Friday, November 13, 2020

2019 උසස් පෙළ කඩයිම් ලකුණු අර්බුදයෙන් අසාධාරණයටපත් සිසුන්ට මොකද වෙන්නෙ.

2019 අ.පො.ස උසස් පෙළ විභාගය පැවැත්වූයේ විෂය නිර්දේශ දෙකක් යටතේය.එහි ප්‍රතිඵල වලට අදාලව සිසුන් විශ්වවිද්‍යාල වලට බදවාගනු ලබන කඩයිම් ලකුණු පසුගිය ඔක්තෝබර් මසදී නිකුත් කරන ලදී.මෙහිදී සිසුන් විශාල පිරිසකට අදාල සුදුසුකම් සපුරා තිබියදී පවා විශ්වවිද්‍යාල වරම් අහිමිව තිබෙන බව අණාවරණය විය.උදාහරණ ලෙස තාක්ෂණ විෂයෙන් පැරණි නිර්දේශය යටතේ මුහුණ දුන් සිසුන්ගෙන් දිස්ත්‍රික් කුසලතාවය 10තුළ සිටින සිසුන්ට පවා විශ්වවිද්‍යාල ප්‍රවේශය හිමිව නොමැත.කලා,වාණිජ සහ විද්‍යා ඇතුළු සෑම විෂය ධාරාවක් යටතේ විභාගයට මුහුණදුන් සිසුන් මෙම අසාධාරයට ගොදුරුවී ඇත.

මෙවර විශ්වවිද්‍යාල ප්‍රවේශය සදහා කඩයිම් ලකුණු නිර්ණය කර තිබුණේ පසුගිය වසර පහක බඳවාගැනීම්වල සංයුක්ත මධ්‍යන්‍ය අගයට අනූව වීම මෙම අර්බුදය නිර්මාණය වීමට බලපෑ මූලික හේතුව වන අතර ඉන් අසාධාරණයට ලක්වූ සිසුන් සහ දෙමාපියන් පිරිසක් සමග අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය පසුගිය 28වනදා  විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන්සභාවට ගිය නමුත් ඔවුන් සමග මෙම ගැටළුව සම්බන්ධයෙන් සාකච්ජා කිරීමටවත් මෙරට අධ්‍යාපන බළදාරීන් කටයුතු කලේ නැත.අනතුරුව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ නායකත්වය යටතේ අසාධාරනයට ලක්වූ සිසුන් එකමුතුව සමාජ මාධ්‍ය ඔස්සේ විරෝධතවයක් ගෙනගිය අතර ඔන්ලයි විරෝධතා පෙත්සමක් ද අත්සන් තබන ලදී.

2019 උසස්පෙළ කඩඉම් ලකුණු ගැටලුවෙන් අසාධාරණයට පත් සියලු දෙනා විශ්වවිද්‍යාලවලට බඳවාගනු! බඳවාගැනීම් දෙගුණ කරනු! යන සටන් පාඨය මූලික කරගෙන නිදහස් අධ්‍යාපනය උදෙසා සිසුජන ව්‍යාපාරය විසින් නොවැම්බර් මස 9 වනදා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය සහ වෘතිය සමිති ඒකාබද්ධ මාධ්‍යහමුවක් පැවැත්වූ අතර මේ වන විට අසාධාරණයටපත් සිසුන් දිස්ත්‍රික් මට්ටමින් විරෝධතා කියාමාර්ග වල නිරතවෙමින් සිටී.එහි බස්නාහිර පළාත් විරෝධතාවය ඊයේ දින විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට පැවැත්විණ.එහිදී  දෙමාපියන්,ශිෂ්‍යන් සහ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ  නියෝජිතයන් පිරිසකට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා සමග සාකච්ජාවක් ලබාදෙන ලදී.

එහිදී දෙමාපියන් සහ ශිෂ්‍ය නියෝජිතයන් යොමුකල ගැටළු වලට සභාපතිවරයා පිළිතුරු,

  • විෂය නිර්දේශ දෙකක් යටතේ විභාග දෙකක් පැවැත්වීම නිසා කඩඉම් ලකුණු දෙකක් නිකුත් කළ බව.
  • එහෙයින් බඳවාගැනීම් කිරීමේදී සංකීර්ණතා මතුවන අතර විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ද සිටින්නේ මිනිසුන් වන බව.
  • විශ්වවිද්‍යාල සඳහා වැඩිපුර සිසුන් 10,000ක් බඳවාගෙන ඇති බව.
  • මෙම ගැටලුව ඇත්තේ කඩඉම් ලකුණු තුළ නොව සිසුන්ගේ හදවත් තුළ වන බව හා එය දරාගත යුතු බව.
  • ප්‍රායෝගික පරීක්ෂණ ප්‍රතිඵල අදාළ විශ්වවිද්‍යාලය තුළින් ලබාදිය යුතු බව හා ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීමට තමන් අකමැති බව.
  • මෙවන් ගැටලු ඇති ⁣නොවීමට ඉදිරියේදී කටයුතු කළ යුතු බව.
  • Z. ලකුණු නැවත සමීක්ෂණය කිරීමට කිසිඳු අදහසක් නොමැති බව.

වලින් පෙනීයන්නේ මෙම ගැටළුව අදාල කර නොගෙන මගහැරයාම ඔවුන්ගේ උත්සාහය බවයි.

2011 වසරේ දී ද මෙලෙස විෂය නිර්දේශ දෙකක් යටතේ විභාගය පැවැත්වූ අතර එහිදි ද කඩයිම්  ලකුණු සම්බන්ධව මතුවු ගැටළුකාරී තත්වය නිසා මෙලෙසම විශාල සිසුන් පිරිසක් අසාධාරණයට ලක්වූ අතර එම අවස්ථාවේදී අසාධාරණයට පත් සිසුන් සංවිධානය වීමේන් කල අරගල ක්‍රියාමාර්ග වල ප්‍රථිපලයක් ලෙස අධිකරණය ලබාදුන් තීන්දුවකට අනූව  පළමු වර හා දෙවන වර විභාගයට පෙනී ඉඳල විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබපු වැඩිම ප්‍රතිශතය අලුත් හා පැරණි විෂය නිර්දේශවලින් බඳවාගැනීමට කටයුතු කලා.මේවර අවම වශයෙන් එවැනි ක්‍රමවේදයක් යටතේ හෝ බදවාගැනීම් සිදුකලේ නම් මෙතරම් සිසුන් පිරිසකට අසාධාරණයක් සිදුනොවනු ඇත.

වත්මන් ආණ්ඩුව තම ජනාධිපතිවරන ප්‍රතිපත්ථි ප්‍රකාශනයේ  “දැනට රජයේ විශ්වවිද්‍යාල සහ විවිධ උසස් අධ්‍යාපන ආයතනවලට ඇතුළු කරගන්නා ශිෂ්‍ය සංඛ්‍යාව වැඩි කිරීම සඳහා අවශ්‍ය විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, සහ කාර්යමණ්ඩල සාමාජිකයන්ගේ ප්‍රමාණය සහ අවශ්‍ය කරන අනෙකුත් යටිතල පහසුකම් ඉතා කෙටි කාලයක් තුළ ලබාදීම සඳහා විශාල ආයෝජනයක් කිරීමට කටයුතු යොදනු ඇති බව” (සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය, සිව්වන කොටස, 21 පිටුව) සඳහන් කර තිබූ අතර නමුත් මෙවර 2021 වසර අයවැය සඳහා ඉදිරිපත් කර ඇති විසර්ජන පනත අනුව අධ්‍යාපනයට වෙන් කර ඇති මුදල් ප්‍රමාණය රු.බිලියන 125කි. එය 2020 වසරට සාපේක්ෂව රු.බිලියන 40ක කප්පාදුවකි.

එම නිසා ජනතාවගෙන් බලය ඩැහැගැනීම සදහා කොතෙක් සුරන්ගනා කතා කීවද මේ හැම ආණ්ඩුවක්ම ක්‍රියාත්මක කරනු ලබන්නේ අධ්‍යාපනය ධනපති ව්‍යාපාරිකයන්ට ලාභ ඉපයීම සදහා අවස්ථාව ලබාදීමේ ප්‍රථිපත්තියයි.අපගේ බදු මුදල් වලින් නිදහස් අධ්‍යාපනය සදහා වෙන්කෙරෙන ප්‍රතිපාදන වසරින් වසර කප්පදු වන්නේ එබැවිනි.මෙම සිසුන්ට සිදුව තිබෙන අසාධාරණයට විසදුමක් ලබාදෙනවා වෙනුවට අධ්‍යාපන අමාත්‍යංශය සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම මේ වනවිට  NSBM, Horizon, SLIIT  වැනි පෞද්ගලික විශ්වවිද්‍යාල වල පාඨමාලා ප්‍රවර්ධනය කරමින් සිටින්නේ ඒවාට ඇතුළත් වීම සදහා ශිෂ්‍ය ණය ක්‍රම පවා හදුන්වා දෙමිනි.

සිසුන් ගෙනයන අරගලය දුර්වල කිරීම සදහා විවිධ පාර්ශව මැදිහත් කර විවිධ ප්‍රචාරයන් සහ කඩාකප්පල්කාරී කියාමාර්ග පවා සිදුවෙමින් තිබෙන අතර ඒවාට ගොදුරුව බෙදී වෙන්ව නොයා එක්ව සිට සටන් කිරීමෙන් පමනක් ජයග්‍රහණය ලගාකරගත හැකි බව අසාධාරනයට ලක්ව තිබෙන සිසුන් වෙත අප අවධාරනය කර සිටිමු.එලෙසම මෙම ගැටළුව හුදකලා ප්‍රශ්නයක් නොවන අතර එය පාලක පංතිය අධ්‍යාපනය කෙරෙහි දක්වන ප්‍රතිපත්ථියේම එක්තරා ප්‍රකාශනයකි.එබැවින් අධ්‍යාපනය වෙළදභාණ්ඩයක් කරන එම ප්‍රථිපත්ති හමුවේ ඔබ මෙන්ම තවත් දහස් ගණනක් සහෝදර සහෝදරියන් අධ්‍යාපන අවස්ථා අහිමිව අධ්‍යාපනයෙන් පිටමන්වීම නොවැළැක්විය හැකි යථාර්තයකි.එම නිසා අධ්‍යාපනය ධනපතියන්ගේ ලාභ ගැරෙන වෙළදභාණ්ඩයක් කිරීමේ ප්‍රථිපත්ති වලට එරෙහිව නිදහස් අධ්‍යාපනය සහ අධ්‍යාපනයේ නිදහස දිනාගැනීමේ අරගලයට ඔබේ ශක්ති‍ය එක් කිරීමට සහෝදරාතමක ඇරයුමක් විප්ලවවාදී ශිෂ්‍ය සංගමය ලෙස අප ඔබ් වෙත කරන්නෙමු.

0 comments:

Post a Comment