අවස්ථාවාදය ද නිර්ධන පංති ජාත්‍යන්තරවාදය ද කෘතිය ආරම්භ කරමින් රෝහණ සහෝදරයා ලෙනින්ගේ ප්‍රකාශයක් මෙසේ උපුටා දක්වයි.
”අවස්ථාවාදය අපේ ප්‍රධාන සතුරා වෙයි. කම්කරු පංති ව්‍යාපාරයේ ඉහළ ශේණි තුළ තිබෙන අවස්ථාවාදය යනු නිර්ධන පංති සමාජවාදය නොව ධනේෂ්වර සමාජවාදය වෙයි. අවස්ථාවාදී උපනතියට ඇලී ගැලී සිටින, කම්කරු පංති ව්‍යාපාරයෙහි ක්‍රියාශීලී අය, ධනපතියන්ට වඩා හොඳින් ධනපතීන් ආරක්ෂා කරන්නන් වන බව භාවිතාව විසින් පෙන්වා දී ඇත. කම්කරුවන්ට සපයන ඔවුන්ගේ නායකත්වය නොමැතිව ධනපතීන්ට බලයේ රැඳී සිටිය නොහැකි වනු ඇත.“
අප ගත කරන මේ මොහොත යනු සැබෑ නිර්ධන පංති ව්‍යාපාරත්, නිර්ධන පංති ව්‍යාපාර සේ පෙනී හිඳිමින් ධනේෂ්වරයේ අර්බුදයට පැච් අලවන අවස්ථාවාදී ව්‍යාපාරත් මොනවාද යන්න වෙනදාටත් වඩා හොඳින් පරීක්ෂාවට ලක්වන මොහොතකි.
නවලිබරල් ධනේෂ්වරය අර්බූදයෙන් අර්බූදයට ගොස් ඇත. ඉතිහාසයේ නොවූ විරූ තරම් ධනේෂ්වර ආර්ථික අර්බූදය දිග්ගැස්සෙමින් ඇත. අධිරාජ්‍යවාදී ධනේෂ්වර බල කඳවුරු එකිනෙකා කුලල් කා ගනිමින් වෙළඳපොළ බෙදාගැනීමේ සීතල යුද්ධයක නිරතව සිටී. ලංකාවේ මේ මොහොතේ පවතින දේශපාලන අලකලංචි මෙම ආර්ථික අවපාතය හා ධනේෂ්වර බල කඳවුරුවල බළල් පොරය මත පදනම්ව කියවා ගත යුතුය.
2015 වසරේ රාජපක්ෂ පාලනය අවසන් කිරීමට ගෙනා ප්‍රජාතන්ත්‍රවාදයේ සටන් පාඨය නැවත වතාවක් කරළියේ කතාබහට ලක්ව ඇත. එදා සේම අදත් ප්‍රජාතන්ත්‍රවාදය පාලකයන්ගේ බලසූදුවේ තුරුම්පුවක් ලෙස පාවිච්චි වනු පෙනෙයි. ඒ පවතින නොණ්ඩිග හන ප්‍රජාතන්ත්‍රවාදයත් පක්ෂ විපක්ෂ භේදයකින් තොරව සියලු පාලක නඩය විසින්ම ඇස් පනාපිට අමු අමුවේ උල්ලංඝනය කරමින් සිටින අතරතුරය. අද ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ පාරම්බාන රනිල්, මෛත්‍රී, මහින්ද ප්‍රමුඛ ධනපති පාලක නඩයට ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ කතා කරන්නට අංශු මාත්‍රයක අයිතියක් නැත.
රතුපස්වල වෙඩි තබද්දී, ජනක, සිසිත මරා දමද්දී, ලලිත්, කුගන් ඇතුළු දහස් ගණන් අතුරුදන් කරද්දී රාජපක්ෂලාට ප්‍රජාතන්ත්‍රවාදය මතක් වූයේ නැත. උමාඔය, වරාය නගරය ආදී විනාශකාරී සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කරන විට, සයිටම් හරහා අධ්‍යාපනය හා සෞඛ්‍ය වෙළඳභාණ්ඩයක් කිරීමට උත්සාහ දරණ විට, සිංගප්පූරු ගිවිසුම අත්සන් කරන විට, ජනතාව මත බදු පිට බදු පටවන විට මෛත්‍රීපාලලාටවත් රනිල් වික්‍රමසිංහලාටවත් ප්‍රජාතන්ත්‍රවාදය අදාළ නොවීය. එපමණක් නොවේ. බල සූදුවට මැදිවී පාලක පංතියේ කුණම්මඩු ඇත්තන් බවට පත්වූ ජවිපෙ, වික්‍රමබාහු, දිනේෂ්, වාසු වැනි අවස්ථාවාදී වම්මුන්ට ද ඇඟිලි සලකුණු පනත වැනි මර්දන අණපනත් සම්මත කරගැනීමට අත ඔසවන විට ප්‍රජාතන්ත්‍රවාදය ගැන හාංකවිසියක් තිබුණේ නැත.
ආර්ථික නිදහසකින් තොර ප්‍රජාතන්ත්‍රවාදයක් නැත. ක්‍රියාත්මක වන්නේ නවලිබරල් ප්‍රතිපත්තියයි. සමාජය සතු සියල්ල ධනේෂ්වර වෙළඳපොළේ වෙන්දේසි කරන ප්‍රතිපත්තියයි. නිර්ධන පංතිය තවතවත් තලමින් පෙළමින් සූරාකෑම අන්තයටම ක්‍රියාත්මක කරන ප්‍රතිපත්තියයි. මහින්ද, මෛත්‍රී, රනිල් කවුරු මහපුටුවල හිටියත් ක්‍රියාත්මක වන ප්‍රතිපත්තියයි. ආර්ථික නිදහස දෙස වපරැහින්වත් නොබලා කෙරෙන ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ සාකච්ඡාව පුස්සක් පමණි. එසේම මේ මොහොතේ ප්‍රජාතන්ත්‍රවාදය කඬේ යවන්නේ බලසූදුවේම තුරුම්පුවක් ලෙස මිස ඒ පිළිබඳ ඇති කැක්කුමක් නිසා නොවේ. එහෙයින් මතුව ඇති බලපොරයේ ඉත්තන් බවට පත් නොවී සැබෑ ප්‍රජාතන්ත්‍රවාදයත් ආර්ථික නිදහසත් දිනාගැනීම වෙනුවෙන් කළ යුතු අරගලයක් නිර්ධන පංති ව්‍යාපාරය අභිමුව පවතී. මේ ගතවන දේශපාලන මොහොත යනු ධනේෂ්වරයේ නිරුවත හෙළිදරව් වන මොහොතකි. අර්බුදයෙන් අර්බුදයට මිස ධනේෂ්වරයට යන එන මං නැත. එහෙයින් මේ නිර්මාණය වී ඇති මොහොත අපේය. නිර්ධන පංති ව්‍යාපාරයේය. ධනේෂ්වර බලසූදුවේ අවස්ථාවාදී ඉත්තන් නොවී ඒ සඳහා එක්වෙමු. සංවිධානය වෙමු. සටන් වදිමු.
0 comments:
Post a Comment