Sunday, August 9, 2020

නව අධ්‍යාපන ප්‍රතිපත්තියට එරෙහිව ඉන්දීය ශිෂ්‍යයන්ගේ විරෝධතා.

2020 නව අධ්‍යාපන ප්‍රතිපත්තිය ඇතුලත් කෙටුම්පත ඉන්දියාවේ සම්මත කර ගත්තේ පාර්ලිමේන්තුව වෙත යොමු කර හෝ ප්‍රාන්ත රාජ්‍ය වෙත යොමුකර හෝ නොවේ.එනම් මාධ්‍ය කැබිනට් මණ්ඩලය පමණක් සම්මත කරගැනීමෙනි. වසංගත තත්වයට මුවාවී එය හොර රහසේම සම්මත කරගෙන ඇති අතර නිදහස් අධ්යාපනය වනසන ආකාරයේ ප්‍රතිපත්ති, ජාතිවාදී ප්‍රවේශයකින් අධ්‍යාපන අයිතිය විග්‍රහ කර තිබීම ආදී කරුණු ගණනාවක්ම හුවා දක්වමින් ඉන්දීය ශිෂ්‍ය සංගම් රැසක් ඊට මුලදීම අප්‍රසාදය පල කර තිබේ.අද වන විට ඔන්ලයින් සම්මන්ත්‍රණ, ශිෂ්‍ය විරෝධතා රාශියක් මේ වෙනුවෙන් පවත්වා ඇති අතර නව අධ්‍යාපන ප්‍රතිපත්තිය වහා හකුලා ගන්නා ලෙස ඉන් බලකර ඇත.

ප්‍රාන්තවල, ග්‍රාමීය ප්‍රදේශවල සිසුන්ට අධ්‍යාපන ප්‍රවේශය සඳහා පවතින හැකියාව, යටිතල පහසුකම් වල ස්වභාවය දරිද්‍රතාවය ආදී මූලික දත්ත කිසිවක් නොසලකා මෙම ප්‍රතිපත්තිය සැකසීමට විරෝධය දක්වමින් ශිෂ්‍ය සංගම් දක්වා සිටියේ රාජ්‍ය අධ්‍යාපනය තව තවත් කප්පාදු කරමින් පෞද්ගලික අධ්‍යාපන ආයතන සඳහා නව දොරටු විවර වීමක් මෙම ප්‍රතිපත්තිය යටතේ සිදුවන බවයි.දැනට ස්ථාපිත කර තිබෙන විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙනුවට වෙනත් ආයතනික ව්‍යුහයක් ගොඩනැගීමට යාමට අදාළ යෝජනාව ද ශිෂ්‍යන් බැහැර කරයි.

හින්දු ආගම ඉස්මතු කරමින් අධ්‍යාපන ප්‍රතිපත්තිය හා අන්තර්ගතය ගලා යන අතර එය වාර්ගික ආගමික භේදයකින් තොරව අධ්‍යාපන අයිතිය තහවුරු වීමට පවත්නා ප්‍රධාන බාධාවක් නිර්මාණය වී ඇති බවත් එය මෝදි පාලනයේ පසුගාමී මූලික ප්‍රතිපත්තිය තහවුරු කරවීමක් බවත් විරෝධතාකරුවන් දක්වන ලදී.

සියලු උපාධි පාඨමාලා වසර හතරක් දක්වා දීර්ඝ කර ඇති අතර වැඩි කළ කාල සීමාවට අදාලව මාසික ශිෂ්‍යාධාරය සම්බන්ධ කිසිඳු සඳහනක් කර නොමැත. මීට අමතරව ශාස්ත්‍රීය විෂයන් කප්පාදුව, ආචාර්ය උපාධිය සඳහා වන විෂයන් කප්පාදුව සිදු කිරීමට අදාළ ප්‍රතිපත්තිය පරාජය කළ යුතු බව විරෝධතාකරුවන් වැඩි දුරටත් දක්වා සිටියහ.

 

0 comments:

Post a Comment