'චිකෝ මෙන්ඩේස්'ලා අවදි විය යුතුය...!
පෘථිවියේ පෙනහළු ලෙස හැඳින්වෙන ඇමසන් වැසි
වනාන්තරය මේ මොහොත වන විටත් ගිනිගනිමින් පවතියි. ඇමසන් යනු ලෝකයේ විශාලතම වැසි
වනාන්තරය වන අතර එය මුළු ප්‍රමාණයෙන් 40% ට ආසන්න අගයක් ගනියි. බ්‍රසීලයේ පමණක් ව්‍යාප්තව
ඇති ඇමසන් වනගහනය හෙක්ටයාර් මිලියන 670ක් වන අතර එය මුළු ප්‍රමාණයෙන් 60% ට ආසන්න වේ.
විශාලත්වයෙන් භූමි ප්‍රමාණයෙන් ඉන්දියාව මෙන් දෙගුණයක් පමණ විශාල ඇමසන් වැසි
වනාන්තරය ලෝක ජෛවවිවිධත්ව වර්ගයන්ගෙන් 10% ටම නිවහනක්ව පවතියි. තවද ලෝකයේ ඔක්සිජන්
අවශ්‍යතාවයෙන් 20% ක්ම
නිපදවන්නෙ ඇමසන් වැසි වනාන්තරය තුළයි. එනම් ඔබේ පෙනහළු තුළට ඔබ ගන්නා හුස්මින් 1/5 ක්ම අයිති වන්නේ
ඇමසන් වැසි වනාන්තරයටයි. තවද වර්ෂයකට කාබන් මෙට්‍රික් ටොන් බිලියන 90 - 140 ත් අතර ප්‍රමාණයක්
ගිලදමමින් හරිතාගාර ක්‍රියාවලිය හරහා වායුගෝලීය උෂ්ණත්වය ඉහළ යෑමට හේතුවන
කාබන්ඩයොක්සයිඩ්, මීතෙන් ඇතුළු
වායුන් අවශෝෂණය කරගනිමින් ගෝලීය උෂ්ණත්වය පාලනය කිරීමට දක්වන ඉහළ දායකත්වය
හේතුවෙන් විද්‍යාඥයන් පවසන්නේ ඇමසන් වැසි වනාන්තරය විනාශ වුවහොත් ගෝලිය උෂ්ණත්වය
පාලනය කිරීම සිහිනයක් පමණක් වන බවයි. එමෙන්ම ඇමසන් ගංගාව හා බිලියන 900 ක් පමණ වූ ශාකත් එක්ව
දැවැන්ත ජල වාෂ්ප ප්‍රමාණයක් වායුගෝලය වෙත මුදා හරිනු ලබයි. මිලියන 3ක් පමණ වූ ශාක හා
සත්ත්ව විශේෂයන් සඳහාත් මිලියනයක් පමණ වූ ස්වදේශික ජනතාවටත් නිවහනක්ව පවතින ඇමසන්
වැසි වනාන්තරය නියත වශයෙන්ම හෙට දිනයේ ජීවයේ පැවැත්ම තීරණය කරන අතිශය වැදගත් ජෛව
පද්ධතියකි.
මීට මාස කිහිපයකට පෙර ප්‍රංශයේ 'නෝත්‍රදාම්' (Notre
dame) දෙව් මැදුර ගිනිගන්නා
විට ඒ ක්ෂණයෙන් මිනිත්තු කිහිපයක් තුළ ලොව පුරා ප්රමුඛ පෙළේ මාධ්‍යයන් හරහා සමස්ථ
ලෝකවාසී ප්‍රජාවටම එකී සිදුවීම පිළිබඳව පණිවුඩය රැගෙන යන ලදි. මිනිත්තුවෙන්
මිනිත්තුව ඒ පිළිබඳ ප්රවෘත්ති වාර්තා යාවත්කාලීන විය. ලොව පුරා සිටින
බිලියනපතියන් දස දෙසින් දෙව් මැඳුර යළි ඉදිකිරීම සඳහා ආධාර ලබාදෙන්නට විය. French
Fashion House වෙතින් ලබා
දෙන ලද ඇ.ඩො. බිලියනයක ආධාරය ඒ අතරින් ප්රමුඛ විය. ලොව පුරා රටවල ජනාධිපතිවරුන්
විසින් ශෝක පණිවුඩ නිකුත් කරන ලදි. ඒ නෝත්‍රදාම් දෙව්මැඳුර වෙනුවෙනි. එහෙත් ජීවයේ
පෙණහළු සති තුනකට ආසන්න කාලයක් පුරා ගිනිගනිමින් පවතින විට කිසිඳු මාධ්‍යයක්,
බිලියනපතියෙක් හෝ
පාලකයෙක් පෙනෙන තෙක් මානයක නැත. පසුගිය බ්‍රහස්පතින්දා දින සිට සතියකට ආසන්න
කාලයක් තුළ නව ගිනිතැබීම් 9507 ක් ද 2019 වර්ෂය තුළ පමණක් ගිනි
තැබීම් 74000 ට වඩා වාර්තා
වී තිබිණ. එය පසුගිය වර්ෂයේ මෙම කාලපරිච්ඡේදයේ සිදු වූ ගිනිතැබීම් වලට වඩා 84% ක වාර්තාගත ඉහළ
යාමකි. ගිනිතැබීම් සම්බන්ධයෙන් 2013 වර්ෂයෙන් පසු වාර්තාවූ ඉහළම අගය මෙය වන අතර මීට පෙර 2016 වර්ෂයේදි ගිනි තැබීම්
68484 ක ප්‍රමාණයක්
වාර්තා වන්නේ දෙවන වැඩිම ගිනිතැබීම් සිදු වූ වර්ෂය ලෙසයි. එලෙස පෘථිවියේ ධරණීය
පෙණහළු සති තුනකට ආසන්න කාලයක් ගිනිගෙන දැවී හළු වෙමින් යද්දි ඒ පිළිබඳ වාර්තා කළ
එකඳු ගෝලීය මාධ්‍ය බලවතෙකු හෝ නොවීය. ධනපති සමාගම් හිමියන්ගේ 'වෙඬරු වැනි උණු වී
හැලෙන හිත්' ඇමසන් වැසි
වනාන්තරය තුළ ගිනිගෙන දැවෙන ශාක, සත්ත්ව, ස්වදේශික ජීවිත වෙත යොමු නොවීය. මන්දයත් ඇමසන් ගිනිතැබීම
යනුම ධනපති සමාගම් හිමියන්ගේ කොල්ලකාරි ලාභ සමුච්චනය වෙනුවෙන් බිලි දිය යුතුව තිබූ
බිලි පූජාවක් නිසාවෙනි. කෙටියෙන්ම කියතොත් බ්‍රසීල ජනාධිපති ජා බොල්සොනාරෝ ප්‍රකාශ
කළේ ඇමසන් ගින්න නිවීම සඳහා ප්‍රමාණවත් තරම් සම්පත් බ්‍රසීලය සතුව නොමැති බවත්
එනිසා තමන්ට කිසිවක් කළ නොහැකි බවයි. සති තුනකට පසුව හෝ ප්‍රධාන මාධ්‍යයන්හි මේ
පිළිබඳව සාකච්ඡා කිරීමට පෙළඹුනේ සමාජ මාධ්‍යයන්හි එය දැවැන්ත කතිකාවක් නිර්මාණය
කිරීම හේතුවෙනි.
කෙසේ නමුත් ඇමසන් වැසි
වනාන්තරය තුළ ශීඝ්‍ර වශයෙන් සිදුවන වන විනාශය පිළිබඳව ඒ සම්බන්ධයෙන් පර්යේෂණ
පවත්වන ජාතික අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය (National Institute of Space and Research
– NIPE) සෘජුව චෝදනා
කරනුයේ බ්‍රසීලයේ ජනාධිපති බොල්සොනාරෝගේ ඊනියා සංවර්ධනයේ නාමයෙන් ගස් කපා දැමීම හා
වන විනාශයන් දිරිමත් කරන ප්‍රතිපත්ති මේ වන විනාශය සඳහා හේතු වූ බවයි. අන්ත
දක්ෂිණාංශික ජනප්‍රියවාදී පාලකයෙකු ලෙස ප්‍රචලිත බ්‍රසීල ජනපති බොල්සොනාරෝ 2018 ජනවාරි 1 වන දින ජනාධිපති බවට
පත්වීමෙන් අනතුරුව ගත වූ කාලපරිච්ඡේදය තුළ වන විනාශය 300% කින් ඉහළ ගිය බව NIPE ආයතනය පවසයි. ඔහු
ජනාධිපතිවරණය අතරතුර දුන් ප්‍රධාන පොරොන්දුවක් වූයේ බ්‍රසීල ආර්ථිකය නැවත යථා
තත්වයට පත් කිරීම සඳහා ඇමසන් වනාන්තරය වෙනත් ප්‍රයෝජන සඳහා යොමුකරන බවත් වනය තුළ
සිටින ස්වදේශික ජනතාවට තවත් එක් සෙන්ටිමීටරයක් තරම් භූමියක්වත් වෙන් නොකරන බවයි.
තවද ගෝලීය උෂ්ණත්වයට හා වන විනාශයට එරෙහි සටන නොසළකා හරිමින් ඔහු පැවසූයේ බ්‍රසීලය
පරිසරය පිළිබඳව වූ සයිකෝසියාවකින් පෙළෙන බවයි.
කැලෑ ගිනිතැබීම්
අතුරින් බහුතරයක් වාර්තා වන්නේ ගව පාලනය උදෙසා සිදුකරනු ලබන කැලෑ ගිනිතැබීම්ය. ලෝක
වෙළඳපල තුළ හුවමාරු වන ගවමස් නිෂ්පාදනයෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් නිඅපදවනු ලබන්නේ
බ්‍රසීලය තුළයි. ඇමසන් වනාන්තරය තුළ පමණක් අනවසරයෙන් ගවයන් මිලියන 200 තරම් සංඛ්‍යාවක් ඇති
කරන බවද සඳහන්. මීට අමතරව ගොවිතැන්, පතල් කැණීම් හා දැව සඳහා ගස් කැපීම් තුළින්ද ඇමසන් වැසි
වනාන්තරය දිනෙන් දින ක්ෂය වෙමින් පවතියි. ඒ පිළිබඳව සඳහන් කරමින් NIPE ආයතනයේ පර්යේෂකයෙකු
පවසා ඇත්තේ ඔබ ඇමසන් වනාන්තරය දෙස බලන සෑම චන්ද්‍රිකා චායාරූපයකදීම ඉන් කොටසක්
අහිමි වී ඇති බවයි. බොල්සොනාරෝ ජනාධිපතිවරයා තමන්ට එරෙහිව එල්ලවන චෝදනාවන්ට අදාළව
පිළිතුරු ලබා දෙමින් පවසා ඇත්තේ ගොවියන් විසින් වගාකිරීමට හා ගවයින් ඇතිකිරීමට
සාමාන්‍යයක් වශයෙන් වර්ෂයේ මේ කාලපරිච්ඡේදයේදී කැලෑ ගිනිතැබීම් සිදුකරන බවයි.
"කාලයක් මාව
හැඳින්වූවා 'කැප්ටන්
චෙන්සෝ' (Captain Chainsaw) කියලා. දැන්
මම ඇමසන් වනාන්තරයට ගිනි තියන 'නීරෝ' කෙනෙක් වෙලා. ඒත් මේ 'පුළුස්සාදැමීමේ සමයයි'.
(Season of queimada)”
බොල්සොනාරෝ ජනාධිපති
බවට පත්වූවායින් පසු වනවිනාශය 300% කින් ඉහළ යෑමත් සමඟ ඔහුව 'කැප්ටන් චෙන්සෝ' ලෙස හැඳින්වුවත් ඔහු වඩා ප්‍රකට වූයේ 'නිවර්තනයන්හි ට්‍රම්ප්'
ලෙසයි.(Trump of
Tropics) අන්ත
දක්ෂිණාංශික දේශපාලනයේ සන්නාමයක් වූ, ප්රජාතන්ත්රවාදයට සතුරු මෙන්ම කාන්තාවන්
හා සුළු ජාතිකයන් පිළිබඳව අතිශයින් පීඩාකාරී ප්‍රකාශ නිකුත් කිරීමේ ගිනිපෙලෙල්ලක්
වූ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙනුවෙන් බ්‍රසීල ජනතාව ලබා දුන් පිළිතුරක්
ලෙස බොල්සොනාරෝ සළකනු ලබයි. ට්‍රම්ප් දේශගුණික විපර්යාසයන්ට එරෙහි ක්‍රියාමාර්ග 'චීන උගුලක්'
(Chinese Hoax) බව පවසමින්
එයට එරෙහි පරිසර ආරක්ෂණ ක්‍රියාමාර්ග ඉවතලූ අතර දේශගුණික විපර්යාස පිළිබඳව වූ
පැරිස් සම්මුතියෙන් ද ඉවත්වීමට තීරණය කළේය. ට්‍රම්ප්ගේ අඩිපාරේ යමින් බොල්සොනාරෝද
ගෝලිය උෂ්ණත්වයට හා වන විනාශයට එරෙහි සටන නොසළකා හැරි අතර ගොවීන්, ගස් කපන්නන්, ගව පාලනය හා පතල්
කැණීම් සඳහා වන විනාශය දිරිගන්වන ප්‍රතිපත්ති අනුගමනය කරන්නට වූයේ දේශගුණික
විපර්යාස හා පරිසර ආරක්ෂණය සම්බන්ධ ජාත්‍යාන්තර ප්රඥප්තින්ගෙන්ද ඉවත්වන බවට ඉඟි
පළ කරමින්. ඇඩෙල්ෆි පර්යේෂණායතනය පෙබරවාරි මස ජර්මනියේදී නිකුත් කරන ලද
වාර්තාවකින් දැක්වෙන්නේ යුරෝපය තුළ පවතින විශාලතම අන්ත දක්ෂිණාංශික පක්ෂ 21න් 18ක්ම පොදුවේ එක්කෝ
දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් උදාසීන මතයක් දරන නැත්නම් දේශගුණික විපර්යාසයන්ට
එරෙහි ප්‍රතික්‍රියා එකහෙලාම ප්‍රතික්ෂේප කරන බවයි. තවද එම වාර්තාවෙන් තවදුරටත්
දක්වා ඇත්තේ ඊට ප්‍රතිවිරුද්ධ ලෙස මධ්‍යස්ථ හා වාමාංශික පක්ෂ යුරෝපය තුළ ජනප්‍රියවාදී
රැල්ලට පෙර වසර කිහිපයක පුරා දේශගුණික විපර්යාසයන්ට සාපේක්ෂව වඩා යහපත් ලෙස ප්‍රතිචාර
දැක්වූ බවයි. 2003 - 2011 අතර බ්‍රසීලය
පාලනය කළ වාමාංශික මතධාරී රජය ඇමසන් වැසි වනාන්තරය වනහරණයට ලක්වීම 80%න් අඩුකිරීමට සමර්ථ වූ
බව එකී වාර්තාව තවදුරටත් පෙන්වා දෙයි. දක්ෂිණාංශික ජනප්‍රියවාදය අද වන විට ලොව
පුරා කේන්ද්‍රගතව ඇත්තේ ස්වෝත්තමවාදී ජාතිකවාදයක් වටාය. එය ඇමරිකාව තුළ 'පළමුව ඇමරිකාව'
ලෙසත්, හිටපු හමුදා
නිළධාරියෙකු වූ බොල්සොනාරෝ බ්‍රසීලය තුළ තම මැතිවරණ පෙරමුණ තේමාගත කරන ලද්දේ 'සියල්ලට පෙර බ්‍රසීලය.
සියල්ලන්ට ඉහළින් දෙවියන්' (‘Brazil before everything and God above all’)
ලෙසත් ජනවාර්ගික ලෙස
අර්ථ දක්වා ඔවුන්ගේ ජාතිකත්වයේ වැදගත් බව මෙන්ම එය ජාත්‍යාන්තර සංවිධානවලින්
නිදහස්වීමේ අවශ්‍යතාවයන් පැහැදිලි කර දක්වන තැනට කේන්ද්‍රගතව ඇත.
ඊනියා සංවර්ධන ව්‍යාපෘති
වෙනුවෙන් ජෛවීය පැවැත්ම අනතුරේ හෙලීමේ අන්ත දක්ෂිණාංශික දේශපාලන ව්‍යාපෘතිය බ්‍රසීලය
තුළ බොල්සොනාරෝ විසින් කාලයක් පුරාවට සිදු කරන ලදි. 2015 වර්ෂයේදී ඔහු බ්‍රසීලයේ ඇමසන් වනය තුළ
ජීවත්වන ස්වදේශික ජනතාව පිළිබඳව පැවසූයේ 'ඉන්දියානුවන් අපේ භාෂාව කතා කරන්නේ නෑ.
එයාලට සල්ලි නෑ. සංස්කෘතියක් නෑ. ඒත් ඒ ස්වදේශික ජනතාව ජාතික භූමි ප්‍රමාණයෙන් 13% අයිතිකරගැනීමට සමත්
වූයේ කෙසේ දැයි' ප්‍රශ්න
නගමිනි. 2018 වර්ෂයේදී
කොංග්‍රසය ඉදිරියේ ‘2019 දි අපි
"Raposa Serra So Dol" (උතුරු
බ්‍රසීලයේ ස්වදේශික භූමියක්) උදුර ගන්න නියමිතයි. අපි සියළුම ගොවීන්ට තුවක්කු
ලබාදෙනවා' යැයි කියමින්
ස්වදේශික ජනතාවට තර්ජනය කළේය. ඇමරිකාව තුළ ට්‍රම්ප් විසින් කාන්තාවන්, කළු ජාතිකයන්, සංක්‍රමණිකයන්,
සමරිසි ජනතාවන් ඇතුළු
සමාජයේ පීඩිත ජන කොටස් අරභයා මුදා හරින නිහීන පීඩාකාරිත්වයන් බ්‍රසීලය තුළ ඊට
නොදෙවෙනි ලෙස බොල්සොනාරෝ විසින් ස්වදේශික ජනකොටස් අරභයා මුදා හරිනු ලබයි.
ගිනිතැබීම් හේතුවෙන්
පසුගිය ජූලි මාසය තුළ පමණක් වර්ග කි.මී 1250 ට වැඩි වන ප්‍රදේශයක් විනාශයට පත් වූ අතර
එය 2016 වර්ෂයේ
වාර්තා වූ වැඩිම අගය මෙන් දෙගුණයක් ද වනවා. තවද ගිනිතැබීම් හේතුවෙන් ඇති වූ ධුමාරය
නිසා වන පෙදෙසින් කාබන්ඩයොක්සයිඩ් මෙගාටොන් 227 නිකුත් කරන ලද බවත් එකී ධුමාරය මේ වනවිට
කි.මි 3000ක් පමණ දුරින්
පිහිටි බ්‍රසීලයේ විශාලතම නගරය වන 'සාඔ පෝලො' නගරය වසාගෙන ඝන වලාවක් ආකරයෙන් දහවල් කාලය තුලත් සමස්ථ
නගරයම අන්ධකාරයෙන් වෙලාගෙන ඇත. ගිනි තැබීම් වාර්තාවන ඇමසන් වැසි වනාන්තරය අයත්
අනෙක් ලතින් ඇමරිකානු රටවලද මේ වර්ෂයේ ගිනි තැබීම් වාර ගණන ඉතා ඉහළ අගයක් ගන්න බව NIPE ආයතනය පෙන්වා දෙනවා. ඒ අතරින් වෙනිසියුලාව
තුළ ගිනිතැබීම් 26500 ක් 19%
වර්ධනයක් සහිතවද,
බොලීවියාව තුළ
ගිනිතැබීම් 17200 ක් 114%
ක වර්ධනයක් සහිතවද NIPE ආයතනය වාර්තා කරන ලදි.
ඇමසන් වනය තුළ සිදුවන
අසාමාන්‍ය ගිනිතැබීම් සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයන්හි තවත් අවධානයට ලක්ව ඇති කරුණක්
වූයේ ඇමසන් වනය තුළ ජීවත් වූ 'වරෝනි'
(Waroni) නම් ස්වදේශික
ජනතාවත් මහා පරිමාණ තෙල් සමාගමකුත් අතර ඇති වූ නඩුවෙන් ස්වදේශික ජනතාව ජයගැනීමේ
සිද්ධියයි. පැස්ටාසාහි (Pastaza) වෙසෙන වරෝනි ස්වදේශික ජනතාව ඉක්වදෝරයේ ඇමසෝනියානු වන
කලාපය තුළ පරම්පරා ගණනාවක පටන් ජීවත් වූ ජන කණ්ඩායමකි. ඉක්වදෝර් රජය විසින් ඔවුන්
ජීවත් වූ කලාපය ‘Big Oil’ නම් තෙල් සමාගමට වෙන්දේසි කළ පසු වරෝනි ජන කණ්ඩායම
විසින් එයට එරෙහිව පැස්ටාහි ප්‍රාදේශීය උසාවක නඩු පැවරූ අතර නඩුවේ
විනිශ්චයකාරවරුන් ලෙස සිටි ත්‍රිපුද්ගල විනිසුරුවන් තීරණය කළේ ගෝත්‍රයේ සිටි 2000 ට ආසන්න ජනතාව භූමිය
වෙන්දේසි කිරීමට පෙර ඒ පිළිබඳව ඔවුන් නිසි ලෙස දැනුවත් නොකළ හෙයින් එය වලංගු නොවන
බවයි. තීන්දුවට එරෙහිව රජය අභියාචනයක් ගොණු කළත් එයද පරාජය විය. සති තුනකට පෙර ඇති
වූ එම සිදුවීමෙන් පසු අසාමාන්‍ය ලෙස සිදු වූ ඇමසන් වනාන්තරය ගිනි තැබීම්, නඩුව ජයග්‍රහණය කිරීමෙන්
පසු එකී ගෝත්‍රික කණ්ඩායම් වෙත මහා පරිමාණ සමාගම් හා පාලකයන් විසින් ඔවුන්ගේ භූමිය
පැහැර ගැනීමට ගත් ක්රියාදාමයක්දැයි සැක පළ වී තිබෙනවා. බොල්සොනාරෝ ජනාධිපති බවට
පත්වීමෙන් පසු දිගින් දිගටම ස්වදේශික ජනතාව වෙත එල්ල කරන ලද තර්ජනයනුත්, ඔහු විසින් නිකුත් කරන
ලද ප්‍රකාශත් එම සැකයන් සඳහා සාධාරණ පදනමක් ද සපයයි. එක් වරෙක ඔහු ප්‍රකාශ කළේ
රාජ්‍ය නොවන සංවිධාන විසින් ඇමසන් වනයට සිදුකරන මැදිහත්වීම් වලින් වනාන්තරය මුදවා
වනය තුළ වෙසෙන පාරම්පරික ස්වදේශික ජනතාව වනාන්තරයෙන් ඉවත් කොට ඔවුන්ට 'වඩා යහපත් ජීවිතයක්'
ගත කිරීම සඳහා අවශ්‍ය
සහන සැළසීමට ඔහු බලාපොරොත්තුවන බවයි. බොල්සොනාරෝ බලයට පත් වූ පළමු දිනයේම එතෙක්
ස්වදේශික ජනතාව පිළිබඳ තීරණ ගැනීමේ බලය හිමිව තිබූ 'ජාතික ඉන්දියානු පදනමින්' (National
Indian Foundation) එකී බලතල ඉවත්
කොට එය කෘෂිකර්ම අමාත්‍යාංශය යටතට පවරනු ලැබුවා. ඉන්පසු කෘෂිකර්ම අමාත්‍යාංශයේ
විශේෂ ලේකම්වරයෙකු ලෙස ස්වදේශික ජනතාව පිළිබඳව තීරණ ගැනීමේ බලය 'ස්වදේශික ජනතාවගේ ඉඩම්
යළි ඇගයීම් කොට ඉක්මණින් පවරාගත යුතු යැයි' ප්‍රකාශ කළ ලුයිස් ඇන්ටෝනියෝ වෙත පවරනු
ලැබීය. එතැනින් ආරම්භ වූ බොල්සොනාරෝ යුගයේ ස්වදේශික ජනතාවගෙ වාසභූමි අත්පත්
කරගැනීමේ අධිරාජ්‍යවාදී ව්‍යාපෘතිය වර්තමානය දක්වා අඛණ්ඩව ක්‍රියාත්මක වන්නට විය.
සමස්ථ පෘථිවිවාසීන්ගේ
හෙට දිනය තීරණාත්මක වනු ඇත. මහා බාධක පරය , ඔක්ජොකුල් ග්ලැසියරය මියගිය පසු, සිංහරාජ, නකල්ස්, විල්පත්තු, ඇල්ල රක්ෂිත විනාශව
ගිය පසු, මීතොටමුල්ල,
අරුවක්කාලු, මුතුරාජවෙල, කසල වලින් වැසී ගිය
පසු, ගෝලීය
උණුසුමත්, දේශගුණික
විපර්යාසත් අභිමුඛ ජෛවීය පැවැත්ම අභියෝගයට ලක්ව ඇත. කොල්ලකාරී ධනවාදය ඉදිරිපිට
තවදුරටත් මිනිසාට තබා කිසිඳු ජීවියෙකුට මේ මිහිතලය මත හුස්ම ගත නොහැකිවනු ඇත. එවිට
අප තවදුරටත් ම්ලේච්ඡයන් ලෙස ජීවත් වනවාදැයි ප්‍රශ්න ඇසිය හැකි නොවේ. මන්දයත් අප
දැනටමත් ජීවත් වන්නේ ම්ලේච්ඡයන් ලෙසය. ඇමේසන් වනය තුළ ජීවත්වන ස්වදේශික ජනතාව
ම්ලේච්ඡත්වයේ කැඩපත නව ලිබරල් මිනිසා වෙත හරවා ඇත. ට්‍රම්ප්, බොල්සොනාරෝ ඇතුළු
අධිපති පාලකයන් ඔවුන්ට 'ම්ලේච්ඡයන්'
යැයි ආමන්ත්‍රණය කරන
විට එකී කැඩපත නාභිගත වන්නේ සියල්ල වෙළඳපලකරණය කොට ස්වාර්ථකාමී ලාභ සමුච්චනය උදෙසා
සියල්ල කොල්ලකන ධනපති ක්‍රමයයි. බොල්සොනාරෝගේ 'වඩා යහපත් ජීවිතය' පිළිබඳව වරෝණි ගෝත්‍රිකයන් දැන් කට කොණින්
සිනාසෙනු ඇත. ඉදින් ම්ලේච්ඡත්වයේ කැඩපත ඉදිරියේ මනුෂ්‍යත්වයේ සළුපිළි උනා දැමූ අප
නිරුවතින් හිඳ අපගෙන්ම අසන්නෙමු ! මේ ධනපති යාන්ත්‍රණය පුපුරුවා දැමීමට
එක්වන්නේදැයි
බලාසිටීමට තවත් කොතෙක් බිලි අවශ්‍යද නුඹට ?
මීට වසර තිහකට පමණ පෙර
බ්‍රසීලයේ ජීවත් වූ රබර් කපන්නෙකු වූ නමින් ෆ්රැන්සිස්කෝ ඇල්විස් මෙන්ඩේස් වුවත් 'චිකෝ මෙන්ඩේස්'
ලෙස හැඳින්වූ මිනිසෙකු
තම භාර්යාව සමඟ ඇමසන් වනය ආශ්‍රිතව රබර් කපමින් ජීවත් වන්නට වූ අතර ඔහු තදින්
පරිසරයට ඇලුම් කරන්නෙක් ද විය. ගවයින් පාලනය කරන්නන් හා ගොවීන් ඇමසන් වනාන්තරය
ගිනිතැබීමට එරෙහිව තදින්ම පෙනී සිටි ඔහු ඒ වෙනුවෙන් ජනතාව සංවිධානය කරන්නටද විය.
ප්‍රදේශය පුරා සිටි රබර් කපන්නන් එකතු කොට වෘත්තිය සංගමයක් පිහිටුවා අනෙකුත් පරිසර
සංවිධානත් සමඟ එක්ව ඇමසන් වනය ගිනි තැබීමට එරෙහිව ජනතාව සංවිධානය කොට එයට එරෙහිව
හඬ නැගීම සඳහා ජනතාව පෙළගස්වනු ලැබීය. මේ නිසාම ඔහුට ගස් කපන්නන් හා මස් පිණිස
ගවයින් ඇති කරන ව්‍යාපාරිකයන්ගේ මරණ තර්ජන හා ඔහුව මරා දැමීමට දරන ලද ප්රයත්නයන්ගෙන්
අඩුවක් නොවීය. කොතෙක් අභියෝග මධ්‍යයේ වුවත් ඔහු වන විනාශයට එරෙහිව සෘජුව පෙනී සිට
ජනතාව සංවිධානය කරන්නට විය. අවසානයේ 1988 වර්ෂයේදී ගස් කපන්නකු විසින් ඔහුට වෙඩි තබා
මරා දමන ලදි. චිකෝ මෙන්ඩේස්ගේ ජීවනාදර්ශය නම් තමන්ගේ ජීවිතය අහිමි වන බව දැන දැනත්
අයුක්තියට එරෙහි වීමට ඔහු තුළ වූ ධෛර්යවන්තභාවයයි. ඒ වර්ෂය තුළ බ්‍රසීලය තුළ මරා
දැමුණු 90 වැනි
පරිසරවේදියා චිකෝ මෙන්ඩේස් විය. එහෙත් ඔහුගේ මරණින් පසු ඔහු දැල් වූ පහන් සිළුව
නිවී නොගියේ තවත් දහස් ගණන් තරුණ තරුණියන් ඇමසන් වන විනාශයට එරෙහිව වීථි බැසීම
නිසායි. ජීවිතය අහිමි වන බව දැන දැනත් එරෙහි වීමට තරම් ධෛර්යයක් ඇති 'චිකෝ මෙන්ඩේස්'
ලා පෘථිවියේ හෙට දිනය
වෙනුවෙන් අවදි විය යුතුය ! සටන් වැදිය යුතුය ! අප ඉදිරියේ
ඉතිරිව ඇති එකම විකල්පය එය පමණි.
Screaming
For more justice
Amazonia burns
Can you hear them?
I’ll fight
To save another day
So join us
And we’ll make them leave this land
Threatening
To kill how we feel
But if we stop them it’ll be worth dying for
When you go down!!!
When you go down motherfucker!!!
When you go down!!!
When you go down Fighting!!!
-
Ambush was inspired by the book Fronteirs De Sangue
(bloody borders). It tells the story of Chico Mendes. song by Max Cavalera
0 comments:
Post a Comment