Thursday, October 11, 2018

මර්දනය, පසුගාමීත්වය හා අරගලය.. දේශපාලන සටහන


දැන් පාලක පංතියේ ප්‍රධානම අභියෝගය කුමක්ද? මුලුමහත් රාජ්‍ය යාන්ත්‍රණයම වෙලාගත් හොරකම වංචාව, දූෂණයද? නැතිනම් අකාර්්‍යක්ෂමතාවද?  නව ව්‍යවස්ථාවක අඩුවද?  ඇතැමුන් කියන්නාසේ ප්‍රජාතන්ත්‍රවාදී ආයතන පද්ධතියක් නැතිකමද?  නීතියේ වල්වැදීමද? නොඒසේනම් දිනෙන් දින කඩා වැටෙමින් පවතින ආර්ථිකයද? ණය බරද? මු`එමහත් සමාජය වෙළාගත් ආර්ථික හා සමාජ පීඩනයද? නැත.  ජීවන බර ඉහළයාම, දේශීය ආර්ථිකයේ බිඳවැටීම, සියදිවි හානිකරගැනීම් අතින් පළමුතැන ගැනීම, ලෙඩ රෝග වසංගත ව්‍යාප්තිය හා සුවකළ හැකි ලෙඩරෝගවලින් පවා මිනිසුන් මියයාම, දරුවෝ පාසල් නොයාම, මහජන සෞඛ්‍ය සේවය දිනෙන් දින වැළලීයාම, පරිසර දූෂණය හා සොබාවික විපත්හි සිදුවී ඇති වේගවත් ඉහළයාම, කුණු කඳු ගොඩගැසීම හෝ ඒවාට යටවී මිනිසුන් මියයාම මේ කිසිවක් පාලකයන්ට අභියෝගයක් වී ඇතැයි පෙනෙන්නට නැත. ඔවුන්ද ඉතාමත් හොඳින්ම දන්නා පරිධි මේ කිසිවකුත් ඔවුන්ට විසදිය නොහැකිය. මන්දයත් මේ ධනවාදයේ හැටිය. එහි උප්පත්තිමය දෝෂයන්ය. තාවකාලිකව එහි යම් වෙනස්කම් කළ හැකය. නමුත් ඒ කිසිවක් වැඩිකල් අල්ලන්නේ නැත. ඒ නිසා ඊනියා ලිබරල් බුද්ධිමතුන් හෝ වාමවෙස්ගත් ධනේෂ්වර ඒජන්තයින් මේ ගැන අඩා වැළපීමෙන් කිසි පලක් වන්නේ නැත. මේ නම් ධනවාදය. එහි සැබෑ යථාර්තයය.

එසේනම් ඔවුන්ගේ අභියෝගය කුමක්ද? මේ ප්‍රශ්න කිසිවක් විසඳීම නොව ඒවා යටගැසීමය. විඳදරාගන්නට ජනතාව හුරුකිරීමය. කිසිදා සැබෑනොවන හීනයක ජනතාව ගිල්ලවා තැබීමය. ඒ සඳහා ජනතාව ගොනාට අන්දන්නේ කෙසේද? එහි වගකීම පටවන්නේ කා පිටද? පීඩිත ජනතාව වසඟයට ගන්නේ කෙසේද? නැති වුන් දමනය කරන්නේ කෙලෙසද? පීඩිත බලවේග අසමගිකරන්නේ කෙසේද? මේ ඔවුන් අද වද වෙන ප්‍රශ්නය. ඒ නිසා ආණ්ඩු පකත්ෂයේ පමණක් නොව විපක්ෂේ බලවේග ද ඒ සඳහා සම්මුතියකට එළබී ඇත. ඒ ශිෂ්‍ය ව්‍යාපාරයට එරෙහිවය. එය අතුගාදැමීමටය. 

මෙතෙක් කල් ආණ්ඩුව නිහඩව සිටියේය. ඉන් කියවෙන්නේ මර්දනය නොකළේය යන්න නොව, නමුත් වියරු වැටී මෙතරම් පිස්සු කෙලිනා තැනටම නොගියේය යන්නය. නමුත් ඒ ටික කාලයකට පමණක්ය යන්න අපි අනන්තවත් අනතුරු අඟවා ඇත. මන්දයත් ධනවාදයට දිය හැකි ප්‍රජාතන්ත්‍රවාදයක් හෝ නිදහසක් නොමැති බව ඕනෑම ළදරුවකුට වුවුද තේරෙන නිසාය. අවුරුදු තුනක් දත් මිටිකාගෙන සිටියේය. ඒ අතර නීතියෙන් සෙල්ලම් දැමීය. එහෙත් එය සාර්ථක වූයේ නැත. නඩු පිට නඩු දමද්දීත්, සිසු නායකයින් හිරගත කරද්දීත් අරගලය ඉදිරියට ගියේය. සිසුන් පමණක් නොව මේ අරගලය වටා පොදු ජන බලවේ ද අන් කවරදාටත් වඩා ඒකරාශී විය. එහි හොඳම නිදසුන සයිටම් අරගලයයි. එහි ප්‍රතිඵලය ආණ්ඩුව ඇන්නේය. අකමැත්තෙන් වුවද සයිටම් අහෝසිකරන්නට සිදුවිය. එපමණක් නොව එම අරගලය සමාජය වෙත ගෙනා ආශ්වාදය අති මහත්ය. සටන් කර ජයගත හැකිය යන්න එහි දී යළි යළිත් ඔප්පු විය. අනෙකුත් ජනතා අරගල කෙරෙහිද එය නව ආලෝකයක් ගෙනාවේය. නමුත් එය පාලකයන්ට දිරවන්නේ නැත. මේ විදිහට ගියොත් ඔක්කොම ඉවරයි. හැම එකාම සටන්කරන්න ගත්තොත් අපේ පැවැතමක් නෑ. මේ ඔවුන් හිතන හැටිය. ඒ නිසා දැන් අපායේ ඉන්ටවල් ඉවරය. ආණ්ඩුව වැඬේට බැස ඇත. ප්‍රජාතන්ත්‍රවාදය, මානව නිදහස ඒ ගැන කතාවලින් තවත් වැඩක් නැත. ආණ්ඩුව සැරසෙන්නේ කෙක්කෙන් බැරි දේ කොක්කෙන් හෝ කරන්නටය. 

පාලක පංතියට අධ්‍යාපනය විකිණීමට නම් ශිෂ්‍ය ව්‍යාපාරය මර්දනය කිරීම හැර වෙන විකල්පයක් නැත. නමුත් එය හිතනා තරම් පහසු ද නොවේ. මන්දයත් ශිෂ්‍ය ව්‍යාපාරය පිටුපස ඇති මහා ශක්තිය පොදු ජන සහය වන නිසාය. ඒ නිසා මුලින්ම කළ යුත්තේ ජනතාව ශිෂ්‍ය ව්‍යාපාරයට එරෙහිව බිඳවීමය. ඒකට හේතුවක් සොයා ගැනීමය. ඒ අනුව දැන් සිදු කරමින් ඇත්තේ එයයි. එනම් නවක වද තුරුම්පුව ඇදීමයි. සරසවි සංස්කෘතිය ප්‍රශ්න කිරීමයි. ඕනෑම සංස්කෘතියක් ගත්විට එහි හොඳ මෙන්ම නරකද තිබේ. එය සරසවි උපසංස්කෘතියටත් පොදුය. සාමූහිකත්වය, සහෝදරත්වය, සටන්කාමීත්වය වැනි සාධනීය ලක්ෂණ මෙන්ම පසුගාමීකම්ද එහි ඇත. නමුත් ඒ කිසිවක් හුදු සරසවියටම පමණක් සීමා වූ දේ ලෙස පමණක් නොව මහා සංස්කෘතියේ පිරිහීම පෙන්වන පොදු ප්‍රකාශනයන් බවද අප වටහාගත යුතුය. මන්දයත් සරසවි ශිෂ්‍යා පමණක් දඩු කඳේ ගැසීම තුළ එය වෙනස් කළ නොහැකි බැවිනි. ශිෂ්‍ය ව්‍යාපාරයද එහිදී වටහාගත යුතු දෙයක් ඇත. එනම් සංස්කෘතිය යැයි කියමින් සියල්ල ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙනී සිටීම වෙනුවට සිය වැරදි දුර්වලතා හඳුනාගනිමින් වඩාත් දියුණු උපසංස්කෘතියක් නිර්මාණය කරගන්නේ කසේද යන්නයි. සරසවිය පවත්නා සමාජය කුණුවීම පෙන්වන නිදසුනක් වෙනවාද නොඑසේනම් මු`එමහත් සමාජයටම ආදර්ශයක් වෙනවාද යන්න අප තීරණය කළ යුතුය.
  
එසේම අපි කවුරුත් මේ සියලු අඩුපාඩු වෙනුවෙන් අරගල කරන ගමන්ම පාලක පංතියේ සියලුම කොටස් අද සම්මුති ගතවී පෙන්වන පුහු නවක වද විරෝධය තුළ හා නවකයන් පිළිබ`ඳව පෙන්වන අමුතු දයාව තුළ ඇති යථාර්තය තේරුම්ගත යුතුය. දැන් මේ ආණ්ඩුව සැරසෙන්නේ කුමක් සඳහාද යන්න තේරුම් ගැනීමට නම් පසුගිය අත්දැකීම් යළි ආවර්ජනය කළ යුතුය. එයට වැඩි දුරක් යායුතු නැත. පහුගිය රජපක්ෂ ආණ්ඩුව ද සිය නරුම මර්දනයේ ආරම්භය ගත්තේ මෙසේය. එනම් යුද්ධය අවසන් වන්නටත් පෙර ධනපති මාධ්‍ය සිය මතාවාදීමය මෙහෙයුම ආරම්භ කළේය. අද මෙන්ම දිවයින එදාද කතුවැකකි ලිවීය. එහිදී පුන පුනා කී කතාවක් ඇත. එනම් දැන් උතුර මුදාගෙන ඉවරයි. හැබැයි ආරක්ෂක අංශ වෙත තව එක් වගකීමක් ඇත. එනම් දකුණේ මුදානොගත් කලාප මුදා ගැනීමයි. ආණ්ඩුව ඊළඟට හමුදාව ඒ වෙනුවෙන් යෙදවිය යුතුය. පාලකයන්ට අනුව දකුණේ විශ්වවිද්‍යාල යනු මුදානොගත් කලාප විය. මන්දයත් ඒවාහි ඔවුන්ට රිසි සේ දේශපාලන සංදර්ශන පැවැත්විය නොහැකි බැවිනි. එසේම ශිෂ්‍යයෝ ආණ්ඩුවේ ප්‍රතිපත්ති අනුමත කරන්නෝ වෙනවා වෙනුවට ඒවා ප්‍රශ්න කිරීමද මේ සිතීමට හේතුවන්නට ඇත. කෙසේ හෝ මුලින් මතවාදය හැදීය. පසුව මර්දනය ගෙනාවේය. ඒ අනුව සියලුම ශිෂ්‍ය සංගම් තහනම් විය. ශිෂ්‍යයෝ දහස් ගණනකගේ පංති තහනම් කළේය. සිසු නායකයෝ හිරගත කළේය. නවකයන් වෙනුවෙන් හමුදා පුහුණුවක් දීමෙන්ද සරසවි ඇතුළට ගෝඨාභයගේ සිය කුළී හේවායන් එවීමෙන්ද ශිෂ්‍ය ව්‍යාපාරය මිලිටරිමය වශයෙන් වටලෑහ. සිසුන් තිදෙනෙක් මරා දමනු ලැබිණ. එයටම ගැලපෙන ඇමති කෙනෙක් පත්විය. එස් බී වියරුවෙන් දැගලීය. සිසුන් සිය දහස් ගණනක් හෝ එළියට ඇද දමා අධ්‍යාපනය විකුණන බවට කීය. මේ සියල්ලේ අරමුණ ඉතාමත් පැහැදිළි විය. එනම් එහි අරමුණ නිදහස් අධ්‍යාපනය විකිණීම බව පෙන්වමින් 2011 දී පෞද්ගලික විශ්වවිද්‍යාල පනත ගෙනාවේය. එහෙත් ඒ කිසිවකට සිසු අරගලයට අඩ තැබිය නොහැකි විය. අන්තිමේ ශිෂ්‍ය ව්‍යාපාරය නොව ගෙදර ගියේ ආණ්ඩුවය. ඒ කවදත් ජනතා අයිතීන් කොල්ලකෑමට ආ පාලකයන්ට අත්වූ ඉරණමය.

දැන් යළි සිදුවෙමින් ඇත්තේද එය බව තේරුම් ගැනීම අපහසු නැත. ධනපති මාධ්‍ය ඒ පැරණි මෙහෙයුම යළි අරඹා ඇත. කතුවැකි ලියන්නේය. හමුදාව හෝ දමා අන්තරේ අතුගා දමන්නැයි කියන්නේය. ඔවුන් මේ ඉල්ලන්නේ ලේය. ඒ ගැන අපි පුදුම විය යුතු නැත. කවදත් ධනපති පංතියේ හැටි එහෙමය. ඔවුන් සිය ලාභය වෙනුවෙන් මේ මහපොළව මත කර ඇති විනාශය අති මහත්ය. එහෙත් සිය ලාභ උපරිම කිරීමේ මෙහෙයුම තවමත් එහෙමය. එයට අවශ්‍ය සියල්ල විකිණීම පමණි. නඝ්න ලෙස සියල්ල සූරාකෑම පමණි. එහිදී ශිෂ්‍ය ව්‍යාපාරය ඔවුන්ට ඉමහත් හිසරදයක් වී ඇත. ඉතින් ඒ බාදාව ඉවත් කරගතයුතුය. දැන් මේ නවක වදය ගැන හදිසියේ මතක් වී ඇත්තේ ඒ නිසාය. නවකයෝ කෙරෙහි වන අනුකම්පාවද එසේමය. එය අපි තේරුම් ගත යුතුය. අනික මේ කස කාරයා පමණි. එයින් ඇඟවෙන්නේ පෙරහැර නුදුරේම පැමිණෙමින් තිබෙන බවය. රුහුණේ භික්ෂුන් හිරගත කිරීම, නයිවල එච් එන් ඩී එකේ සිදුවූ සිසු ගැටුමක් නවකවදයක් සේ පෙන්වීම, නවක වදය වැලැක්වීමට යැයි කියමින් රජරට සරසවියේ නේවාසිකාගාරවලට ආරක්ෂක අංශ හා විනය පාලක බීමතින් කඩා පැනීම, බොරු චෝදනා එල්ලකරමින් සිසුන්ට වසර ගණනක පංති තහනම් ලබාදීම, මාධ්‍ය සාකච්ඡා, රූපවාහිනී සංවාද, දිනපතා ලියවෙන කතුවැකි මෙහි ආරම්භයක් පමණි. එය ඉදිරියේදී ශිෂ්‍ය සංගම් තහනම් කිරීම, හිරගතකිරීම්, පංති තහනම්, හමුදා වටලෑම්, මරණ තර්ජන, පහරදීම් ආදී මේ කුමන ආකාරයකින් වුවද පැමිණිය හැකිය. සිසු අරගලය පොඩිපට්ටම් කර අධ්‍යාපනය විකිණීම  එහි අවසාන අරමුණ බවට කිසි විවාදයක් නැත. ඒ නිසා අපි ඉතාමත් බුද්ධිමත්ව මේ මොහොතේ කළ යුත්තේ රාජ්‍ය මර්දනයත්, මර්දනයට තුඩු දෙන අප තුළම වන පසුගාමී කමුත්, අධ්‍යාපනය ඇතු`එ ජනතා අයිතීන් කොල්ලකෑමට එරෙහිවත් කොන්දෙසි විරහිතව සටන්වැදීම පමණි.  

0 comments:

Post a Comment