Tuesday, September 25, 2018

මරණයට එරෙහිව නැගී සිටිමු! එක්ව සටන් වදිමු!

වකුගඩු රෝගය අපේ ජීවිත මත නිර්මාණය කර ඇති
විනාශය සුළුපටු නොවේ. දැනටමත් රෝගයට ගොදුරුව
සිය දහස් ගණනක් මිය ගොස් ඇත. අද නිරෝගී මිනිසා
හෙට රෝගියෙකි. හිත්පිත් නොමැති මේ මාරයා මහල්ලාගේ
සිට කිරිකැටි බිළිඳා දක්වා වගවිභාගයකින් තොරවම බිලිගනී.

රෝගයට ගොදුරු වූ පළාත්වල සෑම නිවසක් පාසාම මෙහි
බියකරු සෙවනැල්ල වැටී ඇත. බොහෝ අය මිය ගොසිනි.
තවත් අය ලෙඩ වී අපා දුක් විදිති. ඉතිරිව සිටින අතලොස්ස
ද වේදනාවෙන්, බියෙන් සලිත වී සිටිති. ජීවත්ව සිටිය යුතු කී
දෙනෙක් නම් මේ රෝගයෙන් අකාලේ මිය ගොස් තිබේද?
දෙමව්පියන්, දූ දරුවන්, ඥාතීන් හිතවතුන් කී දෙනෙක් නම්
අපගෙන් උදුරාගෙන තිබේද?

මිනිසුන් දිනපතා මියයති. ජීවත් වන්නවුන් එක් වී කඳුළු
සලති. මිය ගිය සිය සඟයින් මිහිමත සඟවා අනිත්‍ය පිළිබඳ
සිතමින් හිත හදාගනිති. එහෙත් එහි කිසි අවසානයක් නැත.
යළි යළිත් දින පතා සිදුවෙමින් තිබේ. මේ ප්‍රදේශවල ජීවත්වන
අන්තිම මිනිස් ප්‍රාණියාගේ ජීවිතය ද උදුරාගන්නා තෙක් එහි
අවසානක් සිදු වෙතැයි සිතිය හැකි නොවේ.

අප පුරුදු වී ඇත්තේ සියලුම වද වේදනා කිසියම් කරුමයක,
පවක, දේව ශාපයක නො එසේනම් අවාසනාවක ප්‍රතිඵලයක්
යැයි සිතීමටය. එසේ සිතමින් ඒ සියල්ලම විඳ දරාගැනීමටය.
එහෙත් මේ විනාශය එවැනි කිසිවක ප්‍රතිඵලයක් නොවේ.
වකුගඩු රෝගය හිතාමතාම කළ විනාශයක ප්‍රතිඵලයකි. ඒ
බහුජාතික සමාගම් හා උන්ගේ ඒජන්තයන් වන පාලකයන්
සිය ලාභය වෙනුවෙන් කරන ලද කොල්ලකෑමේ ප්‍රතිඵලයයි.
අපි කන බොන සියල්ල වස විෂ වූයේත්, මිනිස් ජීවිත බිලි
ගන්නා ලෙඩ රෝග වසංගත ඇති වූයේත් ස්වභාවිකව නොවේ.


අපේ ගම්බිම්, වැව් අමුණු, දිය උල්පත් පිරිසිදුව, සාරවත්ව
තිබූ ඉතිහාසයක් තිබුණි. එහෙත් අද ඒ සියල්ල වෙනස් වී
තිබේ. ඒවා මිනිසාට හා ජීවීන්ට මාරාන්තිකව ඇත. ඒ කෘෂි
ර්මාන්තය තුළ ක්‍රියාත්මක සමාගම් සිය ලාභය වෙනුවෙන්
ඉතාමත් බාල ප්‍රමිතියෙන් නිපදවූ හා ටොන් මිලියන ගණනින්
ගොවිතැනට පොම්ප කළ කෘෂි රසායන හේතුවෙනි. ඒ නිසා
එය කරුමයක්, පවක් හෝ දේව ශාපයක් නොව මේ සමාගම්
විසින් හිතාමතාම කළ විනාශයකි. සිදුවී ඇත්තේ අපගේ
හිතවතුන් සියදහස් ගණනින් මියදුනා නොව උන් සිය ලාභය
වෙනුවෙන් මරා දැමීමයි. ඒ නිසා එය ජීවිතේ හැටියයි කෙනෙකු
සිතන්නේ නම් ඉන් සිදුවන්නේ මේ මහා අපරාධය සිදුකළ
උන්ට නිදැල්ලේ සිටීමට ඉඩ දීමයි. එපමණක් නොව තව තවත්
අපගේ දූදරුවන් ද ඔවුන්ට බිලිගැනීමට ඉඩදී බලා සිටීමයි.
අප නිහඩව සිටීමේ ප්‍රතිඵල දැනටමත් ලැබී තිබේ. එනම්
උන් දැන් අප සතු සබ්බසකලමනාවම කොල්ලකෑමට පැමිණ
තිබේ. උන් අපට වස විෂ විකුණා ගොවිතැනේ මුළු මහත්
ආදායමම කොල්ලකෑවා පමණක් නොව, අපි සදාකාලික
රෝගීන් ද කළහ. ඉන් අනතුරුව උන් හැදූ ලෙඩවලට බෙහෙත්
ද විකුණා අපි යළිත් කොල්ල කයි. උන් අපේ ඇළ දොළ, වැව්
අමුණු දූෂිත කර වතුර ද අපට විකුණයි. මේවායින් උන්ට දැන්
හොඳ හැටි ලාභය. නමුත් අපි සමාජයක් වශයෙන් විනාශ වී
ඇත.

ඒත් උන් අපි කොල්ලකෑම තවමත් නවතා නැත. දැන් උන්
සැරසෙන්නේ අන්තිමට වැටී ඉටන්නට ඉතිරිව ඇති ඉඩමත්
කොල්ල කෑමටය. පරම්පරාගණනක් තිස්සේ අපේ ජීවිකාව
වූ ගොවිතැනින් ද දොට්ට දැමීමටය. එසේ කොට උන් අපට
කියන්නේ අන්තිමේ කොල්ලකාගත් අපේම ඉඩම්වල වහල් ̈
සේ උන්ට වැඩ කරන්නට කියාය. එසේ කියමින් හැකිනම්
ජීවත් වෙයව් නැතිනම් මැරියව් කියමින් උන් අපට සොච්චමක්
විසි කරයි. අපට අන්තිමේ උරුම වී ඇත්තේ අපේම දහඩියෙන්
සාරවත් කළ ඉඩම්වල වහල් ̈ සේ කඹුරා, ලෙඩුන්ව දුක්විඳ
මියයාම පමණි. මෙය අපේ කරුමය යැයි සිතුවොත් අන්තිමේ
අපට සිදුවන්නේ එම විනාශයේ ගොදුරු බවට පත්වීම පමණි.
ඒ නිසා කළ යුත්තේ අපි අපේ අයිතීන් වෙනුවෙන් නැගී
සිටීමයි. අපි සැවොම එක්වී අපේ ශක්තිය පෙන්වීමයි. දිවි
දෙවැනි කොට හෝ අපිට හිමි අයිතිය දිනාගැනීමයි.
ඒ සඳහා එක්වීම, සටන් වැදීම හැර අන් විකල්පයක්
නොවේ.

                    
  -වකුගඩු රෝග මර්දන ව්‍යාපාරය-



0 comments:

Post a Comment