන තර්කයයි. නව ලිබරල් අධ්‍යාපනඥයින්ට අනුව ශාස්ත්‍රිය විෂයන් සමාජයට අදාළම නැත. අවශය වන්නේ රැකියා ඉල්ලුම සහිත තාක්ෂණික දැනුමයි.

ඔවුන් බැහැර කළ යුතු තාක්ෂණික විෂයන් අතර ප්‍රධාන තැනක් ගන්නේ දර්ශනය, ආගමික දර්ශනයන්, ඉතිහාසය, පුරාතන භාෂා, සම්භාව්‍ය කලාව ආදි විෂයන්ය. මෙම විෂයන් සියල්ලක්ම මානව සමාජයේ සංවර්ධනය සඳහා අතිශ්‍ය තීරණාත්මක කාර්ය භාරයන් ඉටු කළ ඒවා වේ.

දර්ශනය විෂය නිර්මාණය වන්නේ මිනිසාට ලෝකය, මිනිසා හා ජීවිතය යන්න තේරුම් ගැනීමට ඇති වු අවශ්‍යතාවය පදනම් කරගනිමිනි. ඒ ඒ යුගයන්හිදි තත්ත්වයන්ට සාපේක්ෂව ලෝකය විග්‍රහ කිරීමට මිනිසුන් ගත් උත්සහය සමඟ දර්ශනය විෂය නිර්මාණය වීම සිදු විය. ලෝකය නිර්මාණය වූ ආකාරයත්, මිනිසා නිර්මාණය වු ආකාරයත්, විඤාණය, ආධ්‍යාත්මය සම්බන්ධයෙන් මිනිසුන්ගේ අදහස් හා තර්කයන් මඟින් පෝෂණය වූ දර්ශනය නැවත ලෝකය වෙනස් කිරීම සඳහා තීරණාත්මක විය. පවතින තත්ත්වය තේරුම් ගැනීම වෙනස් විය යුතු අයුරු වටහා ගැනීම වෙනස් කිරීම සඳහා පදනම වේ. මිනිස් සමාජය වෙනස් වෙන්නෙත් සංවර්ධනය වුයේත් දර්ශනය විෂයේ ප්‍රගමනත් සමඟය.

වර්තමානය දක්වා පවතින ආගම් හා ආගමික සංස්කෘතින්, බිහිවීම සඳහා අගමික දර්ශනයන්ගේ වර්ධනය හා ආරම්භය තේරුම් ගැනීම වැදගත්වේ. ලෝකයේ පවතින සියළු ආගම් නිර්මාණය වී ඇත්තේ ඒ ඒ සමාජ තත්ත්වයට ආදාළව හෝ පවතින තත්ත්වයට වඩා යහපත් තත්ත්වයක් නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය දර්ශනයක් පදනම් කරගනිමිනි. ඒ ඒ සමාජ ක්‍රමයේ දර්ශනයන් නිර්මාණය වීමට ආදාළ තත්ත්වයන් වර්තමානයේ වෙනස් වී ඇත. නමුත් ආගම් නිර්මාණය වීමට ආදාළ තත්ත්වය පැහැදිලිව කියවා ගැනීමට ආගමික දර්ශනයන් අධ්‍යයනය වැදගත්ය. බෞද්ධ දර්ශනය, ක්‍රිස්තියානි දර්ශනය, හිංදු දර්ශනය, ඉස්ලාම් දර්ශනය ආරම්භය හා විකාශනය පිළිබඳව අවබෝධය ඒ ඒ ආගමික සංස්කෘතීන් නිර්මාණය වීමට ආදාළ තත්ත්වයන් තේරුම් ගැනීමට වැදගත් වේ. ආගමික දර්ශනය වෙනුවට අන්ධ විශ්වාසයන් හා පසුගාමි සංස්කෘතීන් තහවුරු වීම හරහා සිදු වන්නේ සංස්කෘතික ගැටුම් නිර්මාණය වීමයි. වඩා යහපත් සංස්කෘතියක් වෙනුවෙන් සියළු දර්ශනයන් අධ්‍යයනය වැදගත්ය. නමුත් ධනේශ්වර අර්බුධය වසා ගැනීමට ජාතීන් අතර, ආගම් අතර, සංස්කෘතීන් අතර ගැටුම් උත්සන කිරීරීමට නම් දර්ශනයන් වෙනුවට අන්ධ විශ්වාසයන් පමණක් ඉතුරු කිරීම  කළ යුතුය. බෞද්ධ දර්ශනය ඇතුළු විෂයන් ඉවත් කිරීමෙන් සිදු වන විනාශය එයයි.

සමාජ සංවර්ධනය සඳහා ඉතිහාසය වැදගත් වේ. අනාගතය නිර්මාණය වන්නේ ඉතිහාසය අද්දැකීම් හා තත්ත්වයන් තේරුම් ගැනීම තුළිනි. ඉතිහාසය සංස්කෘතින් සමාජ ක්‍රමයන් හා ඒ ඒ සමාජ ක්‍රමයේ තත්ත්වය නිගමනය කිරීම සඳහා පුරාතන භාෂාවන් හා කලාවන් වැදගත් වේ. වර්තමානයේ භාවිතා නොවුනද පුරාතන භාෂාවන් හරහා හා කලා කෘතින්, කලා සම්ප්‍රදායන් හරහා දැවැන්ත ඓතිහාසික දැනුමක් ගවේෂණය කළ හැක.

නමුත් ධනේෂ්වර පාලක පන්තියට අවශ්‍යව ඇත්තේ ධනවාදය ලෝකයේ අවසාන සමාජ ක්‍රමය බවට තහවුරු කිරීමයි. අළුත් දැනුම ගවේශණය කරනවා වෙනුවට ඔවුනට අවශ්‍ය වන්නේ ලාබය සඳහා වෙළඳපොළ සඳහා අවශ්‍ය නිශ්පාදන අතර තරඟයක් නිර්මාණය කිරීම පමණි.

ශාස්ත්‍රිය විෂයන් එම නිශ්පාදන තරඟය සඳහා අනවශ්‍ය බව ඔවුන් විශ්වාස කරන අතර තාක්ෂණික විෂයන් ඒ තරඟයට වැදගත් වේ.
අපිට ඕන පැය විසි අතරේම වැඩ කරන්න පුළුවන් මිනිහෙක් හදන්න.
තාක්ෂණ විෂන් නිර්මාණය කරමින් රැකියා වෙළඳ පොළට විෂයන් හඳුන්වා දෙමින් පාලයකන් ප්‍රකාශ කරන්නේ එයයි.

විශ්වවිද්‍යාල යනු රැකියාව පදනම් කරගත් කාර්මික විද්‍යාල, තාක්ෂණික විද්‍යාල, උසස් අධ්‍යාපන ආයතන වල අධ්‍යාපනයෙන් වෙනස් වූවකි. විශ්වවිද්‍යාල නිර්මාණය වන්නේ ලොව පුරා සොයාගන්නා දැනුම එකතු කිරීම, පරියේෂණ, ගවේෂණ කරමින් නව දැනුම උත්පාදනය කිරීම වැනි ශාස්ත්‍රිය අධ්‍යාපනයක් සඳහායි. සියළු විෂයන් තුළ ශාස්ත්‍රිය අධ්‍යාපනික කොටසක් ඇත. නමුත් වර්තමානයේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය පවා ශාස්ත්‍රිය අධ්‍යයන කටයුතුවලින් විතැන් කර ධනකුවේරයන්ගේ ලාප රේට්ටු තර කිරීමේ කාර්ය සඳහා යොදවා ඇත. විවිධ ක්ෂේත්‍රයන් සඳහා නව තාක්ෂණය සම්බන්ධයෙන් පරියේෂණ කිරීරීම සඳහා තාක්ෂණ විෂයන් වැදගත්ය. නමුත් ඒ තාක්ණික අධ්‍යයන වෙළඳපොල තරඟ සඳහාම පමණි.

ලංකාවේ නිර්මාණය කළ තාක්ෂණ පීඨයන් පිළිබඳව අධ්‍යයනය කළ ඒවා වල පවා දැවැන්ත අර්බුධයන් නිර්මානය වී ඇත. තාක්ෂණික පීඨයන්ගේ විෂය නිර්දේශයන් එකිනෙකට වෙනස්ය. එකඳු විෂය නිර්දේශයක්වත් විධිමත්ව අවසන් කර නැත. රාජ්‍ය අධ්‍යාපනය එසේ වුවද උපාධි කඩ සඳහා තාක්ෂණික විෂයන්වල විෂය නිර්දේශයන් යම් විධිමත් බවකින් යුක්තය. තාක්ෂණික දියුණුව වෙනුවට නව ලිබරල් තරඟය එයට හේතුව වී ඇත.

මානව සමාජයේ සංවර්ධනය සඳහා ශාස්ත්‍රිය විෂයන් සේම, තාක්ෂණික විෂයන්හි ශාස්ත්‍රිය අධ්‍යයනය ද අතිශ්‍යය වැදගත්ය. වඩා යහපත් සමාජ ක්‍රමයක් සඳහා නව ලිබරල් අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට කොන්දේසි විතරහිතව එරෙහිවිය යුත්තේ එබැවිනි. නිදහස් අධ්‍යාපනය සේම අධ්‍යාපනයේ නිදහසත් තවුරු කළ යුතුය.













0 comments:

Post a Comment