Sunday, November 1, 2020

අයවැයෙන් අධ්‍යාපනය සෞඛ්‍ය ට ප්‍රතිපාදන කපයි.


ඉදිරි වර්ෂය සඳහා වන රජයේ අයවැය  විසර්ජන පනත් කෙටුම්පත නිකුත් කර ඇත. එම ලේඛනයට අනුව 2021 වර්ෂය සඳහා ප්‍රතිපාදන වෙන් කිරීම් සලකා බැලීමේදී අධ්‍යාපන හා සෞඛ්‍ය  ක්ෂේත්‍ර වල බරපතල ප්‍රතිපාදන කප්පාදුවක් සිදු කර ඇත. 

පසුගිය වසරේ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යංශ වෙන වෙනම පවතිද්දී එම අමාත්‍යංශ දෙකටම රු බිලියන 165 ක මුදලක් වෙන කර තිබිණ. නමුත් මෙවර විසර්ජන පනත් කෙටුම්පත මඟින් යෝජනා කර ඇත්තේ අධ්‍යාපන ක්ෂේත්‍රයට ප්‍රතිපාදන රු බිලියන 125 ක් පමණි. ඒඅනුව රු බිලියන 20 ක මුදල් අධ්‍යාපන ක්ෂේත්‍රයෙන් කපා දමා ඇත.  පසුගිය මාස කිහිපය තුලද  විශ්වවිද්‍යාල පවත්වාගෙන යාමට අවශ්‍ය ප්‍රතිපාදන වල බරපතල හිඟයක පැවතින . විවෘත විශ්වවිද්‍යාලය තුල ආචාර්යවරුන්ගේ හා අනධ්‍යයන සේවකයන්ගේ වැටුප් ගෙවීම පවා බරපතල අර්බුදයක් විය හැකි බව එහි උපකුලපතිවරයා ලිඛිතවම දන්වා තිබිණ. 

පැවැත්වෙන උසස් පෙළ විභාගයට අදාලව විෂබීජ හරණ කටයුතු සඳහා ප්‍රතිපාදන වෙන් කර තිබුනේ සොච්චමකි.  විශ්වවිද්‍යාල ප්‍රවේශය වැඩි කරන බවට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ මැතිවරණ පොරොන්දු වල අඩංගු වුවද එය සිදු කිරීමට අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන වැඩි කිරීම වෙනුවට සිදු කර ඇත්තේ කපා දැමීමකි.  2019 උසස් පෙළ විෂය නිර්දේශ දෙකක් යටතේ පැවතීම හේතුවෙන්  වැඩිපුර සිසුන් 8000 ක් බඳවා ගැනීමට කටයුතු කල බව ප්‍රතිපාදන කොමිසම කීවද එට අදාළ ප්‍රතිපනද වෙන් කිරීමක් සිදු කර නොමැති බව ඉතා පැහැදිලිය.

සෞඛ්‍ය  ක්ෂේත්‍රයේ තත්වය මිට වෙනස් නැත. 2020 අයවැයෙන් සෞඛ්‍ය  ක්ෂේත්‍රයට ප්‍රතිපාදන රු බිලියන් 186 ක් වෙන් කර තිබිණ. නමුත් 2021 සඳහා විසර්ජන පනත් කෙටුම්පතින් යෝජනා කර ඇත්තේ රු බිලියන 158 ක් පමණි. ඒ අනුව රු බිලියන 28 ක මුදලක් කප්පාදු කර ඇත. වසංගත තත්වයක් රට තුල උද්ගතව ඇති මොහොතක හෝ සෞඛ්‍ය  පහසුකම් පුළුල් කිරීමට ප්‍රතිපාදන වෙන් කිරීමට ආණ්ඩුව සුදානම් නැත.  පුවත් පත් වල ප්‍රධාන සිරස්තල වර්ත් කර තිබුනේ කොරෝනා ව්‍යාප්තිය ආරම්භ වූ පසුගිය මාර්තු මාසයේ සිට මේ දක්වා ස්වසන ආධාරක කිසිවක් අලුතින් මිලදී ගැනීමට කටයුතු කර නොමැති බවයි . රෝහල් ඇඳන් මේ වනවිටත් ධාරිතාව ඉකම්ව ගොස් ඇත. එම නිසා රෝග ලක්ෂණ පෙන්වන රෝගීන් පවා නිවෙස් තුලම තැබීමට ආණ්ඩුව තීරණය කර ඇත. 

 ගැටලුව ඇත්තේ අධ්‍යාපනය සෞඛ්‍ය  වැනි සේවාවන් පවත්වාගෙන යාමට එකඳු සතයක් හෝ අඩු නැතිව ජනතාව බදු ගෙවමින් සිටීමයි. මහා බැංකු වාර්තා අනුවම බැලුවත් මෙරට 4 දෙනෙකුගෙන් යුත් පවුලක් රජයට මසකට රු 22000 ආසන්න බදු මුදල් ගෙවිය යුතුය. 

නමුත් ජනතාව මර්දනය කිරීම සඳහා අවශ්‍ය ව්‍යුහයන් පවත්වාගෙන යාමට ආරක්ෂක වියදම් ලෙස රු බිලියන 354 ක් වෙන කර ඇත.

මේ සියල්ල මඟින් පෙනී යන්නේ පවතින ක්‍රමය මිනිසුන්ගේ මුලික අවශ්‍යතා හෝ සම්පුර්ණ කිරීමට අසමත් බව නොවේද? එසේ නම් ක්‍රමය මෙසේ ම පවතිද්දී මෙය සුද්ද කල හැකි තනි පුදගලයින් පිලිබඳ විස්වාසය තැබීමද අසාර්ථක වී ඇත.  

එසේ නම් මීට ඇති එකම විසඳුම වන්නේ අධ්‍යාපනය, සෞඛ්‍ය  ප්‍රවාහනය වැනි ක්ෂේත්‍ර මිනිස් අයීතීන් ලෙස සලකන සමාජයක් වෙනුවෙන් අරගල කිරීමයි.




0 comments:

Post a Comment