සැප්. 05 දින ඒකාබද්ධ විපක්ෂයේ දේශපාලන සංදර්ශනයක් කොළඹදී පැවැත්විණි. කොළඹ පාරවල් සියල්ල වසා ආණ්ඩුවට එරෙහිව කරන ලද විරෝධතාවක් වූ එය නම් කර තිබුණේ ජන බලය කොළඹට යනුවෙනි. (දැන්* නෝමල් රාජපක්ෂ ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ දළ ඌරන් විසින් එය සංවිධානය කරනු ලැබිණි. එය අපූරු විරෝධතාවකි. ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී හාමුලා ජනතාවට කෙතරම් ආදරේද යත් ජනතාවට මහපාරේ උණුහුමට සුවසේ සැතපෙන්නට පහසුකම් සලසා ඔවුහු ෂැංග්‍රිලා වැනි හෝටල් කාමරවල සීතලේ ගැහෙමින් රැුය පහන් කරනු ලැබීය. එවන් කැප කිරීම් නොකර සුවිසල් ජනකායක් කොළඹට කෙසේ නම් දක්කන්නද?
දිවයින වෙල්ගමලාගේය. වෙල්ගමලා ඒකාබද්ධ විපක්ෂයේය. දිවයින නියෝජනය කරන්නේ ඔවුන්ගේ දේශපාලන ව්‍යාපෘතියය. එහෙයින් දිවයිනේ ප්‍රකාශයන් හරහා ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රතිබිම්බය දර්ශනය වීම නොවැළැක්විය හැකිය. වැඩි විස්තර පසුවට තබා නැවතත් අදාළ කතු වැකියට පිවිසෙමු. ආණ්ඩුවේ කටමැත්තෙකු කොළඹට ඊටත් වඩා පිරිසක් ගෙනවිත් දැවැන්ත රැුලියක් පවත්වන බව පැවසූ කතාවකට උත්තර දීම සඳහා එහි මෙසේ සඳහන් කර තිබිණි.
”අරක්කු බාගයයි, බුරියානි එකයි, රුපියල් දාහයි දුන් විට ලණුවක් ඇද නැතත් ලණුවක් ඇද ඇතැයි හිතාගෙන අහසේ බයිසිකල් පැදීමට කැමති ජනයා මේ රටේ සිටිති. මිනිසා දේශපාලන සත්ත්වයෙකැයි ඇරිස්ටෝටල් කියා ඇත. ලංකාවේ මිනිසා දේශපාලන වන සත්වයෙකි.”
අපූරු අදහසකි. ඒකාබද්ධයේ ජනබලය කොළඹට නාටකය අවසන් වූ අලූතම දිවයිනේ කතුවැකිය එවැන්නක් සටහන් කිරීම ඊටත් වඩා අපූරුය. මේ අදහස් දක්වන්නේ ඒකාබද්ධ විපක්ෂයට කත් අදින පත්තරයකි. එහිද කතුවැකියකිනි. ජන බලය කොළඹට පැමිණියේද අරක්කු භාගයේ සහ බුරියානි පැකට් එකේ ආනුභාවයෙනි. ඒකාබද්ධ විපක්ෂයද කළේ ඇද නැති ලණුවක් ඇද ඇති බව පෙන්වා ජනතාවට අහසේ බයිසිකල් පැදීමට සැලැස්වීමයි. දිවයින කතෘ වචනයට නගන්නේ එසේ කොළඹට ජන බලය ගෙන්වූ අත්දැකීමයි. වෙනස වන්නේ එය එක්සත් ජාතික පක්ෂයෙන් කළා නම් එයද මෙසේ වන්නේ යයි උපකල්පනය කිරීමයි. කොහොමත් ධනේශ්වර පාලකයන් ජනතාව පිළිබඳ තක්සේරු කරන්නේ එසේය. එය යූ.එන්.පී ද ශ්‍රී ලංකාදැයි වෙනසක් නැත. කණගාටුවට කරුණ වන්නේ මෙවන් තක්කඩිකම් ජාතික පුවත්පත්වල කතුවැකිවලින් ප්‍රකාශයට පත් වෙද්දී පවා කිසිවෙකුටත් ඒ පිළිබඳ හාන්කවිසියක් නැති වීමයි.
ජන බලය කොළඹට පැමිණි දා බොහෝ දෙනා විවේචනය කළේ ජනතාවය. අරක්කු බෝතලේටයි, බත්පැකට් එකටයි වහල් වෙලා ආපු උන් යනුවෙන් සමාජ ජාල තුළ උපහාසාත්මකව ප්‍රකාශ සටහන් කර තිබෙනු පෙනුණි. නමුත් අප සිනාසිය යුත්තේ ජනතාවට නොවේ. අරක්කු භාගයෙන් පීඩනයත් බත් පැකට් එකෙන් බඩගින්නත් සංකේතවත් වේ. ධනේශ්වර සමාජය තුළ සාතිශය බහුතරයක් ජනතාව පීඩනයට සහ බඩගින්නට ගොදුරු වූවන්ය. මජර ධනේශ්වරය විසින් එය පවත්වාගෙන යයි. නඩත්තු කරයි. එසේම එය පාවිච්චි කරයි. ඒ ඔවුන්ගේ දේශපාලනයය. දිවයින පුවත්පතට සිය කතුවැකිය තුළින් විලිලැජ්ජා නැතුව මෙවන් ප්‍රකාශ කළ හැක්කේ එම දේශපාලන ක්‍රමය රාජ්‍ය බලය හොබවන නිසාය.
මෙම සමාජ අර්බුදයට පැළැස්තර නැත. එකම විකල්පය වමේ බලයක් ගොඩනැගීම පමණි. බත් පැකට් එකටයි අරක්කු භාගෙටයි ජනතාව නැටවෙන යුගය නිමා වන්නේ එවිටය. ජනතා විමුක්ති පෙරමුණ පවසන පරිදි සමාජවාදය සඳහා විලිරුදාවක් සමාජයේ නැත්තේ නොවේ. මෙවන් සිදුවීම්වලින් නැවත නැවතත් ඔප්පු වන්නේ සමාජවාදයේ අවශ්‍යතාවයෙන් සමාජය පෙළෙන බවයි. එය ගොඩනැගීම අප උර මත වූ වගකීමකි.
පක්ෂ විපක්ෂ ධනපතියන් දැන් උත්සාහ කරන්නේ විප්ලවවාදී ව්‍යාපාරය උපන්ගෙයිම මරා දැමීමටය. විජයදාස රාජපක්ෂ ප්‍රකාශ කළේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය විනාශ කළ යුතු බවය. එදාවේල මාධ්‍යවල මේ දිනවල මාතෘකාව නවකවදයය. එයට මූලික වූවන් ලෙස හඳුන්වන්නේ අන්තරේය. මෛත්‍රීපාල, විජයදාස සමාජය ඉදිරිපිට සාන්තුවරයන් වී ඇත. අමුතුවෙන් විස්තර අවශ්‍ය නැත. ගොනා හැරෙන්නේ පොල් පැලයටය. පොල් පැල හොයන ගොන්නුන්ට කීමට යමක් අප සතුව ඇත. එය චිංගීස් අයිත්මාතව් විසින් මීට පෙරම ගුරුගීතයෙහි මෙසේ සඳහන් කර තිබේ.
ඔව්, සීත කාලය පැමිණේවි. තද සීත කුණාටු හමාවි. හිමකැට සහිත නපුරු සුළි සුළං හමාවි. ඒත්, වසන්තය එනවා සත්තයි.
0 comments:
Post a Comment